ගුවන් මගඩියේ පාඩුව පැටව් ගසයි

428

ගුවන් යානා මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නැහැ
ගුවන් යානා 04 ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සමාගමට මිලියන 16924.36 ක පාඩුවක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් A 350-900 ගුවන් යානා 04 ක් බදු පදනම මත ලබාගැනීම සඳහා වූ බදු ගිවිසුම අවලංගු කිරීමේ ක්‍රියාවලියේදී රුපියල් මිලියන දාසය දහස් නවසිය විසිහතරයි දශම තුනයි හයක 1,6924.36 ක අලාභයක් ගුවන් සමාගමට සිදුවී ඇති බව හෙළිවී තිබේ.

ජාතික විගණන කාර්යාලය මගින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්න්ධයෙන් 2021 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික විගණන වාර්තාවකින් මේ බව අනාවරණය වෙයි.

කෙසේ වුවද මෙම ගනුදෙනුවට අදාළව එවකට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිඳට අයත් සමාගමකට ගෙවීම් කිරීමට එයාර්බස් සේවකයන් එකඟ වී තිබූ බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ බව එක්සත් රාජධානියේ ක්‍රවන් උසාවියේ තීන්දුවෙන් ද අනාවරණය වී තිබිණි. මේ නිසා නීති උපදෙස් මත පදනම්ව ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එස්. ඒ. එස්. එයාර්බස් සමාගමෙන් ් 350 – 900 ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුම අවසන් කර තිබිණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එස්. ඒ. එස්. එයාර්බස් සමාගම සමග ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගතව තිබූ අතර 2016/2017 යන වර්ෂයන්වලදී මෙම ගුවන් යානා ලබාදීමට නියමිතව තිබිණි. පෙර ගෙවුම් ලෙස එස්. ඒ. එස්. එයාර්බස් සමාගම වෙත ගුවන් යානා ගනුදෙනුව සඳහා රුපියල් මිලියන දාසය දහස් නවසය විසිහතරයි දශම තුනයි හයක 1,6924.36 ක මුදල ගෙවා තිබිණි. ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව, සමාගම විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ අතර අලාභය අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බවද, විගණන වාර්තාවේ සඳහන් වේ. මේ නිසා සමාගමට සිදුවූ අලාභය අයකර ගැනීමට එයාර්බස් සමාගමට සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

මේ අතර 2020/2021 යන වර්ෂවල ලැබීමට නියමිතව තිබූ A 350 – 900 මෙම ගුවන්යානා 04 වෙනුවට A 321 නියෝ සහ A 330 නියෝ ගුවන් යානා මිලදී ගැනීමට සමාගම හා එස්. ඒ. එස්. එයාර්බස් සමාගම අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබිණි. මෙම වර්ෂයේ ඔක්තෝබර් මස 03 වැනිදා වනවිට ගුවන් යානා ලබාගැනීමේ පෙර ගෙවුම් ලෙස රුපියල් මිලියන 2528.12 ක (ඇමරිකානු ඩොලර් මිලියන 19.21) මෙම සමාගම වෙත ගෙවා තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

ගුවන් සමාගමේ කළමනාකාරීත්වය විසින් මේ පිළිබඳ විගණනයට සඳහන් කර ඇත්තේ, එයාර්බස් සමාගමේ සේවකයන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිඳට අයත් සමාගමකට, ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට බලපෑම් සිදුකිරීම සඳහා ගෙවීම් කිරීමට එකඟ වී තිබූ බවය. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට A 330 – 300 ගුවන් යානා 06 ක්, A 300 – 350, ගුවන් යානා 04 ක් මිලදී ගැනීමට හා A 350-900 ගුවන් යානා 04 ක් කුලී පදනම මත ලබාගැනීමේ ගනුදෙනුවට බලපෑම් සිදුකිරීම සඳහා ගෙවීම් කිරීමට එකඟ වී තිබූ බවය. එක්සත් රාජධානියේ සුපිරි අධිකරණය මගින් බරපතළ වංචා කාර්යාලය හා එස්. ඒ. එස්. එයාර්බස් සමාගම අතර ඇතිකරගෙන තිබූ ගිවිසුම අනුමත කරමින් ලබාදෙනු ලැබූ තීන්දුව මගින් මෙම කරුණු අනාවරණය වී ඇති බවය. එමෙන්ම ගුවන් සමාගම විසින් එයාර්බස්, එස්.ඒ.එස්. හා එයාර්බස් එස්.ඊ වෙත ගුවන් යානා ලබාගැනීමේ පෙරගෙවීම පොලිය සමග ආපසු ලබාදෙන ලෙස ඉල්ලා එන්තරවාසියක් යවා ඇත.

මෙකී ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව තීන්දුකොට තිබිණි. එමෙන්ම ඒ සඳහා විධිමත් පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් ද සිදුකර නොතිබිණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment