ඇමරිකානු සමාගමක් මෙරට ෂෙඩ් 200ක මෙහෙයුම් භාර ගනී

145

මෙරට ඉන්ධන පිරවුම්හල් 200 ක මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ඇමරිකා එක්සත් ජනපද සමාගමක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කර ඇත.

ඇමරිකා එක්සත්ත ජනපදයේ ආර්. එම්. පාර්ක්ස් ඉන්ක් (RM Parks Inc) නමැති පෙට්‍රෝලියම් නිෂ්පාදන වෙළඳපොළේ නිරත ලොව ප්‍රමුඛතම සමාගම මෙලෙස ගිවිසුම් අත්සන් කර තිබේ.

මෙම ගිවිසුමට අනුව එම සමාගම ෂෙල් සමාගමේ (shell) නිෂ්පාදන ශ්‍රී ලංකාවේ අලෙවි කටයුතු සඳහා පියවර ගැනීම සහ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතු සඳහා එක්වේ.

ඒ සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ෆ්‍රැන්චයිස් ඉන්ධන පිරවුම්හල් 150 ක් ලබා ගනිමින් සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ආරම්භ කරමින් ඛනිජ තෙල් සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතුවලට එක්වනු ඇත.

මෙය ඇමරිකානු ඩොලර් මිලියන 110 ක වටිනාකමින් යුත් ආයෝජනයක් බව ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

මෙම ආයෝජන ව්‍යාපෘතිය යටතේ පෙට්‍රල්, ඩීසල්, ජෙට් ඒ-1(A-1), භූමිතෙල් සහ උදුන් තෙල් ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සිදු කරයි.

එසේම මෙම ඉන්ධන පිරවුම්හල්වල කුඩා සුපිරි වෙළෙඳසල් ආරම්භ කිරීම, විද්‍යුත් වාහන ආරෝපණය කිරීම, ගෑස් නිෂ්පාදන අලෙවිය ආදිය ද සිදු කිරීමට නියමිතය.

අදාළ ගිවිසුම සඳහා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික චාන්දනී විජේවර්ධන මහත්මිය සහ මනිලාල් ජයසිංහ මහතා අත්සන් කළ අතර, ආර්. එම්. පාර්ක්ස් සමාගම වෙනුවෙන් එහි සභාපති ජේසන් කැලිසන් සහ උප සභාපති ජස්ටින් ඩිව්ස් යන මහත්වරු අත්සන් කළහ.

මෙම අවස්ථාවට ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය ද එක් වූවාය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment