ඉදිරි ඡන්දවලට මුහුණ දෙන්න – පක්‍ෂ 18 ක් පොදු න්‍යාය පත්‍රයකට සන්ධානගත වෙයි!

1072

සුළු දේශපාලන පක්‍ෂ 18 ක් ඉදිරි ජාතික මැතිවරණවලදී ක්‍රියාකළ යුතු අන්දම පිළිබඳව පොදු න්‍යාය පත්‍රයකට සන්ධානගත වීමට පළමු පියවර පරමාදර්ශී ජාතික ව්‍යාපාරය මගින් පෙරේදා (21 දා) සවස ගනු ලැබීය.

පරමාදර්ශී ජාතික ව්‍යාපාරය මගින් මේ සඳහා කැඳවා තිබූ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති පළමු සාකච්ඡාවට සුළු දේශපාලන පක්‍ෂ 18 ක නායකයන් සහභාගි වූ බව, එහි කැඳවුම්කරු ජාතික පෙරමුණේ නායක රංජිත් පීරිස් මහතා ‘දිවයින’ට කීය.

එම සාකච්ඡාවට අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ද එක්ව සිටියේය.

දරුණු ආර්ථික අර්බුදයෙන් කඩාවැටුණ රටක් ගොඩනැඟීමට හැකි නායකත්වයක් අද රටට අවශ්‍ය වී ඇතැයි ද එම නායකත්වය අල්ලස, දූෂණය හා වංචාවලින් තොරව පිරිසිදු අවංක නායකත්වයක් විය යුතු යැයි ද ඒ සඳහා ජනතාව පෙළගැස්වීම අද යුගයේ අවශ්‍යතාවයක් බවට පත්වී තිබෙන්නේ යැයි ද අධිකරණ ඇමැතිවරයා එහිදී කීය.

රටේ නීතිය අකුරටම රකින්නට ඕනෑ. ඒ තුළින් රටේ පිරිසිදු පාලනයක් ගෙනයෑමට මඟ පෑදෙනවා. වංචා, දූෂණ නතර කරන තෙක් රටේ සැබෑ සංවර්ධනයක් දකින්නට බැහැ. ඒ නිසා රටේ යහපාලනය ඇති කිරීමේ අරමුණ ඇතිව අපි 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා. ජාතික මැතිවරණවලදී දූෂණයට වැඩි ඉඩකඩක් තිබෙනවා. එබැවින් මැතිවරණ වියදම් සීමා කොට දූෂණ වළක්වා ගැනීමට පියවර ගත්තා. දූෂණ විරෝධී පනත් ද අපි සම්මත කර ගත්තා. මේ අවස්ථාවේදී අපි සියලුදෙනාම එකට එකතු වී රටේ න්‍යාය පත්‍රය හඳුනාගෙන එයට විසඳුම් ලබාගැනීමට කටයුතු කරන්නට ඕනෑ යැයි ද ඔහු කීය.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කතා කරමින් මෙසේ කීවේය. පසුගිය වසරේ රටේ සිදුවූ අරගලය තුළින් අපට පාඩමක් කියා දුන්නා. එය කළේ දේශපාලන අරමුණක් ඇතිව නෙමෙයි. එය කළේ රටේ දූෂණයට හා අල්ලසට එරෙහිවයි. අද රට බංකොලොත්. එයින් තවම අපි නිදහස් වී නැහැ. එයින් මිදීමට අපි මතවාද අමතක කර දමා එකතු වෙමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කතා කරමින් මෙසේ කීවේය.

දේශපාලන පක්‍ෂවලට ජනතාව කැමැති නැහැ. ඒ නිසා අපි සැවොම රටේ පොදු න්‍යාය පත්‍රයකට එකතු වෙමු. ඒ තුළින් රට ගොඩනැඟිය හැකියි.

ජාතික පෙරමුණේ නායක හා ජාතික පක්‍ෂ එකමුතුවේ කැඳවුම්කරු රංජිත් පීරිස් මහතා කතා කරමින් මෙසේ පැවැසීය.

මේ පරමාදර්ශී දේශපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය තුළින් සැමටම පක්‍ෂ දේශපාලනයෙන් තොරව එක්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. මේ සාකච්ඡා තවදුරටත් පුළුල් කරමින් තවත් දේශපාලන පක්‍ෂ සම්බන්ධ කරගෙන ඉදිරියට ගෙන යෑමට කටයුතු කරනවා. ඒ තුළින් ජනතාව අපේක්‍ෂා කරන නව නායකත්වයක් රටට ලබාදීම අපගේ අරමුණ වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, අරුණලු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය කෙයාර් ක්‍රිෂාන්, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්‍ෂයේ ලේකම් සුගත් හේවාපතිරණ හා ජාතික පෙරමුණේ මහ ලේකම් උපාලි ජයතිස්ස යන මහත්වරුන් ඇතුළු තවත් කීපදෙනෙක්ම කතා කළහ.
දෙල්ගොඩ – ඩබ්. ඩී. විතාන සහ බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment