ලොග්ගල් ඔය සුන්දරත්වය මැදින් ජයග්‍රාහි ගමන බදුල්ලට…

325

අර්බුදයක් ගිය දුර… අද මහියංගනය – බදුල්ල (අවසන් කොටස)

පසුගිය කාලයේ තෙල් හිඟ වූ විට ඉන්ධන හල් අවට දින දෙක තුන පෝලිම් නිර්මාණය වෙද්දී, තෙල් මත්තෙම නැහෙන්නට බැරි නිසා, දවස් ගණන් පෝලිම්වල ලඟින්නට බැරි නිසාම, පා පැදියෙන් කාර්යාලයට යන්න ඕනේ කියලා මටත් හිතුණා. වාහනයෙන් කාර්යාලයට ආ මට පාපැදියෙන් කාර්යාලයට එන විට, සමහරක් මිතුරන්ට එය හිනාවට කාරණයක් වුණා. දවසක් දෙකක්. සුමානයක් පාපැදියෙන් එන යන කොට, වෙනත් සාමාන්‍ය ගමන් බිමන් ද පාපැදියෙන්ම යනකොට, සෞඛ්‍ය තත්ත්වයේ යහපත් වෙනසක්, ශරීරයේ සැහැල්ලුවක්, මනසට සහනයක්, මේ අර්බුදකාරී අවස්ථාවේ සාක්කුවට ඉතිරියක්, දැනෙන්නට පටන් ගත්තා. විකල්පය විනෝදයක් වුණ අවස්ථාවක් විදිහට දුර ගමන් යන්න ආසාව ආවා කාර්යාලයේ රවී සමග මහනුවර, මහියංගනය සහ බදුල්ලට දවස් තුනකට යන්න තීරණය කලා. ඒ ගමනේ රසවත් සිදුවීම් වල අද අවසන් කොටස…

ලොග්ගල් ඔය සුන්දරත්වය මැදින් ජයග්‍රාහි ගමන බදුල්ලට…

මේ ගමනින් ලත් අද්දකීම් අනුව මම හැම දෙනාගෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි පුලුවන් හැම වෙලාවකම පාපැදියක ගමන් කරන්න කියලා. පාපැදියෙන් යන දුර වැඩිවෙන්න වැඩිවෙන්න ශ්‍රී ලංකාවේ සුන්දරත්වයත් වැඩි වැඩියෙන් ඔබට රසවින්දනය කළ හැකියි.

ලොග්ගල් ඔය සුන්දරත්වය මැදින් ජයග්‍රාහි ගමන බදුල්ලට…

එලාම් එක තිබ්බේ පාන්දර 4.00 ට වුණාට 2.45 පමණ ට ඇහැරුණා. ඒ, මදුරුවෙක් කණ ඇතුළට රිංගන්න වගේ සද්දේ දාගෙන ගිය නිසා. රවි මදුරු දැල ඇද වටේට දාගෙන නිසා රවීට මදුරුවන්ගෙන් කරදරයක් නෑ වගේ. මම නැවත නිදාගන්න ඇස් දෙක පියා ගත්තත් නින්ද යන්නේ නැහැ වගේ. මොකද, අද සවස හතර පහ වෙනකොට බදුල්ල දුම්රියපොළේ ඉන්න ඕනෙ. ‘නයිට් මේල්’ එක සවස 6.05 පිටත් වෙනවා. ‘නයිට් මේල්’ එක අල්ල ගන්න බැරි වුණොත් තව දවසක්ම බදුල්ලෙ ඉන්න වෙනවා. ඒක ඔලුවේ තදින්ම වැඩකරනවා .

කිලෝ මීටර් 53 යි ගමනට (මහියංගනය – බදුල්ල) තියෙන්නෙ. හැබැයි අමාරුයි. මීගහකිවුල කන්ද කිලෝ මීටර් පහ හයක් ඇදෙනවා. දුන්හිඳ ඉඳන් රීදිපානට කිලෝමීටර් තුනක් පමණ තියෙනවා. අමාරුම තැන එතන තමයි. ඒකටත් එක්ක ලෑස්ති වෙන්න එක්ක රවීව හතරට නැඟිට්ටුවා. පාන්දර 5 වෙනකොට මල් අරගෙන මහියංගනය මහ සෑය වන්දනා කරන්න පටන් ගත්තා. (සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අතිශය පූජනීය වූ මුදුන්මල්කඩක්සේ සලකනු ලබන්නේ ඓතිහාසික මහියංගන පුණ්‍ය භූමියයි. සිද්ධාර්ථ බෝසතුන් ලොව්තුරා බුද්ධත්වයට පත්ව එළැඹි නවවැනි මස දුරුතු පුරපසළොස්වක් පොහෝ දින වර්තමානයේ මහියංගන ස්ථූපය පිහිටා ඇති මනරම් භූමි භාගයේ අහස් කුස වැඩසිට විවිධ ආශ්චර්යමත් ප්‍රාතිහාර්යයන් පාමින් යක්‍ෂ හා නාග ගෝත්‍රිකයන් අතර සිදුවීමට සැලසුම් කර තිබූ මහා සංග්‍රාමය වළක්වා සිරිලක් දේශයෙහි බුදුසසුන පිහිටුවීම පිණිස සුදුසු පසුබිම නිර්මාණය කිරීමේ මහඟු කාර්යය එදා මේ පින්බිමේ සිදුවිය.

ලොග්ගල් ඔය සුන්දරත්වය මැදින් ජයග්‍රාහි ගමන බදුල්ලට…
ලොග්ගල් ඔය

ඒ අනුව ශ්‍රී ලංකාද්වීපයේ ප්‍රථම වරට බුදු සිරිපා පහසින් අතිශයින් පාරිශුද්ධත්වයට පත් පුණ්‍ය භූමියක් ලෙස මිනිපේ, මහියංගන හා තදාසන්න ප්‍රදේශ කේන්ද්‍රකොටගත් මහානාග නම් වූ වනෝද්‍යානය සිය ජය භූමිය හා සංග්‍රාම භූමිය කොටගත් යක්‍ෂ ගෝත්‍රිකයන් දමනය කිරීමත් සිරිලක් බුදුසමය වැළඳගත් ප්‍රථම බුදුනුවන් ලෙස ‘ශමණභක්‍ෂණ’ හෙවත් සුමන සමන් දෙව් රජු පත්වීමත්, සිරිලක ප්‍රථම ස්ථූපය ලෙස මහියංගනය මහාසෑය පිහිටුවීමත් , බුදුහිමියන් ජීවමාන සිටියදී ලොව බිහිවූ ප්‍රථම ස්ථූපය මහියංගනය වීමත් , ජීවමාන බුදුහිමියන් විසින් සිය සිරස පිරිමැද සමන් දෙවියන් වෙත ලබාදුන් කේෂ ධාතු නිධන් කොට ඉදිකළ එකම සෑය මහියංගනය වීමත් නිසා සිරිලක සොළොස්මස්ථාන අතරින් පළමුවෙන්ම සඳහන් වන්නේ මහියංගනයයි. තවත් පුරාවෘතයකට අනුව දෙව්ලොවෙහි පවතින බැව් විශ්වාස කෙරෙන සිළුමිණ සෑය පිහිටා ඇත්තේ මහියංගනය මහා සෑයට සමාන්තර හරියටම එය කෙලින්වීම නිසා මෙම ස්ථූපයට සුමනසමන් දෙව් රජු විසින් මහියංගනය ලෙස නම් කළ බවයි. – උපුටා ගැනීමකි)

ලොග්ගල් ඔය සුන්දරත්වය මැදින් ජයග්‍රාහි ගමන බදුල්ලට…
අලි කඳුර අතරින්

පාන්දර පහ කියලා නැහැ බැතිමතුන් විශාල පිරිසක් ඇවිත්. අනික අද සඳුදා දවසක්. හැමදාමත් මෙහෙම වෙන්න ඇති. ධාතු මන්දිරයේ තේවාව පටන් අරන්. හනික රවියි, මම එතනට සම්බන්ධ වෙලා වන්දනා මාන කළා. බෝධියේ අතු බිමට නැමිලා. බෝධි වෘක්ෂයේ කඳට අතු දරා ගන්න බැරි වෙයි කියලා ආධාරක සහිතව මුක්කු ගසා තිබුණා. බිමට වැටුන අත්තකට ඔලුව තියලා ප්‍රාර්ථනා කළේ හොඳින් ගමන නිමා කරන්න ලැබෙන්න කියලා.

6.10 ය වෙනකොට රවියි, මමයි කාර්යාලයට යතුර භාරදීලා, ස්තුති කරලා නැවත ගමන පටන් ගත්තා.

ලොග්ගල් ඔය සුන්දරත්වය මැදින් ජයග්‍රාහි ගමන බදුල්ලට…
මහියංගන ස්ථූපය

පාර දෙපැත්තෙම යායට අස්වද්දපු කුඹුරු. නිල් පාටට පැල ගොයම සරුවට පේනවා. එහෙම කුඹුරු යායවල් දැකීමත් සතුටක්. මන්ද පහුගිය අවුරුදු දෙකක ඇතුළත සිද්ධ වෙච්ච දේවල් ඇහුවාම, දැක්කම.

පාසල් යන ලොකු කුඩා ළමයි අපට අත වනනවා. අපට ආශීර්වාදයක් වගේ. අපිත් අත වනමින් ඉදිරියට පැද්දා.

පාන්දරම නැගිට්ට නිසාදෝ බඩගින්න තදින් දැනෙනවා. තැන් දෙක තුනක නතර කළත් බනිස් වර්ග තිබුණෙ. අපට හිතට මදි. උණු උණුවේ පානුයි පරිප්පුයි හරි කමක් නැහැ, කඩයක් හමුවුණොත් කියලා හිතුවේ. එහෙම කඩයක් හම්බ වෙනකම් පැද්දා. කිලෝමීටර් පහක් පමණ පදින කොට රවී කඩයක් ළඟ නතර කළා. ‘මල්ලි කෑම මොනවද තියෙන්නෙ’ රවි ඇහුවා. ‘බත ලිපේ දෙන්න පුළුවන්’ කීවා. රවි ඔලුව වැනුවා. මමත් හෙමිහිට සයිකලය නතර කරලා කඩයට ගොඩ වුණා. අපි හිතාගෙන ආපු විදියට උණුවෙන්ම කෑම ටික ලැබුණා.

උදේ ආහාරයෙන් පසු විනාඩි 45 ක් පමණ විවේක අරගෙන බයිසිකලයට ගොඩ උනා. කෑම කඩේ මල්ලි කිව්වේ ‘වමට ගියොත් බිබිලට යන පාර’, දකුණට ගියොත් බන්ට් එක දිගේ බදුල්ලට කියලා. අපි දකුණු පැත්තට පැද්දා. කිලෝමීටර් ගානක් දුර ඉදන් වතුර අරන් එන ‘වියනා ඇළ’ හමුවුණා. ඇළේ එක පැත්තක රූස්ස ගස් වැවිලා. අනිත් පැත්තේ අපි යන පාර. අපිට දකුණු පැත්තෙත් ගස් වලින් පිරිලා. හරිම ලස්සනයි. ඈතීන් ඇහෙන්නේ මොනරුන්ගේ කෑගැහිල්ල විතරමයි. ඉඳහිට වාහනයක් දෙකක් යනවා. පාලුවත්, නිස්කලංකත්වයත් පිරිච්ච මේ පරිසරයෙන් ටිකක් ඉදිරියට යන විට රූස්ස ගස් වැවිච්ච කැලයක් හමුවුණා. ‘අලි කඳුර’ කියලයි ඒ හරියට කියන්නෙ. අලි ගැවසෙන කැලයක්. රවියි මමයි සීරුවට පැද්දා. ඒ කැලය මැදින් එළියට ආවේ තවත් ලස්සනම පරිසරයකට. ඒ හපොල ඔය ජලාශය සහිත ප්‍රදේශය. ජලාශයේ වාන ලඟ නැවති ඒ අවට ලස්සන පරිසරය වින්දා. දැන් උදේ 9ටත් ළඟයි.

එතනින් ඉදිරියට එනකොට ලොග්ගල් ඔය හන්දියේ පළතුරු කඩයක් ළඟ නතර වුණා. අපි ඉදිච්ච අඹ හත අටක් කෑවේ ගණන් අහන්නෙ නැතුවම. කඩේ වටේටම රිළව්. මම කෑල්ලක් කාපු ගෙඩියක් රිළවෙකුට විසි කළා. ‘මහත්තයලා සත්තුන්ට පළතුරු දීලා යනවා. සත්තු මෙතැනට පුරුදු වෙලා. අපිට පළතුරක් විකුණ ගන්න බැහැ. ඔය වැඩේ කරන්න එපා’ කියලා පළතුරු වෙළෙන්දා දොස් කීවා. ‘රිළවු ක්ෂණයෙන් ඇවිත් පළතුරු උස්සන් යනවාලු . මේ පාරෙන් ‘ටි්‍රප්’ යන එන උදවිය අනුකම්පාවට පළතුරු දීලා, අපිට භූමිකම්පාවක් වෙලා තියෙන්නෙ’ කඩේ වෙළෙන්දා දොස් කියන්න පටන් ගත්තා. මෙහෙත් රිලවු ප්‍රශ්නය තදින්ම තියෙනවා.

ලොග්ගල් ඔය සුන්දරත්වය මැදින් ජයග්‍රාහි ගමන බදුල්ලට…

දැන් කි.මී. 20 විතර ඇවිත්. පරිසරයේ සුන්දරත්වය නිසා මහන්සියක් දැනුනේ නෑ. පළතුරු කඩෙන් පිටත් වෙලා ටික දුරක් යන්න වුනේ නෑ මම ජීවිතයේ දැකපු ලස්සනම පරිසරයක් හමු වුනා. ‘ලොග්ගල් ඔය’ ජලාශ ප්‍රදේශය. (වැලිමඩ උමාඔයෙන් එන වතුර වැටෙන්නේ රන්දෙණිගල – රන්ටැඹේට. රන්ටැඹෙන් එන වතුර දකුණු ඉවුර හරහා ලොග්ගල්ඔයට එනවා. වම් ඉවුරේ ජලය මිනිපෙට යනවා. ලොග්ගල්ඔය ජලය මාපාකඩ වැව, උල්හිටි වැව, රත්කිඳ, දියබාඳා ඔයෙන් බබරවානා වැවට ගිහින් මහවැලි සී කලාපය පෝෂණය කිරීමට ගලා බසින අතර අනුරාධපුර, පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය දක්වා මේ වතුර ගලා බසිනවා.) අංශක 360 ක් පුරාවම කඳු යායවල්. කුරුල්ලන් රෑන් පිටින් ඉගිලි යනවා. ළපටි හිරු එළිය හොඳින් වැටී ගෙන එන නිසා වැව වටේ ඇති දර්ශනය පරාවර්තනය වී චිත්‍රයක් වගේ පෙනෙනවා. මසුන් ඇල්ලීමට ආ පාරු කීපයකුත් අඩු නැතිව චිත්‍රයට ඇතුලත් වෙලා තිබුණා. ‘පාලුව’ දර්ශනය තවත් තීව්‍ර කරා. මම දැකපු ලස්සනම පරිසරයක්.

රවීට ඕනේ නාන්නමයි. නොදන්නා තැන්වල නාන්න හොඳ නැහැ. ඒක මගේ හිතට ධාරණය වෙච්ච කාරණයක්. ලොග්ගල්ඔය වාන් දමන සොරොව්ව ළඟ නැවතිලා අවට තැන් බලමින් තවත් කාලය ගත කලා. දැන් වේලාව උදේ 9.50 යි. මම රවිට කීව්වා ‘ඉක්මන් කරමු’ කියලා. මේ පරිසරයේ මොන පැත්ත බැලුවත් ලස්සනයි. රවිට ඉන්නමයි හිත. මගේ හිතේ තිබෙන්නම ‘නයිට් මේල්’ එක.

ලොග්ගල් ඔය සුන්දරත්වය මැදින් ජයග්‍රාහි ගමන බදුල්ලට…

දැන් මහියංගනයේ ඉඳන් කිලෝමීටර් 37 ක් ඇවිත්. නුවර සිට රජමාවත ඔස්සේ ඉඳන් එන පාර මහියංගනය – බදුල්ල පාරට වැටෙන තැන බුද්ධංගල හන්දිය පසු කරන විට රවී මාව ඉස්සර කරලා යනවා. බල්ලගොල්ල පසු කරගෙන මීගහකිවුලට උදේ 11.40ට පමණ ආවා. මීගහකිවුල ටිකක් නැග්මක් තියෙන්නෙ. රවී මහන්සියි කිව්වත් අපි අමාරුවෙන් නැග්ගා. මීගහකිවුල පාස් කරගෙන තල්දෙන බන්ධනාගාර පුනරුත්ථාපන කඳවුරත් පහු කරගෙන ඉදිරියට ගියා. දැන්නම් හොඳ ගණන්. එන්න එන්න අමාරුයි. අඹගහ ඔය හරිය හොදටම අමාරුයි. තල්ලු කරගෙන තමයි ආවේ. දුන්හිඳ පැත්ත බලන්නවත් අපිට සිහියක් නැහැ. දැන් දැන් ඡායාරූප ගැනිල්ලත් අත ඇරිලා. මීටර 50න් 50 නවතිනවා. දුන්හිඳ ඇල්ලට යන තැන දකුණු පැත්තේ වාහන කිහිපයක් නතර කරලා තිබුණා යාන්තමට මතකයි. එච්චරට මහන්සියි. අංශක 50 කට වඩා ආනත කන්ද පදිනවා තියා තල්ලු කරන්න අමාරුයි. අමාරුවෙන් අමාරුවෙන් රීදිපානට ආවා. (කිලෝමීටර් දෙකහමාරක් විතර කන්ද. රීදිපානට ආවා කියන්නේ බදුල්ලට ආවා වගේ තමයි. රිදිපානේ ඉදලා බදුල්ල නගරයටම පල්ලම.) අතීතයේත්, වර්තමානයෙත් පාන්දර ‘වියලුව’ ගමෙන් පිට වෙන දර පටවා ගත් ගැල් කරත්ත හැන්දෑව වෙනකොට රීදිපානට එනවාලු. රීදිපානදී තමයි ගැල්වලින් ගවයන් නිදහස් කරලා ගැල්කරුවන් විවේක අරගෙන රැය ගත කරන්නෙ. අතීතයේ ඉඳලම රීදිපාන ගැල්කරුවන්ගේ නවාතැන්පොළක්.

දැන් වෙලාව දවල් 2.25යි. දවල්ට තාම කෑවෙත් නැහැ. රීදිපානෙන් බයිසිකලයට නැග ගත්ත අපි එක පිම්මේ බදුල්ලෙ පැත්තට ආවා. පුදුම සතුටක්. අපේ ඉලක්කයට ළඟා වෙමින් තිබෙනවා කියලා දැනෙනවා. පල්ලමේ ආපු වේගයට යන්තමින් දැක්කා දකුණු පැත්තෙ ෆුඩ්සිටි එකක්. මම දකුණු පැත්තට අත දාලා, දකුණු පැත්තට හරවන්න රවිට සිග්නල් එකක් දුන්නේ පාරේ වාහනවලටත් එක්ක. ෆුඩ්සිටි එක ළඟ බයිසිකලය නතර කරලා ඉක්මනින් ගිහින් ‘අයිස්ක්‍රීම් කෝන්’ දෙකක් අරගෙන එතනම ඉස්සරහම ඉඳගෙන මහන්සියට කෑවා. මහන්සි වුණාම එක පාරට සීතල දෙයක් ශරීරයට ඇතුල් කරන්න හොඳ නැති වුණත් ඒක කරන්න උනා. ඒ තරමටම මහන්සියි.

බදුල්ල දුම්රියපොළ තියෙන ඉසව්ව අපි නොදන්නා නිසා, පාර ඉන්න අයගෙන් අහගෙන සවස 3ට පමණ දුම්රියපොළට ආවා. අපිට දැනුනේ පුදුමාකාර සතුටක්. අත් දෙකෙක් පහ දාලා, දෙන්නට දෙන්නා වැලඳගත්තේ තරගයක් ජයග්‍රහණය කළා වගේ. දවස් තුනක ගමන නිමා කළේ කිසිම අතුරු අන්තරාවක් නැතිව. අඩුම තරමේ බයිසිකලයවත් අපිට කරදරයක් ගෙනාවේත් නැහැ. බයිසිකලයටත් උණුසුම් හාද්දක් දීලා කෘතගුණ දැක්වුවා.

බයිසිකල් දෙක රාත්‍රී තැපැල් දුම්රියට භාරදෙන්න රවි ගිහින් කතා කළා. බදුල්ල දුම්රියපොළේ නිලධාරීන් මහත්වරු අපිට ඉතා කාරුණිකව උදව් කරා. බයිසිකල් දෙකකට අපේ නම් සමග බයිසිකල් බාගන්නා ස්ටේෂම බෝඩ් එකක ලියලා බයිසිකල් දෙකේ එල්ලුවා. රවී රාගම. මම කොටුව. (පා පැදියක් නයිට් මේල් එකේ බදුල්ලේ සිට කොටුවට ගෙනියනවට රුපියල් 3036ක මුදලක් අය කරා.) අපි ටිකට් දෙකකුත් අරගෙන එළියට ආවේ, ඒ වෙනකොට අපිව එක්ක යන්න වෛද්‍ය සමන්ත සහ වෛද්‍ය තේජා දුම්රිය පොළට පැමිණ සිටියා. ඔවුන්ගේ නිවසට ගොස් සම්පූර්ණයෙන් පිරිසිදු වී, තේ පැන් සංග්‍රහයද බුක්ති විඳ 5.50 ට නැවත දුම්රියපළට ආවා.

ලොග්ගල් ඔය සුන්දරත්වය මැදින් ජයග්‍රාහි ගමන බදුල්ලට…
බදුල්ලෙන් දුම්රිය පිටත්වීමට මොහොතකට පෙර

දුම්රිය කොළඹට යන්න තව ටික වෙලාවයි. කොළඹ සිට මේ ආපු ගමනේ කිසිම කරදරයක් වෙන්නෙ නැතුව මට සහාය වුණු බයිසිකලය කෝ කියලා මම බැලුවා. දුම්රිය පාර්සල් පෙට්ටියේ නොවැටෙන සේ ලණුවලින් බැඳලා තිබුණා. රවියි මමයි ඡායරූප කිහිපයක් ගෙන අපිට නියමිත ආසනවල ඉඳගත්තා. ජනෙල් කවුළුවක් ළඟ ඉඳ ගත්ත මම, අපිට උදව් කළ නිලධාරි මහත්මයෙක් අත වනමින් ‘ගිහින් එන්න’ කියලා ආචාර කරනවා අහම්බෙන් දැක්කේ. අපිත් අත වනමින් ඔවුන්ට ආචාර කරන විට දුම්රිය හෙමින් හෙමින් ඉදිරියට ඇදුනා.

හර්ෂණ ජයතිලක
ඡායාරූප: රවි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment