අයිස් ඇල්ලීම යුද හමුදාවට බාර දෙන්න

1676

හෙරොයින් සහ අයිස් නමැති මත්ද්‍රව්‍යය කිලෝ 200 ක පමණ ප්‍රමාණයක් දකුණු මුහුදෙන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි වී තිබේ. ලෝක මත්ද්‍රව්‍ය කර්මාන්තයේ අවධි කිහිපයක් ගත වී ඇති මේ සමයේදී වැඩිම ඉල්ලුමක් පවතින මත්ද්‍රව්‍ය බවට පත්ව ඇත්තේ අයිස් ය. අබිං, ගංජා, කොකේන්, හෙරොයින් යන මත්ද්‍රව්‍ය පෝලිමට අලුතින් ඇතුළත්ව සිටින අයිස් මත්ද්‍රව්‍ය හරියට අවුරුද්දක් ගැහුවොත් ගහන එකා ඇටසැකිල්ලක් බවට පත්ව හොටු හලාගෙන මරණයට පත්වන්නේ ය. කිලෝ 200 ක් බර මත්ද්‍රව්‍ය යනු රුපියල් බිලියන 2කට එහා පැත්තේ වටිනාකමක් ඇති බඩු තොගයකි. මෙයට විවිධ ද්‍රව්‍ය මිශ්‍රකර ප්‍රමාණය වැඩි කොට ලාභ උපදවනු ලැබේ. කොකේන් සහ හෙරොයින්වලට එකතු කරන්නේ පැරසිටමෝල් කුඩු ය. අයිස්වලට පත්තුකරන කපුරු එකතු කරනු ලැබේ. ඊට අමතරව හොඳට විනිවිද පෙනෙන ඉටිපන්දම් කුඩු ද මිශ්‍ර කරනු ලැබේ.

මේ සියල්ල සලකා බලන විට රුපියල් බිලියනයක් වටිනා අයිස් කිලෝ 100 කින් තවත් රුපියල් බිලියන තුනක් පමණ උපයා ගත හැකිය. ශ්‍රී ලංකාවේ පාසල්වල අයිස් මත්ද්‍රව්‍ය වේගයෙන් පැතිර යමින් පවතින බව දැන ගන්නට ඇත. මේ සමාජ උවදුර වෙන රටවල මේ තරමට නැත. ශ්‍රී ලංකාව තුළ විශේෂ ප්‍රවණතාවක් තිබේ. කිසියම් දෙයක් අලුතින් රටට පැමිණි කල රටේ සමස්ත ජනතාව එය මහත් සේ ආදරයෙන් වැළඳ ගැනීම එම ප්‍රවණතාව වේ. උදාහරණයක් වශයෙන් ජංගම දුරකථනය පැමිණ පසළොස් අවුරුද්දක් ගත වීමට පළමු රටේ ජනගනයට සමාන ජංගම දුරකථන තොගයක් ලංකාවේ තිබිණ. තවත් අවුරුදු 10 කට පසු රටේ සෑම පුද්ගලයකුටම ජංගම දුරකථන 2.5 ක් අයිතිවන තත්ත්වයක් සමීක්‍ෂණවලදී පෙන්නුම් කළේය. අද ෆේස් බුක් නොයන්නේ අතදරුවන් පමණි. අන්තර්ජාලය හරහා අසභ්‍ය චිත්‍රපට බැලීමේ ආසියානු කප් එක ඉතාම නුදුරේදී ලංකාවට ලැබීමට නියමිතය.

ශ්‍රී ලංකා පොලිසිය නිතර දෙවේලේ කුඩුකාරයන් අත්අඩංගුවට ගනිති. එහෙත් කුඩු මුදලාලිලා අත්අඩංගුවට ගැනීම ඉතා අඩු ය. කසිප්පු කර්මාන්තයේදී ද මෙය මෙසේම සිදු නොවීය. පොලිසිය හැම විටම කසිප්පු බොන අයට වඩා කසිප්පු නිෂ්පාදකයන් අත්අඩංගුවට ගත්තේය.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නමැති චිත්‍රය දෙස බලන විට වැඩි බලයක් ඇත්තේ කුඩු මුදලාලිට ය. කසිප්පු මුදලාලි යනු දෙවන පෙළේ හෝ තුට්ටු දෙකේ ව්‍යාපාරිකයෙකි. නාවර පෙරාගෙන කැලෑව අස්සට රිංගන ඔහු දොළක් අසලට ගොස් බූලිය සහ තඹ දඟරය තෙත් කොට ළිපක් දල්වා බොහෝ දුක සේ කසිප්පු පෙරා ගනී. පොලිසිය කසිප්පු පෙරණ තැනට පැන කසිප්පු මුදලාලි අල්ලාගෙන ඔහුගේ හිස මත කසිප්පු බූලිය තබා ගම හරහා ඇවිද්දවාගෙන යයි. එහෙත් කුඩු මුදලාලි සමඟ මේ සෙල්ලම් බැරි ය. කසිප්පු මුදලාලි වැඩිම වුණොත් හඳුනන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකු පමණි. එහෙත් කුඩු මුදලාලි රටේ බලසම්බන්න ඇමැතිවරුන් ද, පොලිස් ප්‍රධානීන්ද හඳුනයි.

මේ දේශපාලනඥයන්ගේ විදේශ ටි්‍රප් වලටත් දූ දරුවන්ගේ විදේශ අධ්‍යාපනයටත් සල්ලි වියදම් කරන්නේ කුඩු මුදලාලි විසිනි. ඒ නිසා ඔහුට අප්‍රමාණ බලයක් ඇත. පොලිසිය ඔහුගේ කුඩු තොගයක් ඇල්ලුවොත් සතියක් තුළ එකී මුළුමහත් පොලිසියම වව්නියාවට හෝ කිළිනොච්චියට මාරු කිරීමට කුඩු මුදලාලිට පුළුවන. මේ නිසා මිටි තැන්වලින් වතුර බසින තැන්වල පිහිනීමට ප්‍රියකරන දුප්පත් පොලිස් නිලධාරීහු කසිප්පු පෙරන්නාටම ගේම දෙති. ඔවුහු කසිප්පු පෙරන්නාට එක උදව්වක් කරති. එනම් කසිප්පු ගැලුම් 50 ක් ඇල්ලූ විට එයින් කසිප්පු භාගයක් පමණක් උසාවි දැමීමය. මේ වෙනුවෙන් පොලිස් නිලධාරියාට සෑහෙන පගාවක් දීමට කසිප්පු පෙරුම්කරුට සිදුවේ.

කොච්චර ඇල්ලුවත් මේ රටේ කුඩු හිඟයක් ඇතිවන්නේ නැත. ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්ව සිටි කාලයේ පමණක් එක් අවස්ථාවක රටේ කුඩු හිඟයක් ඇතිවිය. ඒ කුඩු ඇල්ලීම ශ්‍රී ලංකා යුද හමුදාවට භාරදුන් හෙයිනි. මෙවර ද එම උපක්‍රමය ක්‍රියාත්මක කරන ලෙස අපි රජයෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment