පෙට්ට ගමක් උඩ ත්‍රස්ත පනත ඇත – තක්කිට තිරිකිට එනමුත් අවුරුදු වඩිතෙයි !

212

සිංහල බෞද්ධ මෙන්ම, දෙමළ හින්දු ජනතාව විසින් උත්කර්ෂයෙන් යුතුව පවත්වනු ලබන අවුරුදු උත්සවය දැන් ජාතික සංස්කෘතික උළෙලක් බවට පත්ව තිබෙන බව සමාජ විද්‍යාඥයන්ගේ අවධාරණය වී තිබේ. භාෂාව හා සංස්කෘතිය යනු ජාතික අනන්‍යතාව පිළිබිඹු කරන්නකි. එහෙත් ඒ ජාතික සංස්කෘතික වටිනාකම්වල සාධනීය ලක්ෂණවලට ගෞරව කිරීම යනු ශිෂ්ටාචාර ප්‍රජාවකගේ උතුම් ගුණයක් සේ අපි දකිමු. සමාජ දේශපාලන හැසිරීම් පිළිබඳව වඩාත් අවධාරණය කෙරෙන බදාදා ලියැවිල්ලට ද ඒ ජාතික සංස්කෘතික බැඳීම් නොතකා හැරිය නොහැක. තවත් දින දෙකකින් පමණ එළැඹෙන අවුරුද්ද සඳහා මේ වනවිටත් පොදුවේ ජනතාව තුළ සූදානමක් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එයට ප්‍රධානම හේතුව වන්නේ පසුගිය අවුරුදු දෙක ම (2021 හා 2022) වාගේ රටක් වසයෙන් අපට මුහුණ දීමට සිදුවූ පොදු ජාතික විපත් හා දේශපාලන ආර්ථික ගැටලු ය. විශේෂයෙන් කොවිඩ් වසංගතයෙන් අනතුරුව එළැඹුණු දේශපාලන කැළඹිලි සමයත් විසින් රටේ ඇතිවූ අස්ථාවරත්වය නිසා ජනතාවට අවුරුදු සිරිත් මංගල්ලයට උචිත පසුබිමක් ද නොවීය.

දැන් ඒ සියල්ල සමනය වී රට සමාජ ආර්ථික හා දේශපාලන වසයෙන් සමෘද්ධිමත් වී ඇතැයි කිව නොහැකි වුවද ජනතාවට කිසියම් සහන ශීලී වාතාවරණයක් උද්ගතව තිබෙන බව සඳහන් කළ යුතුය. මේ වනවිට තිබෙන සමාජ දේශපාලන ව්‍යාකූලත්වය මොහොතකට හෝ අමතක කර අවුරුදු ප්‍රීතිය බෙදා හදා ගැනීමට ජනතාවට ද අවශ්‍ය වී තිබේ. රූපවාහිනි නාළිකාවලින් කෙරෙන විවිධ පෙළඹවීම් මෙන්ම නිදහසේ පවුල්වල සමාජිකයන්ට ද එක්ව සතුටු සාමීචියෙන් පසුවීමට තිබෙන අප්‍රමාණ උද්යෝගය ද එයට තුඩු දෙන අනෙක් හේතු අතර වේ. එසේ ම ජනජීවිතයට බලපෑ භාණ්ඩ මිල තරමක් හෝ පහළයෑම මෙන්ම ඉන්ධන, ගෑස්, ප්‍රවාහන ආදියෙහි මිල ගණන් අඩුවීම ද පොදු ජනතාවට සහනයකි. මේ අතර දුගී බවෙහි පත්ලට වැටුණු අයට මෙන්ම හුදු මාසික වැටුප පිරිමසා ගත් බොහෝ වෘත්තිකයන්ට මුහුණ දීමට සිදුව තිබෙන බදු බර හා ණය බර ද ඔවුන්ගේ අවුරුදු සතුට උදුරාගැනීම නොවැළැක්විය හැකිය. මේ මොහොත වනවිටත් වෘත්තිකයන්ගේ විරෝධතා වීදි බැසීම් සිදු වෙමින් තිබේ.

පෙට්ට ගමක් උඩ ත්‍රස්ත පනත ඇත - තක්කිට තිරිකිට එනමුත් අවුරුදු වඩිතෙයි !

ජනාධිපති රනිල්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයෙහි ප්‍රතිඵල රටට ලැබීමට අවම වසයෙන් තවත් වසරක් හෝ දෙකක් ගත වනු ඇතැයි ද කියති. එහෙත් එතෙක් ඒ ජන කොටස්වලට පටි තද කරගෙන සිටිය හැකි වෙත්ද? ඇත්තට ම රට වෙනුවෙන් කැප කිරීමක් කිරීම වෘත්තිකයන්ගේ ද යුතුකමකි. එහෙත් ප්‍රශ්නය වන්නේ ඒ සඳහා යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තිබෙන උභතෝකෝටික තත්ත්යයි. එහිදී පාලකයන්ගෙන් ලැබී තිබෙන පරමාදර්ශ ද ඉතා අඩුය. ජනමාධ්‍යවලින් අනාවරණය කෙරෙන නොයෙක් ආකාරයේ සමාජ විරෝධී සිදුවීම් මෙන්ම නිබඳ වාර්තා වන විනාශකාරී ක්‍රියාකාරකම් තුළින් ද පැහැදිලි වන්නේ මේ දේශපාලන චර්යාවන් අදටත් රටට විපතක් බවය. පසුගිය දිනක මාධ්‍ය වාර්තා කළේ වසර ගණනකින් කල් දැමුණු පළාත් සභාවලට ද සුපිරි වාහන 200කට අධික සංඛ්‍යාවක් ගැන වාර්තා නැති බවය. මහජන නියෝජනයක් නොමැති පළාත් සභා හා පළාත් පාලන ආයතන සඳහා කෙරෙන අනවශ්‍ය වියදම් ගැන මීට වඩා ආණ්ඩුව අවධානය යොමු කළ යුතුය.

අප විසින් බදාදා ලියවිල්ල මගින්ම මෙයට පෙරද අනාවරණය කරන ලද්දේ මේ වනවිට අපේ රටේ මහජන නියෝජිතයන් සිටින්නේ පාර්ලිමේන්තුවේ පමණක් බවය. අනෙක් හැම ආයතනවල ම ඇත්තේ නිලධාරි පාලනයකි. මේ ආයතනවල අනීතිකව ලබා ගන්නා ප්‍රතිලාභ හිමි අය ද සිටිතියි චෝදනා නැඟේ. එසේ ම රටේ ප්‍රශ්නවලට වඩා තවමත් දේශපාලනඥයන්ට ප්‍රතිලාභ ලබාදීමට ආණ්ඩුව සූදානම් බවට ද චෝදනා නැඟෙයි. මහනාහිමිවරුන් ප්‍රමුඛ අන්‍යාගමික නායකයන් මෙන්ම රටේ විවිධ සිවිල් සංවිධානවලින් ද කරන ලද දැඩි ඉල්ලීමක් වී ඇත්තේ ඉතා කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කර ගෙන රජයේ වරද ලිහිල් කරගත යුතු බවය. එහෙත් තවමත් ඒ පිළිබඳ ජනාධිපති රනිල්ට ප්‍රතිචාරයක් දැක්වීමට නොහැකිව ඇත.

රටේ ජනතාව අර පිරිමැස්මෙන් හෝ අවුරුදු සැමරීමට සූදානම් වෙද්දී අලුතින් කැබිනට් ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් පත් කර ගැනීමේ සූදානමක් ගැන ද මාධ්‍ය වාර්තා කර ඇත. ඇමැතිධුර දහයකට පොර කා ගන්නා බවක් ද තවත් කෙනෙක් තමන්ට ඇමැතිධුරයක් ඉල්ලා හඬා වැටෙන ආකාරයේ හිඟන ප්‍රතිචාර දක්වන බවක් ද දේශපාලන අංශවලින්ම කියනු ඇසෙය.ි එහෙත් එය එදා ගාලු මුවදොර අරගලයේ අභිලාෂයට ඍජුවම අභියෝගයක් පමණක් නොව ජනතාව විසින් එලවා දමන ලද දූෂිතයන් ලෙස චෝදනා ලැබූ අය යළි බල ගැන්වීමක් නොවේද? එහිදී අරගලයට බියෙන් පලා ගිය ජනාධිපති හැර ඒ පාලනයට දායක වූ අය යළිත් අලුත් වටයකින් ඇමැති ධුරවලට පත්වීම කිසිසේත් අනුමත කළ නොහැක. අරගලකරුවන් අපේක්‍ෂා කළ පාලනයක් අද රටේ නොමැති වුවද ඒ සඳහා කැපවුණු නායකත්වයක් බොහෝ දෙනෙක් ජනාධිපති රනිල්ගෙන් අපේක්‍ෂා කරති. එහෙත් ඔහු ලවා පොහොට්ටු දේශපාලන සිතියම ක්‍රියාත්මක කරවා ගැනීමට විනා රටේ ප්‍රශ්නවලට උත්තර ලබාගැනීමට නම් පොහොට්ටුවේ බහුතරයකට අවශ්‍ය නැති බව ද ඉතා පැහැදිලිය.

ගාලුමුවදොර අරගලයේ සුජාතභාවය නිර්පාක්ෂිකත්වය සම්බන්ධයෙන් අද බරපතළ විවේචන සිදුවුවත් එම අරගලය තුළ මෙරටේ පුරවැසියන් හඬනඟා ඉල්ලූ යුක්තිය හා සාධාරණය ගැන අද බොහෝ දෙනෙක් අමතක කරති. ප්‍රචණ්ඩත්වය භාවිත කරමින් අරගලය වැනසූ අමන රැළක් ද වෙති. එහෙත් ඒ අරගලය ඉල්ලූ සමාජ දේශපාලන ආර්ථික වෙනස ගැඹුරින් කියවීමත් එයට ප්‍රතිචාර දැක්වීමත් ජනාධිපති රනිල් ගෙන් තවමත් අපේක්‍ෂා කරන පිරිසක් ද සිටිති. මෙයට වඩා දරුණු නැඟිටීමක් අනාගතයේ දී සිදුවිය හැකි බවට ජනාධිපති රනිල් ම පවසා තිබේ. එසේ නම් ඔහු කළ යුත්තේ ඒ දේශපාලන පරිහානියට තවත් දිරිදීම නොව, රටේ ආර්ථිකයට හා දේශපාලනයට උචිත ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීම බවද කිව යුතුය. පැවතුණු ජරපත් මෙන්ම දූෂිත, ප්‍රභූත්වය තවරාගත් තක්කඩි පාලනය වෙනුවට ජනතා අභිමතය පරිදි පත්වන ප්‍රජාතන්ත්‍රවාදී හා සාරධාර්මික පාලන තත්ත්වයක් අද ප්‍රබුද්ධ පුරවැසියෝ ඉල්ලති. එහෙත් ඒ දේශපාලනය හා බැඳුණු සියලුම අපේක්‍ෂාවන් වළලා දැමීම සඳහා දැන් යළිත් අලුත් වෙස් බඳිමින් ඒ දේශාපලන විකට රූප කරළියට පිවිසෙමින් සිටින බවද පෙනී යයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා රාජපක්‍ෂවරුන් අතර තිබෙන දේශපාලන එකඟතාව හා මෙරටේ බහුතර ජනතාවගේ දේශපාලනය අතර තිබෙන දුරස්ථභාවයට ප්‍රතිචාර දැක්වීම සඳහා ඔවුන් දරන ප්‍රයත්නයන් අතිශය විවාදාත්මක වී තිබේ. ජාතික ආරක්‍ෂාව, නීතිය හා සාධාරණත්වය ගැන පවසමින් ඉදිරිපත් කෙරෙන අණ පනත් හා ඇතැම් ආර්ථික යෝජනා ගැන ද මේ වනවිටත් දැඩි විවේචන නැඟෙයි. ජාතික ආරක්‍ෂාව හා මහජන යහපත වෙනුවෙන් බව ඇඟවෙන ප්‍රතිත්‍රස්ත පනත ගැන ඒ දේශපාලන ක්‍ෂේත්‍රවල හා නීති අංශවල ද ස්වාධීන විද්වත්හු බරපතළ සැක පළ කරති. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මෙන්ම කලක් යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරයකු ද වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන දෙදෙනා විසින්ම මෙම ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් සිදු කරන ලද විවේචන කිසිවෙකුට ප්‍රතික්‍ෂේප කළ නොහැක. මෙහි එන අර්ථ නිරූපණ බලය පැවරීම මෙන්ම ජනාධිපතිවරයාට හිමිවන අධිකාරී බලය ගැන ද ඔව්හු අනතුරු හඟවති. ආචාර්ය ජයම්පති රූපවාහිනි සංවාදයකට එක්ව මේ පිළිබඳව (සිරස) ගැඹුරු විග්‍රහයක් කළේය. ඔහු පෙන්වා දුන්නේ ජාත්‍යන්තරයෙන් ද නිදසුන් රැගෙන මෙහි අඩංගු විෂ සහ සැඟවුණු අරමුණු ගැනය.

ආචාර්ය ජයම්පති මෙම ක්‍ෂේත්‍රයෙහිද ප්‍රාමාණිකයෙකි. එසේම ඔහු කලක් රනිල් සමග යහපාලන, ආණ්ඩුව ද නියෝජනය කළ අයෙකි. වෘත්තිය සංවිධාන තහනම් කිරීමට ද ජනාධිපතිට ඉඩ ලැබෙන විධිවිධාන මේ පනතට ඇතුළත් බව ඔහුගේ විවේචනයයි. ඔහු පැවසුවේ මෙම පනත සම්මත වුවහොත් G. S. P.. සහනය පවා නොලැබී යෑමට ඉඩ තිබෙන බවය. එහෙත් අප එයට විරුද්ධ විය යුත්තේ සමස්තයක් ලෙස එයින් වන හානිය, ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිවීම වැනි කරුණු නිසා බවද ඔහු පෙන්ව දෙයි. ඔහු කළ තවත් අවධාරණයක් වූයේ වර්ජනයක් යනු තේ පැන් සංග්‍රහයක් නොව, ආණ්ඩුවේ සේවා අකර්මණ්‍ය කරන ක්‍රියාවක් බවය. එහිදී රටේ නීති කඩවිය හැකි බවය. පසුගිය වසරක ඉන්දියාවේ ගොවීන් වීදි බැස දැක්වූ විරෝධතා මාස ගණන් දිගට සිදු වූ බවත් ඔහු සඳහන් කළේ ඒවා වෘත්තිය අයිතිවාසිකම් බවය.

ඇත්ත වශයෙන්ම ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් නීතිමය විශ්ලේෂණයක් කිරීමට අපට නොහැකි වුවද එය කියවා බලද්දී හැඟී යන්නේ නිසැකයෙන්ම මෙම ප්‍රතිත්‍රස්ත පනත ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලන ගමනට එරෙහි වන සියලු බාධක ඉවත් කිරීම බව වටහා ගැනීම අසීරු නැත. මේ පිළිබඳ අදහස් දැක්වූ නීති ක්‍ෂේත්‍රය හා සම්බන්ධ වූවන්ගේ විශ්ලේෂණ සමග අපගේ නිරීක්‍ෂණ ද සමාන විය. මෙයට පෙර ද අපි ත්‍රස්ත යන පදයට සිංහල ශබ්දකෝෂවල සපයා තිබෙන අර්ථ නිර්වචන උපුටා දැක්වීමු. ත්‍රස්ත යන්නෙහි බිය දනවන තිගැස්මක්, චකිතයක් යන අර්ථ ද වේ. එහෙත් මේ පනත කෙටුම්පත් කර ඇත්තේ පාලකයන්ගේ සිතැඟි අනුව ත්‍රස්ත යන්නට අරුත් සැපයීම බව පෙනේ. ත්‍රස්තවාදය දිරි ගැන්වීමක් ලෙස ඕනෑම වෘත්තිය ක්‍රියාවක් දැක්වීමට මේ පනත සම්මත වුවහොත් ඉඩ ලැබෙනු ඇත. මෙම පනතේ ඇති රළු, දැඩි නියෝග මගින් වෘත්තිකයන් පමණක් නොව, මාධ්‍ය පවා නීතියකට ලක් කරනු ලැබ තිබේ. සැබැවින්ම ගාලු මුවදොර විරෝධතාව පැවැත්වෙන විට මෙබඳු පනතක් බලාත්මකව තිබුණු නම් කුමකින් කුමක් සිදුවනු ඇද්ද යනු සිතා ගැනීමට හෝ නොහැක. ඉකුත් 09 වැනිදා කොළඹ දී පැවැත්වුණු ජාතික සංවිධාන එකමුතුව මාධ්‍ය හමුවක දී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කළේත් පොහොට්ටුව මන්ත්‍රීවරුන් මෙම පනතට අත ඔසවන්නේ නම් එය නිසැකයෙන්ම තමන්ගේ වළ තමන් විසින්ම කපා ගැනීමක් බවය. උන්වහන්සේ සඳහන් කළේ එදා 20 වැනි සංශෝධනයට සංවේදීව අත ඔසවා අනුමත කිරීමෙන් සිදු වූ විනාශය සිහියේ තබා ගතයුතු බවය.

කෙසේ හෝ මෙම ප්‍රතිත්‍රස්ත පනත යහපත් අරමුණකින් සද්චේතනාවකින් ගෙන එන ලද්දක් නොව දැඩි වෛරී සිතකින් ඉදිරිපත් කර ඇති බවද සමහරුන්ගේ චෝදනාවකි. ඇත්තටම රටට ජනතාවට යහපතක් වන දෙයක් ගැන දේශපාලන භේදයකින් තොරව අනුමත කිරීමට බාධාවක් නැත. එහෙත් ආණ්ඩුවක් නිතරම දුර දිග නොබලා තම පැවැත්ම හා බලය ගැන පමණක් සිතා ඉදිරිපත් කරන බොහෝ පනත් නීතිරීති ආදියෙහි ආදීනව වැටහෙන්නේ ද බලයෙන් ගිලිහී ගියවිට හා විපක්‍ෂයට ගියවිට ය. ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස තෝරාගැනීම පොහොට්ටුව කළ වරදක් බව අද එහි ප්‍රබලයෝම කියති. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ රටේ දේශපාලනඥයන් කරන වැරදිවලට සමස්ථ ජනතාවට ම විඳවීමට සිදුවීමය. ඒ මොනවා වුවත් ගෝඨාභය එදා අරගලකරුවන්ටය එරෙහිව බලය පාවිච්චි නොකර මොළය පාවිච්චි කර ගෙදරයෑම ද විශාල විනාශයකින් රට බේරා ගැනීමක් ලෙස ද හැඳින්විය යුතුය. පොහොට්ටුවේ ඇතැම් අය අද කියන්නේ ප්‍රතිවාදීන් හොම්බට ඇන නිහඬ කළ යුතු බවකි.

මෙහිදී ඇතැම් දේශපාලන විචාරකයන් විසින් කරන ලද අවධාරණයක් ද සිහි වේ. රටක ත්‍රස්තවාදය මැඬ පැවැත්වීමට විශේෂ පනතක් අවශ්‍ය නැති බවය. එය හදිසි නීතිය මහජන ආරක්‍ෂක පනත වැනි විධි විධාන මගින් සිදු කිරීමට 1972 පැවැති රජයට හැකි වූ බව ද ඔව්හු පෙන්වා දෙති. හදිසි නීතිය ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට ඉඳුරා පටහැනි වුවත් ඒ වර්ගයේ ප්‍රචණ්ඩ කෝළාහල මැඬලීමට එමගින් හැකි බවද ඔවුන්ගේ අදහස වී තිබේ. එනිසා අධිකරණ ඇමැති විජයදාස කළ යුත්තේ මේ ප්‍රතිත්‍රස්ත පනත පමා කිරීම නොව එහෙම පිටින්ම ඉවත දැමීමක් බවට සමහරුන් කරන යෝජනාව පිළිගැනීම බව අපගේ ද අදහසය. අනේක අතට ප්‍රාමානික නීතීඥයකු ද වන අධිකරණ ඇමැතිට සිය හෘදය සාක්‍ෂියට එකඟව මේ පනත ගැන විශ්ලේෂණයක් කිරීමට බාධාවක් ද නැත. එහෙත් ඔහුගේ මෙන්ම ඔහුත් අයත් වන ආණ්ඩුවේ අභිමතය හා අපේක්‍ෂාවන් අනුව මෙම පනත කෙටුම්පත් කර තිබෙන බව තේරුම් ගැනීමට ගණදෙවි නුවණ අවශ්‍ය නැත.

හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මේ පනත එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර නොමැති බවත් එය ඉවත් කර ගතයුතු බවත්ය. පසුගිය වසරේ පැවැති සාමකාමී විරෝධතා වැනිදේ නැවත සිදු කිරීම වැළැක්වීම සඳහා පොලිසියට හා හමුදාවට මෙම පනත මගින් බලය ලබා දී ඇති බවත් ඒ අනුව සාමකාමී රැස්වීම්වලට මෙන්ම කතා කිරීමේ නිදහස පවා සීමා කිරීම සඳහා මෙම පනත යොදා ගත හැකි බවද එම නිවේදනයේ සඳහන්ව ඇත. එසේම සාමකාමී අරගලවල නිරතව සිටි සිසුන් තිදෙනකු රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට ආණ්ඩුව ත්‍රස්තවාදී පනත යොදා ගත් ආකාරය ද එම නිවේදනයෙන් සිහිපත් කර තිබුණි.

අද සමාජ දේශපාලන අංශවල ප්‍රාමානික විද්වතුන් දිගින් දිගට ම චෝදනා කරන්නේ ද ගාලු මුවදොර විරෝධතාකරුවන් විසින් මෙරටේ සාම්ප්‍රදායි දේශපාලන ප්‍රභූ පන්තියට එල්ල කරන ලද අභියෝගයක් භීතියත් නොතකා සිය බලය රඳවා ගැනීමට ඔවුන් ඒකරාශි වී සිටින බවය. තමන් වෙතින් දුරස්වන ජනතා ප්‍රසාදය යළි දිනා ගැනීමට මේ ව්‍යාජ දේශපාලන ප්‍රභූවරුන් අසමත් වී සිටින බව නිසැකය. පළාත් පාලන මැතිවරණයට හරස් වෙමින් පාලකයන් දැක්වූ නග්න ප්‍රතිචාර සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට මෙන්ම පොදු ජනතාවට ද පැහැදිලි විය. එහෙත් තවමත් ඔව්හු ප්‍රජා තන්ත්‍රවාදය ගැන කටින් බතල හිටවමින් සිටිති. කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඉකුත් පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වෙමින් ප්‍රකාශ කළේ ද අද දේශපාලන බලයට ලොකු වටිනාකමක් හිමිවී තිබෙන බවත් ඒ දේශපාලනඥයන් හරියටම සීනීවලට ඇදෙන කූඹින් මෙන් බලයට ගිජුව ඇළෙන බවත්ය. අරගල කළ අය අපේක්‍ෂා කළ වෙනසක් ඔවුන්ගේ ප්‍රතිචාරත් මේ පාලකයන් තේරුම් ගෙන නැති බවද උන්වහන්සේගේ අවධාරණය විය.

මෙම අවුරුදු සමය වනවිට ඒ ගාලු මුවදොර අරගලයට ද වසරක් සපිරී තිබේ. අරගලකරුවන් විසින් පසු බස්සවන ලද මෙන්ම නිල බල අතහැර යෑමට ද සලස්වනු ලැබූ පැරැණි දේශපාලන නඩයම මේ අවුරුදු සමය නිමවනවිට යළිත් වැජඹෙනු ඇති බව සමාජ දේශපාලන අංශවල අදහස වී තිබේ. මේ අතර පොහොට්ටුවේ සමහරුන් යම් යම් පාපොච්චාරණ ද සිදු කරමින් යළිත් බලය ලබාගැනීමේ ක්‍රියාකාරකම්වලද නිරතව සිටිති. කොහොමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ද ඇතිව කඩා වැටුණු ආර්ථිකය සෙමින් නඟා ිසිටුවීමට ද ජනාධිපති රනිල් ට හැකිවීමත් සමග අරගලය අපේක්‍ෂා කළ සිස්ටම් චේන්ජ් වුවමනාද පස්සට යැයි දැයි සමහරු අනුමාන කරති. කුමක් උනත් ප්‍රතිත්‍රස්ත පනතක් පෙට්ටගම උඩ තබාගෙන තක්කිට තරිකිට කියමින් අවුරුද කන්නැයි ආණ්ඩුව ජනතාවට කියයි. එජාපයේ වජිර කියන්නේ ද රනිල් රට භාර නොගන්නට මෙදා අවුරුද්ද හබක් කියාය. අපි බලා සිටිමු.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment