සප්‍රයිස් කරන්න ඇස් දෙක වසා පෙම්වතියගේ බෙල්ල කැපූ පෙම්වතා…කොළඹ සරසවියේ ඛේදවාචකය

794

චතුරි සූම්වලින් ක්ලාසුත් කරලා…..
මරලා තියෙන්නේ වෙන කෙනෙකුට අයිති වෙයි කියලා බයට…..
ප්‍රේම සම්බන්ධය නවත්වන තැනටම ඇවිත්….

“මගේ පුංචි කෙල්ලව ලස්සන මනමාලියක් වෙලා ගෙදරින් කැන්දන් යනවා දකින්න ආසාවෙන් බලා හිටියේ. ඒත් එයා අද මනමාලියක් වගේ ඇඳගෙන මිනී පෙට්ටියකින් ගෙදර ආවා. මං කොහොම ද මේ දුක දරාගන්නෙ.”

දුව ලස්සන ජීවිතයක් ගත කරනවා බලන්න මම හරි ආසාවෙන් හිටියේ. හීන ගොඩක් මගෙ හිතේ තිබුණා. ඒත් ඒ ඔක්කොම හීන බොඳවෙලා ගිහින්. මනමාලියක් වගේ ඇඳගෙන මගේ රත්තරන් දුව මිනී පෙට්ටියකින් ගෙදරට ආවා. මට වාවගන්න බෑ. එදා උදේ දුව කැම්පස් ගියේ අපේ කකුල් දෙක අල්ලලා වැඳලා. අනේ මගේ දුවේ එක පාරක් නැඟිටලා අම්මේ කියලා කතාකරපන් රත්තරනේ…. යැයි චතුරිගේ මව තබන විලාපය තාමත් අප දෙසවනේ රැව් පිළිරැව් දේ.

මුළු හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශය පමණක් නොව, මුළු රටේ ම දෙමාපියන්ගේ දෑසින් කඳුළු ගලාගිය මේ සිද්ධිය නිසා කිරිවත්තුඩුව ම එකම මළගමක සිරිගෙන තිබේ. චතුරි හංසිකා මල්ලිකාරච්චි හෝමාගම, කිරිවත්තුඩුව පුබුදු උයන පදිංචිව සිටි ඉගෙනීමට දක්‍ෂ දැරියකි. පාසල් අධ්‍යාපනය නිමා කළ ඇය විශ්වවිද්‍යාලයට තේරුණ දවසේ සතුටට පත්වූයේ හීන ගොඩක සැරි සරමිනි. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයට ගියේ මීට වසර තුනකට පෙරාතුව ය. හා හා පුරා කියා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අරඹා සරසවි බිමේ අසිරිය විඳි ඇයට ටික කලකින් මිතුරු මිතුරියන්ගේ ඇසුර ද ලැබිණි. මේ අතරේ ඇයගේ හදවත දිනා ගැනීමට පසිඳු චතුරංග ද සිල්වා නමැති තරුණයා සමත්වූයේ ඇයට ද නොදැනී ය. ඔහුත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකි. දෙදෙනාගේ සරසවි ප්‍රේමය දලුලා වැඩිණි. මේ ප්‍රේමය පිළිබඳ ඇයට ඒ හැටි අවබෝධයක් නො තිබිණි. විසිහතර හැවිරිදි ඇයට මේ ප්‍රේමය කුළුදුල් ප්‍රේමයක වපසරිය කියාදෙමින් තිබිණි.

දින සති බවට පෙරළී යද්දී ඇයට සිය පෙම්වතා පිළිබඳ විවිධාකාර සිතුවිලි පහළ වන්නට විය. එයා හරි අමුතුයි. විටක ඇයට එසේ සිතුණි. තවත් විටක ඇයට සිතුණේ මේ ප්‍රේමය නො ගැළපෙන එකක් බව ය. ඒ වනවිට දෙදෙනා අතර සම්බන්ධය සෑහෙන දුරකට ගලාගොස් තිබිණි.

චතුරිගේ පියත් මවත් යුද හමුදාවේ සේවයකොට විශ්‍රාම ගිය දෙදෙනෙකි. ඇයට සිටියේ එක සහෝදරියක් පමණ කි. පියා නමින් රංජිත් ප්‍රේමකුමාර ය. ඔහු යුද හමුදාවේ සේවය නිමාකොට පැමිණ කිරිවත්තුඩුව, අඹගස්හන්දිය ප්‍රදේශයේ ෆාමසියක් ආරම්භ කළේ අතමිට සරු කරගන්නට ය. චතුරිගේ මව යුද හමුදා නර්තන කණ්ඩායමේ සාමාජිකාවක්ව සිට කලින්ම විශ්‍රාම ගත්තේ දරු දෙදෙනා රැකගනු පිණිස ය.

ඇත්තට ම චතුරි හරි අහිංසක යුවතියකි. පාසල් අධ්‍යාපනයට ම යොමුව සිටි ඇයට මේ විසකුරු සමාජය පිළිබඳ ලොකු අවබෝධයක් තිබී නැත.

කොයි මවගෙත් පියාගෙත් එකම පැතුම දූ පුතුන්ට උගන්වා ඒ අය යහපත් ජීවිතයක් ගත කරනු දැකීම ය. චතුරිගේ පියාටත්, මවටත් තිබුණේ ඒ ප්‍රාර්ථනාව පමණකි. නමුත් සරසවි වරම් ලද ඇය මෙකී ප්‍රේමයේ පැටලී ගියේ හිරිමල් යොවුන් වියේ සිටි නිසා ය. දහසකුත් එකක් දුක් ගැහැට විඳ අනේක කැපකිරීම් කර උගත් දරුවා මෙවන් ප්‍රේමයක පැටළී ඇතැම් මවුපියෝ දැන සිටියේ නැත.

චතුරිගේ හදවත සොරාගත් පසිඳු අමුතු තරුණයෙකි. ඔහු කලක සිට මානසික ආතතියකින් පෙළෙමින් සිටි වග ඇය දැන සිටියේ ද නැත. දෙදෙනා හමුවන හැම විටක ම ඔහු හැසිරුණේ උමතු ලෙසිනි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර සිටිය දී පවා පසිඳුගේ හැසිරීම් මිතුරන්ට හිසරදයක් බවට පත්ව තිබී ඇත. ඔහු වරක් ගෙල වැලලා ගෙන සියදිවි නසා ගැනීමට තැත්කර ඇත. එම සිද්ධියේ දී ඔහු බේරී ඇත්තේ අනූනවයෙනි. චතුරි පිළිබඳව නිරන්තර සැකයකින් පෙළුණු ඔහු ඇය මුණ ගැසෙන හැමවිට ම රණ්ඩුවක පැටළෙන හැටි මිතුරන් දැක ඇත.

“චතුරි.. මොකක්ද මේ වැඩේ උඹලා හැම තිස්සෙම රණ්ඩු වෙන්නෙ ඇයි? කවද හරි දවසක කසාද බැඳලා කොහොමද බං ජීවත් වෙන්නේ” මිතුරියන් ඇගෙන් විමසූ වාර අපමණ ය.

“ ඒක නම් ඇත්ත බං. හැම වෙලාවෙ ම මාව සැක කරනවා. මට දැන් එපාවෙලා තියෙන්නෙ. මේ සම්බන්ධ මම නවත්වනවා” චතුරි එසේ කී වාරද අපමණ ය.

“තමුසෙ අරුන්ව ආශ්‍රය කරන්න එපා. මොකක්ද අර දාලා තිබුණ පෝස්ට් එක” ඇගේ ෆේස්බුක් ගිණුමේ තිබූ පෝස්ටුවක් අල්ලාගෙන ද ඔහු රණ්ඩුවකට පැටලිණි.

කාලය ගෙවී යද්දී ටිකෙන් ටික ඔහුව මඟහැර සිටීමට ඇය කටයුතු කළේ මේ පෙම් සබඳතාව නවතා දමන අදිටනිණි. නමුත් ඇයට ගැලවුමක් ලැබුණේ නැත. දුරකථනයෙන් ද වට්ස් ඇප් හරහා ද නිතර නිතර ඔහු ඇය හා සබඳතාව පවත්වාගෙන ගියේ රණ්ඩු සරුවල් මැද ය.

චතුරි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතර සූම් තාක්‍ෂණය හරහා දරුවන්ට අමතර ඉගැන්වීම් ද කළේ නිර්ලෝභීව ය. එයින් ඇය යම් මුදලක් ද තෘප්තියක් ද ලැබුවා ය. ඇගේ පෙම්වතා වන පසිඳු චතුරංග ද සිල්වා පදිංචි වී සිටියේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ය. ඔහු ද උපකාරක පන්ති කරමින් ප්‍රසිද්ධිය ලබා සිටියේ ය. 09, 10 හා සාමාන්‍ය පෙළ දරුවන්ට ඉගැන්වීම් කළ ඔහු වැල්ලම්පිටිය, මුල්ලේරියාව, කොළොන්නාව සහ කිරිබත්ගොඩ ප්‍රදේශවලට ගොස් පන්ති පවත්වා අමතර මුදලක් උපයා ගත්තේ ය. වරක් අපොස උසස් පෙළ ලියූ විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් සපුරාගත නො හැකිවූ අවස්ථාවක ඔහු ගෙල වැළලා ගැනීම සිදුකර ඇත. ඉන් ඔහු බේරුණේ රෝහල් ගතකර ප්‍රතිකාර ලබාගත් පසුව ය. මානසික ආතතියකින් පෙළුණ මේ තරුණයා ඒ රෝගී තත්ත්වයට වෛද්‍ය ප්‍රතිකාර ද ලබාගෙන ඇත. සුළු දෙයකට පවා අනවශ්‍ය ලෙස කිපෙන මේ තරුණයා හැමදේම පිළිබඳ සැකෙන් සිට ඇත.

“තමුසෙ මොකට ද ඌත් එක්ක කතාවට ගියේ” චතුරි කා සමග හෝ කථා කරනු දකින ඔහු කිපුණේ එලෙසිනි.

සප්‍රයිස් කරන්න ඇස් දෙක වසා පෙම්වතියගේ බෙල්ල කැපූ පෙම්වතා…කොළඹ සරසවියේ ඛේදවාචකය

“මේක අපි නවත්තමු. ඔයා හැම තිස්සෙම මාව සැක කරනවා. කොහොමද මෙහෙම ජීවත්වෙන්නෙ. අපි මේ සම්බන්ධය නතර කරමු” ඇය ඔහුට ආයාචනා කළා ය.

“චතුරි ඇයි ඔයා මට එහෙම කරන්නෙ. මම ඔයාට ආදරෙයිනෙ. මාව දාලා යන්න එපා. දැන් මගේ ජීවිතය ඔය යි. ඔයාව වෙන කාටවත් අයිති වෙන්න මම ඉඩ දෙන්නෙ නෑ” ඔහු කීවේ ප්‍රේමයෙන් උන්මාද වූ අයකු පරිද්දෙනි. ඒ හැමවිට ම ඇගේ සියුමැලි හද හඬා වැටිණ. “එක අතකට පව් එයා මට ආදරෙයි” වෙඬරු පිඬක් සේ ඇගේ හද උණුවී ගිය වාර අපමණ ය.

කෙසේ හෝ චතුරිගේ යම් යම් වෙනසක් ඔහුට දැනිණ. ඔහුට දැනෙන දේ නිවැරදිය. ඇය ටික ටික ඔහුගෙන් ඈතට යමින් සිටියා ය.

“චතුරි…. මට ඔයා එක්ක නිදහසේ ටිකක් කතා කරන්න ඕනේ..” ඔහු එසේ කීවේ පසුගිය අඟහරුවාදා (17 වැනිදා) ය. “අපි ටිකක් නිදහස් තැනකට යමු. කොළඹ විශ්වවිද්‍යාලයේ සිට පා ගමනින් දෙදෙනා තැන් දෙකකට ගියේ මේ පෙම් පලහිලව්වක දෙකෙන් එකක් බේරුම් කරගන්නට ය. චතුරිගේ පොත් බෑගය ද පසිඳුගේ පොත් බෑගය ද ඔවුන් අතය.

ඔවුන් දෙදෙනා අවසානයට නතර වූයේ කොළඹ තුරග තරග පිටියේ පඩි පෙළක් මතය. රණ්ඩුසරුවල් මැද දෙදෙනා මේ ප්‍රශ්නය බේරා ගන්නට තර්ක විතර්ක කරන්නට වූහ. විටක ඇගේ දෑසේ කඳුළු ය. තවත් විටක ඔහුගේ උගුරේ යමක් සිරවී ඇති පරිද්දෙන් නැඟෙන මහා වේදනාවකි. ඔහුගේ රළු පරුෂ වදන්වලට ඇගේ නෙතේ මතුවූ කඳුළු කැට දෙකොපුල් දිගේ රූරා ගියේ ඉකිබිඳන් මැදිනි.

පැයකට ආසන්න කාලයක් ගතවී ගියත් විසඳුමක් නොමැති ප්‍රශ්න ගොඩකි.

“චතුරි හරි ඔයා ඇස්දෙක පියාගන්න. මම ඔයාව සප්‍රයිස් කරන්නයි හදන්නෙ” අවසානයේ දී ඒ පෙම්බස ඇසූ ඇය දෙනෙත් වසා ගත්තේ ඔහු පිළිබඳ තිබූ සෙනෙහේ තරම නිසා ය.

පසිඳු බෑගයට අත දමා ඉතා තියුණු පිහියක් අතට ගෙන ඇගේ ගෙල හරහා එල්ල කළේ වියරුවෙනි. ඇය කෑ ගසා ජීවිතය යැද්දා ය. නමුත් උන්මත්කක නරුමයා ඇගේ දිවිය තුරන්කර දමා පලාගියේ අහළ පහළ උදවිය මේ තරුණිය අසලට දිව එද්දී ය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පසිඳු චතුරංග ද සිල්වා පොලිසියට දුන් කටඋත්තරයේ මෙසේ සඳහන් වේ.

“මම එයාට කියන්නේ චූටි කියලා. චූටි මට නිතරම බනිනවා. මානසික රෝගියෙක්, පිස්සෙක් කියලා බනිනවා. මගේ චූටි වෙන කෙනකුට අයිති වෙන්න ඉඩ දෙන්න බෑ… ඊට පස්සෙ මම තීරණය කළා එයාව මරන්න.

2019 වසරේ දී තමයි මම මානසික ආතතියට ප්‍රතිකාර ගත්තෙ. 2020 දී තමයි මට චූටිව හමුවෙලා ප්‍රේමය පටන් ගත්තෙ. ඇය මගේ ලෙඩේ දැනගෙන හිටියේ නෑ. ඒත් යාළු වෙලා මාස හතර පහකට පස්සෙ එයා ඒක දැනගත්තා. එයාට වෙන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව ද කියලා හෙව්වා. නමුත් එහෙම දෙයක් තිබුණේ නෑ. එයා වෙනස් වුණා. මට පිස්සා මානසික රෝගියා කියලා හැම තිස්සෙම බනින්න ගත්තා. පසුගිය සෙනසුරාදා එයා මාත් එක්ක රණ්ඩු වුණා. මේ සම්බන්ධය නතර කරමු කියලා .

එයා මරන්න තීරණය කළා. ඉරිදා මම වැල්ලම්පිටිය හන්දියෙන් රුපියල් 140ක් දීලා පිහියක් මිල දී ගත්තා. අඟහරුවාදා (17 වැනිදා) ගෙදරින් එළියට බැස්සෙ ඒ පිහිය බෑග් එකේ දාගෙන. එදා කැම්පස් එකේ පළමු දේශනයට සහභාගි වුණා. මම චූටිට කිව්වා විශේෂ දෙයක් කියන්න තියෙනවා පොඩ්ඩක් එන්න කියලා. ඊට පස්සේ තුරග තරග පිට්ටනියේ ලකුණු පුවරුව ළඟට එක්ක ඇවිත් සප්‍රයිස් එකක් තියෙනවා කියලා ඇස් වහලා පිහි පහර එල්ල කළා.

කුරාකුහුඹුවකුට වරදක් නො කළ විසිහතර හැවිරිදි මේ තරුණිය මරුවා සමග පොරබදා සදා නින්දකට වැටිණි. ප්‍රේමයෙන් පමණක් නොව රෝගී තත්ත්වයකින් ද උන්මන්තකයෙක් බවට පත්ව සිටි තරුණයා සියදිවි නසා ගන්නා අරමුණින් දුම්රියට බෙල්ල තැබීමට කල්පනා කළේ ය. නමුත් දුම්රිය එනු දුටු ඔහුට අනියත බියක් දැනිණ. කැලණි ගඟට පැන දිවි නසා ගන්නට කල්පනා කරමින් ලතැවුණ ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූයේ ඒ ඇසිල්ලෙනි. එසේ නොවුනට මේ උන්මන්තක ප්‍රේම මාරයා ද මරු තුරුලට යන්නට ඉඩ තිබිණි.

දැන් සියල්ල අවසන් ය. ලේ කිරි කර පොවා ආදරයෙන් රැකබලාගත් දියණිය උන්මන්තකයකුගේ ගොදුරක් බවට පත්වී හමාර ය. ඒ මවත්, පියාත්, සොයුරියත් මේ දුක උහුලන්නේ කෙලෙස ද? සරසවි වරම් ලබා උපාධියකුත් ගෙන සාරවත් ජීවිතයක් ගතකරන්නට සියල්ල තිබිය දී ඇය මරුවා සමග යන්නට ගොසිනි.

“මම එයාට තාමත් ආදරෙයි.” මේ උන්මන්තක තරුණයා පොලිස් අත්අඩංගුවට පත්වූ පසුත් කියන්නේ ඒ ටික ය. එයාව වෙන කෙනකුට අයිති වෙනවා මට බලාඉන්න බැරි වුණා. ඒකත් ඒ තරුණයා කී කතාවකි.

දෙමාපියන් මෙන්ම දරුවන් ද මේ සිද්ධිය පාඩමක් බවට පත්කර ගත යුතුය. පාසල් යවා, විශ්වවිද්‍යාලයට යන දරුවන් පමණක් නොව, මඟතොට යන කොයි කවුරුත් ප්‍රවේශම් විය යුතුය. වියරු උන්මන්තකයින්ට හසුවූ පසු ගැලවීමක් නැත. එනිසා තරුණ දූවරු ප්‍රේමයක පැටළෙන්නට පෙර එක් වරක් නොව සිය දහස් වතාවක් කල්පනා කළ යුතුය. ආලයට ඇස් නැතැයි කියති. ප්‍රේමයයි වෛරයක් අතරෙ වෙනස කෙස් ගසකට සමාන යැයි ද කියති. නමුත් චතුරිට වෙච්ච දේ මහපොළොවට පවා උහුලාගත නො හැකි වේදනාවක් ඉතිරි කර ඇත.

ඇය මළවුන් අතර ය. ඔහු හිර කූඩුවක ය.

“මගේ පුංචි කෙල්ල ලස්සන මනමාලියක් වෙලා ගෙදරට එනවා දකින්නයි බලා හිටියේ. අන්තිමේ දී මගේ රත්තරන් කෙල්ල මිනී පෙට්ටියක නිදාගෙන මනමාලියක් වගේ ඇඳන් ගෙදරට ගෙනැත්. මගේ රත්තරන් දුවේ නැඟිටපන් මගෙ දුවේ…. ඒ මව විළාප තබන අයුරු දැක අපේ නෙත් තෙත්ව ගියේ ය. ඒ මවගේ විළාපය, පියාගේ කඳුළු කැට සිහිවන මේ මොහොතෙත් අපගේ හද හඬා වැටේ.

ශිරාන් රණසිංහ සහ හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment