වතු කම්කරුවන්ගේ අයිතීන් ඉල්ලා හැටන් නගරයේ පාගමනක්

52

වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර 200 ක් සපිරීම නිමිත්තෙන් සහ එම වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබාදෙන ලෙස බල කරමින් දමිල ප්‍රගතිශීලී සන්ධානය නුවරඑලියෙන් සහ හැටන් නගරයෙන් (12) දින පාගමනක් ආරම්භ කෙරිණ.

දමිල ප්‍රගිතිශීලී සන්ධානයේ නායක පා.ම මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් යන මහතුන් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසල සිට සර්ව ආගමික වතාවන් පැවැත්වීමෙන් අනතුරුව තලවකැලේ නගර මධ්‍යය දක්වා කිලෝමීටර් 20 ක දුරක් පාගමනේ නිරත විය.

දමිල ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම වී. රාධාක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ නියෝජ්‍ය නායකවරුන් වන පා.ම එස්. උදයකුමාර්, පා.ම එස්. වේලුකුමාර් යන මහතුන්ගේ සහභාගිත්වයෙන් නුවරඑලිය තැපැල් කාර්යාලය ඉදිරිපිට සිට තලවකැලේ නගර මධ්‍ය දක්වා කිලෝමීටර් 27 ක දුරක පාගමනක් ආරම්භ කළ අතර, මෙම පාගමන් දෙකම තලවකැලේ නගර මධ්‍යයේදී එකට එක් වීමෙන් පසු තලවකැලේ නගර මධ්‍යයේදී රැස්වීමක් පැවැත්විණ.

අපි ශ්‍රී ලංකිකයෝ යන තේමාව මුල් කර ගනිමින් මෙම පාගමන සංවිධානය කර තිබූ අතර, වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර 200 ක් ගත වී ඇතත්, එම ප්‍රජාවගේ ඉඩම්, නිවාස, අධ්‍යාපන ඇතුළු අනෙකුත් ප්‍රජාවන්ට ලැබෙන මූලික අයිතිවාසිකම් නොලැබෙන බවත්, එම අයිතිවාසිකම් ලබාගැනීමේ අරමුණින් සහ රටේ නායකයන් සහ ලෝක ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මෙම පාගමන සිදු කරන බවයි එම පක්ෂයේ නායක පා.ම මනෝ ගනේෂන් මහතා කියා සිටියේ.

මෙම පාගමනේදී මාධ්‍යට අදහස් දැක් වූ දමිල ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා කියා සිටියේ යහපාලන රජය සමයේ වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් නංවාලීමට සංවර්ධන කටයුතු රාශ්‍රියක් සිදු කළ බවත්, ඉන් අනතුරුව පැවති රජයන්ගෙන් කිසිදු දෙයක් වතු කම්කරු ප්‍රජාව වෙනුවෙන් සිදු කර නොමැති බවයි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් පා.ම රංජිත් මද්දුම බණ්ඩාර මහතා තලවකැලේ නගරයේදී පාගමනට සහය දැක්වීම සඳහා එක්වී සිටි අතර, මෙම පාගමනට නුවරඑලිය දිස්ත්‍රික් වතු රැසක වතු කම්කරුවන් තේ වතු වල සේවයට වාර්තා නොකර පාගමනට එක් වී සිටිහ.

මෙම පාගමන ගමන් ගත් මාර්ගය දෙපස දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

ඡායාරූප තලවකැලේ පැවති රැස්වීමේ ඡායාරූප
නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment