දඬුවම හොඳටම මදි – විපක්‍ෂ නායක සජිත්

2865

තමන්ගේ විශේෂ ප්‍රකාශය ඇතුළත් ලිපිගොනුව උදුරාගෙන කළ බාධාවට රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට එරෙහිව කථානායක දුන් සති දෙකක තහනම ප්‍රමාණවත් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22දා) පැවසීය.

සනත් නිශාන්ත මහතා සමග ආණ්ඩු පක්ෂයේ සිට සභා ගර්භය මැදින් පැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව කථානායක කිසිදු පියවරක් නොගැනීම ගැන කනගාටු වන බව ද හෙතෙම සඳහන් කළේය.

අජිත් මාන්නප්පෙරුම මහතාට මීට පෙර දිනයකදී වූ සිද්ධියක් හේතුවෙන් ඔහුට මාසයක කාලයකට පාර්ලිමේන්තුව තහනම් කළ ද, කථානායකවරයා බලා සිටිද්දී සිදු වූ මෙම සිද්ධියට එරෙහිව දුන් තීන්දුව ගැන කිසිදු ප්‍රසාදයක් නැතැයි ද විපක්ෂ නායක කියා සිටියේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු සභා ගර්භයේ දී මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවක් ඇති බවත් එබැවින් මින් ඉදිරියට සිය ආරක්ෂාව තමන් විසින්ම බලා ගැනීම කළ යුතු දැයි විමසා සිටින බවත් හෙතෙම පැවසීය.

ආණ්ඩුවේ විස්සක් තිහක් නොව 150ක් පැමිණිය ද ඒ සියලු දෙනාට මුහුණදීමට තමන්ට පිට කොන්දක් ඇතැයි ද සඳහන් කළ සජිත් ප්‍රේමදාස මහතා නිවට සහ බියගුලු ලෙසින් පලා නොයන බවද සඳහන් කළේය.

ඊට අමතරව සභාගර්භයේදී පෙරේදා දින සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ වරප්‍රසාද කඩ වූ බවද කී විපක්ෂනායක තමන්ගේ අතේ තිබූ ලිපිගොනුව පැහැර ගන්නා තෙක් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව භාර වේත්‍රධාරී නිලධාරීන් කළේ කුමක්දැයි ද විමසා සිටියේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment