වාහන ආනයනය තවදුරටත් බෑ; භාණ්ඩ 623 ක සීමා ඉවතට

2560

මීට සති තුනකට පෙර මහ බැංකුව විසින් ආනයනික භාණ්ඩ වර්ග 623 ක් මත පැනවූ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව පෙරේදා (01 දා* සිට අත්හිටුවීමට නව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පියවර ගත්තේය.

හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා විසින් සැප්තැම්බර් මස 09 වැනිදා මෙම සියයට සියයක ආන්තික තැන්පතු පනවනු ලැබීය.

මහ බැංකුවේ සයමාසික පෙර දැක්ම ප‍්‍රකාශයට පත්කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී මහ බැංකු අධිපතිවරයා මෙම අත්හිටුවීම ප‍්‍රකාශ කළේය.

කෙසේ වෙතත් දැනට කි‍්‍රයාත්මක වාහන ආනයනික සීමා ඉවත් කිරීමක් සිදු නොවුණි.

මෙම ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවය නිසා බොහෝදෙනකුට අපහසුතා මතුවී ඇති බවට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ද දැනුම්දුන් බව අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැවසීය.

මහ බැංකුවේ සයමාසික පෙර දැක්මට අනුව 2022 ජනවාරි 01 දින සිට විදේශ විනිමය ගනුදෙනු අධීක්‍ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර ගනුදෙනු වාර්තා කරන පද්ධතියක් ස්ථාපනය කරන බවද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 කට පමණ අඩුකර ගැනීමටත් අපේක්‍ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත‍්‍ර 27 ක් වහාම නැවත ලබා දෙන්න කටයුතු කරන බව ද පවතින නීති රීති අනුව කටයුතු කරන ලෙස ඒ අයගෙන් ඉල්ලා සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

‘‘බොර තෙල් බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් සපයමින් විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ද්‍රවශීලතාවය වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් බොරතෙල් හිඟයක් හෝ ගෑස් හිඟයක් හෝ එවැනි කිසි දෙයක් සිදුවෙයි කියා සැකයක් තබාගත යුතු නැහැ. මේ ගැන විවිධ කතා කියා තිබුණත් මහ බැංකුව ඒ සියලූම කතා නිශ්ප‍්‍රභ කිරීමට කටයුතු කරන බව කියා සිටිනවා.

දැනට ලබාදී තිබෙන ණය පමා කිරීමේ ක‍්‍රමවේදය තවදුරටත් කරගෙන යෑම සඳහා තවදුරටත් ද්‍රවශීලතාවය අවශ්‍ය වෙනවනම් ඒ සඳහා ද්‍රවශීලතාවය වශයෙන් රුපියල් කෝටි 1500 ක් ලබාදීමට කටයුතු කරනවා. මේ ගැන ඉදිරි සති කිහිපයේදී නිවේදනය කරනවා. එසේම ‘පරාටේ බලය’ (දේපළ අත්පත් කර ගැනීමේ බලය* අනුව දේපළ පවරා ගැනීම සහ වාහන පවරා ගැනීම මීළඟ මාස හය සඳහා නැවැත්වීමට බැංකු හා මූල්‍ය ආයතනවලට නියෝග ලබා දෙනවා.

අධ්‍යාපන කටයුතු සහ සෞඛ්‍ය කටයුතු සඳහා විදේශවිනිමය අවශ්‍ය සියලූ දෙනාටම මුදල් ලබාදීමට කටයුතු කරගෙන යනවා.

පිටරට සිට මෙරටට මුදල් එවීමේදී සාමාන්‍ය බැංකු පද්ධතිය භාවිතා කර මුදල් එවන ලෙස විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඉදිරි මාස හය සඳහා වන ඉලක්ක, ඉලක්කම් වශයෙන්ම ලබාදී තිබෙනවා. ඒ ඉලක්ක පසුපස හඹා යන්නට කටයුතු කරනවා. ඒවා ලෝකයට ලබාදෙන නිසා අපගේ එම කටයුතු මනින්නට පුළුවන්. ඒ නිසා ඒ ඉලක්ක සාර්ථකව ජය ගැනීමට කටයුතු කරන බව රටටත් ලෝකයටත් ප‍්‍රකාශ කරනවා’’ යැයි ද පැවසූ නව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා මෙම මාස හයේ සැලසුම කි‍්‍රයාත්මක කිරීමට සම්පූර්ණ ශක්තිය යොදමින් කැප වන බවත් එහිදී රජයත් සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment