ද. කොරියාවේ වෛද්‍ය වර්ජනය මැද රෝගී කාන්තාවක් මිය යයි

179

දකුණු කොරියාවේ රෝහල්වල කනිෂ්ඨ වෛද්‍යවරුන් විසින් දියත් කර ඇති දීපව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් රෝහල් ගණනාවක් විසින් ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කළ අවුරුදු 80 ගණනක් වයසැති කාන්තාවක් ගිලන් රථය තුළදී මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් විමර්ශනයක් දියත් කර තිබේ. මෙම මරණය දැනට ක්‍රියාත්මකව පවතින වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය නිසා සිදු වූවක්ද යන්න පිළිබඳව විමර්ශනය කෙරෙන බව දකුණු කොරියාන බලධාරීන් විසින් ප්‍රකාශ කර තිබේ.

පිළිකාවකින් පෙළුණු අදාළ කාන්තාව වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් රෝහල් ගණනාවක් විසින් භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර අනතුරුව එක් රෝහලක් එම කාන්තාව ඇතුළත් කරගැනීමට කැමැත්ත පළ කර ඇතත් රෝහල්ගත කරන අවස්ථාවේදී ඇය හෘදයාබාධයකින් මිය ගොස් තිබේ. දැනට වාර්තා වී ඇති තොරතුරුවලට අනුව අදාළ කාන්තාවගේ මරණයට රෝහල්වල ක්‍රියාත්මකව පවතින වෛද්‍ය වර්ජනය හේතුවක් නොවන බව පෙනී ගොස් ඇතැයි දකුණු කොරියානු සෞඛ්‍ය ඇමැති චෝ කයු හොන්ග් පවසා තිබේ. වැඩි කායික රෝග වෛද්‍යවරුන් පිරිසක් පුහුණු කිරීමට දකුණු කොරියානු රජය විසින් ගෙන ඇති තීරණයකට විරෝධය පාමින් දකුණු කොරියානු රෝහල්වල සේවය කරන කනිෂ්ඨ වෛද්‍යවරුන් 9000කට අධික පිරිසක් වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කර තිබේ. දැනට සිටින වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් නොසපයා වැඩි වෛද්‍යවරුන් පිරිසක් පුහුණු කිරීමට තීරණය කිරීම වෛද්‍ය විරෝධයට හේතු වී තිබේ. සේවයට වාර්තා නොකරන්නේ නම් වෛද්‍යවරුන්ගේ වෛද්‍ය බලපත්‍රය අහෝසි කරන බවටද දකුණු කොරියානු රජය අනතුරු අඟවා තිබේ. මෙම වෛද්‍ය වර්ජනය හේතුවෙන් දකුණු කොරියානු රෝහල්වල සිදු කෙරෙන සැත්කම්වලින් සියයට 50ක් අවලංගු කිරීමට සිදුව තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment