ශාන්ත තෝමස්, ශාන්ත අන්තෝනි, විද්‍යාර්ථ, ශාන්ත පීතර, ධර්මරාජ සහ ඉසිපතනට ජය – ඩයලොග් ලීග් ශූරතා 19 න් පහළ රග්බි

180

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක ඩයලොග් ලීග් ශූරතා අවුරුදු 19 න් පහළ පාසල් ප්‍රමුඛ පෙළ රග්බි තරගාවලියේ ආරම්භක සතියේ ජයග්‍රහණ වාර්තා කර ගැනීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල, මහනුවර ධර්මරාජ විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල සමත් විය.

● ගල්කිස්ස ශාන්ත තෝමස් 19 – කොළඹ වෙස්ලි 13

වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 19 – 13 ලෙස තම පළමු ජයග්‍රහණය සටහන් කර ගැනීමට ශාන්ත තෝමස් විදුහලට හැකියාව ලැබුණි. තම හුරුපුරුදු ක්‍රීඩාංගණයේදී ආක්‍රමණශීලී ක්‍රීඩාවක නිරත වූ ශාන්ත තෝමස් ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 02 ක් සහ දඬුවම් පහර 03 ක් සාර්ථක කර ගනිමින් ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත වෙස්ලි විදුහලට සටහන් කර ගැනීමට හැකි වූයේ ගෝල දිනුමක් සහ දඬුවම් පහර 03 ක් පමණි.

● කොළඹ ඉසිපතන 32 – මහනුවර කිංග්ස්වුඩ් 08

ඉකුත් වසරේ ලීග් ශූරතාව තහවුරු කර ගත් ඉසිපතන විදුහලට එරෙහිව කිංග්ස්වුඩ් විදුහල බෝගම්බරදී තරග වැදුණු අතර එහිදී ලකුණු 32 – 08 ක පහසු ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ඉසිපතන ක්‍රීඩකයන්හට හැකියාව ලැබිණි.

● මහනුවර විද්‍යාර්ථ 26 – ගල්කිස්ස විද්‍යා 19

බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවති විද්‍යාර්ථ සහ විද්‍යා විදුහල අතර තරගයේ ජයග්‍රහණය ලකුණු 26 – 19 ක් ලෙස සටහන් කර ගැනීමට විද්‍යාර්ථ ක්‍රීඩකයෝ සමත් වූහ.

● බම්බලපිටිය ශාන්ත පීතර 11 – කොළඹ රාජකීය 05

තම හුරුපුරුදු ක්‍රීඩාංගණයේදී රාජකීය විදුහල පරාජයට පත් කරමින් ලකුණු 11- 05 ක තියුණු ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.

● මහනුවර ධර්මරාජ 17 – මහනුවර ත්‍රිත්ව 15

කන්ද උඩරට සටනක් බවට පරිවර්තනය වූ ධර්මරාජ සහ ත්‍රිත්ව දෙවිදුහල් අතර තරගයේදී අතිශය තියුණු ජයග්‍රහණයක මිහිරි රස පානය කිරීමට ධර්මරාජ විදුහලට හැකි විය. බෝගම්බර ක්‍රීඩාංගණයේ දී ගෝල් දිනුම් 02 ක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ධර්මරාජ විදුහල සමත් වූ අතර උත්සාහක දිනුම් ත්‍රිත්වයකින් සෑහීමට පත්වන්නට ත්‍රිත්ව විදුහලට සිදු විය.

● කටුගස්තොට ශාන්ත අන්තෝනි 22 – ශාන්ත ජෝශප් 12

ඉකුත් වර තරගාවලියේදී කැපී පෙනුණු ශාන්ත ජෝශප් විදුහලට එරෙහිව බෝගම්බර දී මනරම් ක්‍රීඩා රටාවක නිරත වෙමින් ලකුණු 22 – 12 ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට කටුගස්තොට ක්‍රීඩකයෝ සමත්වීම කැපී පෙනුණි.

ප්‍රථම භාගය නිම වන විට ලකුණු 12 – 10 ක් ලෙස ශාන්ත ජෝශප් පිල පෙරමුණේ පසු විය. එහෙත් දෙවන භාගය පුරා සංවිධානාත්මක ක්‍රීඩා රටාවක නිරත වෙමින් ජයග්‍රහණය සනාථ කර ගැනීමට ශාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ සමත් වූහ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment