සිංහල බෞද්ධ ජාතිකවාදයේ මහා ප්‍රාඥයා

637

ගමනක නිමාව…

මහාචාර්ය නලින් ද සිල්වා මහතා සිය නිල ෆේස්බුක් පිටුවෙහි අවසන් වරට සටහනක් තබා තිබුණේ, අභාවප්‍රාප්ත වීමට පෙර දිනයේදී ය. එනම් පසුගිය මැයි 01 වැනිදාය. එහිදී ඔහු සටහන් කර තිබුණේ, “දින කිහිපයක් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න,” යනුවෙනි. සිංහල බෞද්ධ සංස්කෘතිය බිහි කළ විශිෂ්ටතම දාර්ශනිකයා, චින්තකයා පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ජාතියෙන් සමුගත්තේය. එතුමා අභාවප්‍රාප්ත වන 79 වන වියේ පසුවිය. සමහර විවේචකයන්ට එතුමාගේ අදහස් දරන්නට හෝ පිළිගන්නට නොහැකි වුවත් අප මේ පත්තර රස්සාවට එන්නට පෙර සිටම ඔහුගේ ලිපි කියවූයේ මහත් ආහ්ලාදයකිනි. ඒ නිසා අප පන්නරය ලැබූ බව සටහන් කළ යුතුය. ඒ ලිපිවලින් කියවුණු දේ පොළොවේ යථාර්ථයක් වූ අයුරු ප්‍රභාකරන්ගේ මළසිරුර නන්දිකඩාල් කලපු ඉවුරේ වැටී තිබුණු විට අපට පසක් විය.

මහාචාර්ය නලින් එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාවට අදාළ ආචාර්ය උපාධිය හෙවත් දර්ශන විශාරද උපාධිය ලබාගෙන තිබුණේ 1970දීය. එම විශ්වවිද්‍යාලයේ හිටපු කීර්තිමත් ගණිතඥයකු මෙන්ම රාජකීය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිවරයකු ද වූ මහාචාර්ය විලියම් මැක්රේ නලින් ද සිල්වා මහතා ලංකාවට එද්දී “ඔබේ රට ඔබ ගැන ආඩම්බර වේවි” (your country will be proud of you) යනුවෙන් ලිපියක ලියා දුන්නත් මෙරට ඉතා අතළොස්සක් හැර බහුතරය එතුමා ගැන ආඩම්බර වුණේ නැත. එතුමාගේ වටිනාකම හඳුනා ගත්තේ නැත. ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩි ලෙස ප්‍රශ්න කළ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොව පුරා විහිදුණු එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 වසරේදී ‘මගේ ලෝකය’ නමින් ග්‍රන්ථයක් රචනා කළේ ය. ‘නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය’ නමැති සංකල්පය හඳුන්වා දුන්නේ ද එතුමා විසිනි. මහාචාර්ය නලින් ශ්‍රී ලාංකික සමාජයට බිහිවූ දුර්ලභ බුද්ධි මහිමයකින් හෙබි පුරුෂයෙකි. මතවාදී සංවාදයන් පොහොසත් වන්නේ නලින් වැනි මිනිසුන්ගේ සහභාගිත්වයෙනි.

නික්ම යෑමට පෙර මැයෙන් එතුමා මීට වසර පහකට පෙර එතුමාගේ 75 වැනි උපන්දිනය දා ලියූ ලිපිය අපගේ අවධානයට යොමුවිය, එය වඩා සුවිශේෂ ලියැවිල්ලකි. එහි ඔහු මෙසේ සටහන් කරයි. “මා උගතකුවත් බුද්ධිමතකුවත් නොවෙයි. මට වඩා උගතුන් බුද්ධිමතුන් රාශියක් මෙරට ඉන්නවා. මා උගතුන්ට හා බුද්ධිමතුන්ට අකමැතියි. ඔවුනුත් මට අකමැතියි. මගෙන් රටටවත් දැනුමටවත් කිසි සේවයක් කෙරී නැහැ. උගතුන් බුද්ධිමතුන් දැනුමට යමක් එකතු කරනවා. මා එසේ එකතු කර නැහැ. මා දැනුම නිර්මාණය කරන්න උත්සාහ ගත්තත් මා අසාර්ථක වෙලා. මට නිවන කියන්නේ දැනුමෙන් ඉවත් වීමයි. නැති මනස නැති මනසක් බව නැති මනසෙන් සම්මාබෝධ කර ගැනීමයි. එහෙම කිව්ව ම බෞද්ධයන් ය කියන අය විරුද්ධ වෙනවා. මා කන්න හදනවා. ඒත් පුනබ්භවයක් නැහැ කියන අයට කිසිවක් කියන්නේ නැහැ. එසේ කියන අය ප්‍රාඥයන් නිසා වෙන්න ඇති.”

සිංහල බෞද්ධයන්ට සිදුව ඇති විපත පිළිබඳව එතුමා නිරන්තරව සිය ලිපි මගින් පෙන්වා දුන් බව අප හොඳින් දනිමු. පැහැදිලිව සිංහල බෞද්ධ විරෝධීන්ට එතුමාගේ අදහස් වහ කදුරු මෙන් විය. බීබීසී සිංහල වෙබ් අඩවිය එතුමාගේ අභාවයෙන් පසු පලකළ ලිපියේ සඳහන් කර තිබුණේ පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ නොවූ බව තහවුරු කිරීම සඳහා නලින්ද සිල්වා මහතා ලිපි කිහිපයක් ම පළ කර තිබූ බවයි. මෙය විශේෂයෙන් කියන්නට අවශ්‍ය දෙයක්ද? පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සොයන්නට උවමනා වී ඇත්තේ සහාරාන් මෙන්ම නවුෆර් මවුලවි බේරා ගැනීමට අවශ්‍ය පිරිසටය. ඒ පිරිස මෙරට මහා සංස්කෘතියට එරෙහි වූවෝ වෙති. මේ කණ්ඩායමට අවශ්‍ය පාස්කු ප්‍රහාරයේ මහමොළකරු බෞද්ධයකු බව කියන්නටය. මෙයට විරුද්ධව නිරන්තරව මහාචාර්යතුමා ලිපි ලියූ බව අපට මතකය. පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු ප්‍රහාරය පිටුපස කවුද? ලිපියේ එතුමා මෙසේ සටහන් කරයි.

මා හැමදාමත් කියන පරිදි අපට ඉන්දියාවේ/ භාරතයේ/දඹදිව මිතුරන් ඉඳල තියෙන්නෙ තිදෙනයි. ඒ බුදුහාමුදුරුවන් මිහිඳු මහා රහතන් වහන්සේ හා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ. වාල්මිකී රාමායනය ලිවුවෙ මොන ලංකාවක් ගැන ද කියන එක ගැන නිශ්චිත මතයක් නැහැ. ඒ මේ ලංකාව වුණොත් ඉන් කියැවෙන්නේ භයානක කතාවක්. මෙරට හිටියා යැයි කියන රාවණ කෙනකු භාරතයේ රාමට පරාජය වූ බවයි කියැවෙන්නේ. ඒ එසේ නම් අප එදා සිට භාරතයේ යටත් රාජ්‍යයක්. අප භාරතයෙන් නිදහස ලැබූ අවධියක් ගැන කියැවෙන කතාවක් ඉන් පසු කියැවෙන්නේ නැහැ. විභීෂණ රාමගෙන් නිදහස් වෙලා නැහැ. ඔහු කටයුතු කර ඇත්තේ රාමගේ විසූරේ (Viceroy) ලෙසයි. අප අයෝධ්‍යාවට විරුද්ධ ව නිදහස් සටනක් කර නැහැ.

එහෙත් ඉදිරියට සිංහල බෞද්ධ මතය වෙනුවෙන් අපේ නිදහස වෙනුවෙන් රට වෙනුවෙන් නිර්භයව අදහස් දක්වන්නේ කවරෙකුද? එතුමා ඇමෙරිකාවේ මියගිය බවත් අවසන් කටයුතු එහිම සිදුකරන බවත් ඔහුගේ අදහස් පිළිනොගන්නා ඒවාට ගරු නොකරන පිරිස් උපහාසයෙන් සඳහන් කරති. එතුමා රාජපක්ෂවරුන්ට සහය දැක්වීමත් සමහරුනට බරපතළ ප්‍රශ්නයකි. නමුත් ඒ කිසිවකින් ඔහුගේ අදීන අදහස් හා චින්තනය මොට වී යන්නේ නැත. එතුමා විදේශයකදී මියගියත් ප්‍රාර්ථනා කර තිබුණේ නැවත මෙරටේ ඉපදීමට බව ඔහු ලියූ ලිපියකම සඳහන් කර තිබේ. මා පිටරටක මියයනවා නම් හොඳයි. එවිට ඇතැම් උගතුන්, බුද්ධිමතුන්, දේශපාලනඥයන්, ජනමාධ්‍යවේදීන්, ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නන් බොරුවට මුහුණ පෙන්නීමට මගේ මළගමට එන එකක් නැහැ. ඒත් නැවතත් මෙරට ඉපදීම මගේ පැතුමයි. ඒ බුදු සසුනේ චිරස්ථිතිය සඳහා සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීම සඳහා උත්සාහ කිරීමටය. එදා අනගාරික ධර්මපාලතුමා ද “මට නැවත උපදින්නට ඉඩදෙන්න, 25 වතාවක් නැවත ඉපදී බුදුන්ගේ දහම පැතිරවීමට කැමැත්තෙමි” – පැවසූ බව අපට මතකය. සිරි දේවමිත්ත ධම්මපාල හිමි අපවත් වූයේද ලංකාවේ නොව ඉන්දියාවේය. දේහය මෙරටට ගෙන ඒමට නොහැකි වූයේ මළසිරුර නරක් වීම නිසාය.

ඇත්තෙන්ම එතුමා සරල දිවි පෙවතක් ගෙවන ලද, විටක රළු භාවිතයක් ඇති චරිතයකි. ඔහු සිය මතයට අප්‍රමාණ අවංකයෙක් විය. ඒ වෙනුවෙන් අනේක කැපකිරීම් සිදු කරමින් පෙනී සිටියේය. මේ නිසා ජාතිය සවිමත් වෙද්දී, ඔහුගේ ප්‍රිය භාර්යාව සහ දූ දරුවෝ අනේක විද අපහසුකම් පීඩා වින්දාහ. මීට වසර තුනකට මහාචාර්යතුමා “අප විවාහ වී අවුරුදු පනහයි” මැයෙන් වූ ලියූ ලිපියට අපි ඉතා කැමැත්තමු. එය සැබවින්ම හෘදයාංගම ලිපියකි. එතුමා අවසන් ගමන් ගොස් සිටියද ඒ ලිපියේ කොටසක් උපුටා දක්වන්නේ ඔහුට උපහාර පිණිසමය.

ඇය කොත්මලේ. මා හා ගැමුණු කුමරු අතර සමාන කමක් තියෙනවා. අප දෙදෙනාම පෙළවහක් කරගෙන ඇත්තේ කොත්මලෙන්. සංසන්දනය එතැනින් අවසන්. මාත් ඇයත් අහසට පොළොව වගෙයි. අහස කවුද පොළොව කවුද කියල ගී රචකයකුගෙන් අහන්න ඕන. ඒ කුමක් වුවත් අපේ දරුවන් නම් කරල තියෙන්නෙ ආකාශ වස්තු නමින්. ඇය ඉතාමත් කාරුණිකයි. ඇය දක්ෂ ගුරුවරියක් බව මා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටි අයගෙන් අසා තිබෙනවා. එමෙන්ම සිසුන්ට කාරුණිකව මඟ පෙන්වූ බවත් අවශ්‍ය ප්‍රමාණයට සිසුන්ට තේරුම් ගැනීමට හැකි අයුරින් ඉගැන් වූ බවත් ඇගෙන් ඉගෙන ගත් සිසුන්ගේ මා හඳුනන දෙමවුපියන් කියා තියෙනවා. එහෙත් මා සිසුන්ට ඉගැන්වූයේ නැහැ. මා ඔවුන්ට කතන්දර කිවුවා පමණයි.

තරුණ නලින් ද සිල්වා දැඩි මතධාරී මාක්ස්වාදියෙකි. තරුණ නලින්ගේ දේශපාලන ජීවිතයේ එක්තරා කඩයිමක් වුණේ 1975 වසරේ පේරාදෙණිය සරසවියේ ‘බෞද්ධ සහෝදර සංගමය’ විසින් පවත්වන ලද එක්දින සම්මන්ත්‍රණයකි. එම සම්මන්ත්‍රණයේ ප්‍රධාන කථිකයන් දෙදෙනකු වුණේ මහාචාර්ය නලින් ද සිල්වා සහ මහාචාර්ය කඹුරුපිටියේ ආරියසේන හිමියන්ය. එහෙත් ඔහු පසුව සිංහල-බෞද්ධ ජාතිකවාදය වෙනුවෙන් ඉතාම තිරසාර ලෙස පෙනී සිටින කැපවුණු බුද්ධිමතා බවට පත්විය. ‘දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය කුමක් ද? යනුවෙන් ප්‍රශ්න කර සිටියේද එතුමා විසිනි. මෙය බොහෝ දෙනා කලබලයට පත්කරන මතවාදයක් විය. ප්‍රභාකරන්, ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා නම් ග්‍රන්ථය රචනා කරමින් ඔහු ලංකාවේ දෙමළ ජාතිවාදය, බෙදුම්වාදය හා ත්‍රස්තවාදය ඇති වූ සහ විකාශය වූ ආකාරය මනාව පැහැදිළි කර තිබේ. මේ කිසිවක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. අවසාන වශයෙන් එතුමාගේ “නික්ම යෑමට පෙර” ලිපියේ සඳහන් මේ කොටස උපුටා දක්වමි.

මට මේ රට ගැන කනගාටුයි. සිංහල බෞද්ධයන් ගැන කනගාටුයි. ඔවුන් තම සංස්කෘතියේ අගය දන්නේ නැහැ. පුහු දේශපාලනඥයන් පසුපස යනවා. බුදුහාමුදුරුවන් නොදැනුමක් දැනුමක් ලෙස දේශනා කිරීමෙන් කෙළේ අපට නොදැනුම සඳහා මඟපෙන්වීමක්. ඒ නොදැනුම අති ශ්‍රේෂ්ඨයි. ඒ නොදැනුම ඇසුරෙන් ජීවත්වීම සඳහා දැනුම නිර්මාණය කර ගන්නත් පුළුවන්. පස්වැනි සියවසට පෙර අප එසේ කර තිබෙනවා. ශූන්‍යය සඳහා හල් කිරීම සංකේතය නිර්මාණය කිරීම අපේ අති විශිෂ්ඨ කාර්යයක්. ඒ ගැන මා කොතෙක් කිව්වත් මෙරට උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ අවධානය එයට යොමු කරවන්න බැහැ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment