මාසයකට කුකුළු පැටවුන් 5000ක් ඌරන්ට කන්න දීලා

688

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සත්ත්ව ගොවිපොළවල පිරිමි කුකුළු පැටවුන් මාසයකට 5000කට ආසන්න ප්‍රමාණයක් පමණ ඌරන්ට කෑම සඳහා යොදවන බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙය දැනට වසර ගණනාවක තිස්සේ සිදුකරන බව ද හෙළිවී තිබේ.

මේ සම්බන්ධව සිදු කළ සමාලෝචනයක දී කුකුළු ගොවිපොළවල ගැහැනු සතුන් හා පිරිමි සතුන් අතරින් පිරිමි සතුන් ප්‍රමාණය පාලනය කිරීම සඳහා මෙම පියවර වසර ගණනාවක් තිස්සේ සිදු කරන ක්‍රියාවලියක් බව තහවුරු වී ඇත.

මෙලෙස පිරිමි කුකුළු පැටවුන් අවිධිමත් ලෙස බැහැර කිරීම වහාම අත්හිටුවන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

රටේ කුකුළු මස් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙම පිරිමි කුකුළු පැටවුන් යොදා ගැනීම සඳහා පියවර ගත හැකි යැයි ද ඇමැතිවරයා සඳහන් කර තිබේ.

දැනට රටේ තරුණයන් විශාල පිරිසක් රැකියා විරහිතව සිටින බැවින් ඔවුන්ට මස් පිණිස කුකුළු පාලනය සඳහා මෙම සතුන් ලබා දීමට හැකි බවත් එමගින් රැකියා විරහිත තරුණයින්ට මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා අවස්ථා උදාකර දිය හැකි බවත් ඇමැතිවරයා පවසා තිබේ. එබැවින් මස් පිණිස කුකුළු පාලනයට මෙම සතුන් ලබා දීමට හැකියාව තිබිය දී මාසිකව පිරිමි කුකුළු පැටවුන් 5000ක් ඌරන්ට කෑමට ලබා දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment