2021 වසරට වඩා 2022 වසරේ  ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව  සියයට 48කින් ඉහළට

118

2021 වසරට වඩා 2022 වසරේ සියයට 48ක් ඒ. අයි. වී. ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ඊයේ (22 දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයක දී පැවසුවාය.

දෙසැම්බර් 1 වැනිදාට යෙදී තිබෙන ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේ දී ඇය එසේ කියා සිටියාය.

‘ප්‍රජාව බලගන්වමු – ඒඩ්ස් වළකමු’ තේමාව යටතේ පැවති මෙම මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී තවදුරටත් කතා කළ ඈ මෙසේද කීවාය.

2022 වසරේ දී එච්. අයි. වී. සමග ජීවත්වන පුද්ගලයන් 4100ක් කියලා ඇස්තමේන්තුගත කරලා තිබෙනවා. 2021 දී එච්.අයි.වී. ආසාදිතයන් 411ක් හඳුනාගෙන තිබෙනවා. 2022 දී එච්.අයි.වී. ආසාදිතයන් 607ක් හඳුනාගෙන තිබෙනවා. එයින් 531ක් පිරිමි පුද්ගලයන්. 76ක් කාන්තාවන්.

එච්.අයි.වී. එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට සම්ප්‍රේෂණය විය හැකි ක්‍රම 3ක් තිබෙනවා. එකක් ආසාදිත සහකරුවකු සමග පවත්වන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා මගින්. ආසාදිත රුධිරය හා රුධිරය ආශ්‍රිත තරල හුවමාරු වීම මගින් හා ආසාදිත මවකගෙන් අගේ දරුවාට එච්. අයි. වී. බෝවෙන්න පුළුවන්.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක මහත්මිය :

2018 වසරේ ඉඳලා වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ ප්‍රජාව තුළ එච්. අයි. වී. ආසාදිතයන් සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් දකින්නට තිබෙනවා. 2022 වසර තුළ දී හඳුනාගත් නව එච්.අයි.වී. ආසාදිතයන් 607 දෙනාගෙන් 73ක්ම තරුණ ප්‍රජාව වන අතර ඒ අතරින් 66 දෙනෙක් පිරිමි පුද්ගලයන් වෙයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment