විදුලි ගාස්තු උස්සන්න යන්නේ මෙහෙමයි! ඒකක 30 ට අඩු අයට 350% කින් වැඩි කරන්න ඉල්ලයි

985

විදුලි බිල 650%කින් වැඩි කරන්න ඉල්ලයි

මේ වනවිට වසරකට රුපියල් කෝටි විසිපන් දහසක් පමණ පාඩු ලබන ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රුපියල් කෝටි පහළොස් දහසකින් වැඩිකරගැනීමේ අරමුණින් විදුලි ගාස්තුව සියයට හයසිය පනහකින් ඉහළ දැමීමට අදාළ යෝජනාවලියක් ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාවට අනුව විදුලි ඒකක තිහට වඩා අඩුවෙන් භාවිතා කරන විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තුව සියයට තුන්සිය පනහකින් ඉහළ දැමීමට යෝජනා කර ඇත.

විදුලි ඒකක 30- 60 – 90 – 120- 180 දක්වා වූ කාණ්ඩයට සියයට 650 කින් විදුලි ගාස්තු වැඩිකිරීමට යෝජනා කර තිබේ. වැඩිම විදුලි පාරිභෝගිකයින් සිටින්නේ මෙම කාණ්ඩය යටතේය.

කෙසේ වෙතත් විදුලි ඒකක 180ට වැඩියෙන් විදුලිය භාවිතා කරන පිරිසට විදුලි ගාස්තු වැඩි කිරීමට යෝජනා කර ඇත්තේ සියයට විසිපහකිනි. ඊට හේතු වී ඇත්තේ රුපියල් ලක්ෂයක මාසික බිල්පතක් ගෙවන එවැනි පාරිභෝගිකයන්ට රුපියල් 25,000 කින්ම විදුලි ගාස්තු වැඩිවීම පදනම් කර ගනිමින් යැයි ලංකා විදුලිබල මණ්ඩල උසස් නිලධාරියෙක් සඳහන් කළේය. විශේෂයෙන්ම කර්මාන්තශාලා, කාර්යාල, සුපිරි වෙළෙඳසල්, හෝටල්, ආදී වැඩිපුර විදුලි ගාස්තු ගෙවන අංශවල විදුලි ගාස්තුව වැඩි ප‍්‍රතිශතයකින් ඉහළ දමනු ලැබුවහොත් එය වක‍්‍රකාරව භාණ්ඩ හා සේවා මිලට බලපාන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම විදුලි ගාස්තු යෝජනාව සම්බන්ධයෙන් ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ අදාළ යෝජනාව පිළිබඳව අධ්‍යයනය කරන බවයි. ගාස්තු වැඩි කළ යුතු ආකාරය පිිළිබඳව තවමත් තීරණයක් ගෙන නැතැයිද ඒ මහතා කීය.

මේ සම්බන්ධයෙන් විදුලිබල ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගෙන්ද විමසූ විට ඒ මහත්මිය කියා සිටියේ විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධව තාමත් තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය සකස් කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට යොමු කර ඇත්තේ විදුලිබල අමාත්‍යාංශය විසිනි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment