දූෂණය සහ වංචාව නතර නොවුණහොත් ව්‍යවස්ථාදායක සභාවට චෝදනා කරන්න පාර්ලිමේන්තුවේ 225ට ඇඟිල්ල දිග් කරන්න එපා – ඇමැති විජයදාස රාජපක්ෂ

95

අගවිනිසුරුවරිය එළවපු අය අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරනවා – ලක්ෂ්මන් කිරිඇල්ල (සජබ)

ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැති ආණ්ඩුව ඡන්දවලට බයේ කල් දානවා- විජිත හේරත් (ජාජබ)

විනිසුරුවරුන් විවේචනය කිරීමෙන් අධිකරණයේ විශ්වාසය බිඳ වැටේවි – මහාචාර්ය ජී. එල්. පීරිස් (ශ්‍රීලපොපෙ)

දූෂණ සහ වංචාවන් වැළැක්වීම වෙනුවෙන් ක්‍රියා නොකරන්නේ නම් මින් ඉදිරියට චෝදනා කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දසදෙනාට මිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාට නොවන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර එහිදී සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) සහ අධිකරණ සංවිධාන යන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විවාද පැවැත්විණි.

විවාදය ආරම්භ කරමින් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා –

අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ සහ බන්ධනාගාර ඇමැති විජේදාස රාජපක්‍ෂ – සිස්ටම් ජේන්ජ් එකක් ඇති කරන්නයි ආණ්ඩුව ආවේ. එය කරගන්න බැරි වුණා. අරගලයක් ඇවිත් ඒ ආණ්ඩුව යැව්වා. දැන් අලුත් ජනපති කෙනෙක් ඇවිත් ඇමැති මණ්ඩලයක් ඇවිත් රට පාලනය කරනවා. විශාල වගකීමක් අපි අරන් තියෙනවා. විශාල බාධක මැදයි අපි රට භාර ගත්තේ.

අල්ලසට දූෂණයට විරුද්ධයි. අපි දූෂණයට විරුද්ධව අවශ්‍ය නීති හදලා තියෙන්නේ. ඒවා ක්‍රියාත්මකවීම පමණයි ඉතිරි වී ඇත්තේ. මාස 5ක් පුරා ජනතාව දැනුවත් කරලා දේශපාලකයා පිට දාලා තමයි බල කරලා නීති හැදුවේ.

මැතිවරණවලදී විවිධ ජාවාරම්කරුවන්ගේ සල්ලි වලින් ඡන්ද කරලා කරන වියදම් නවත්වන්න අපි නීති ගේනවා. කාගෙන්වත් මුදල් අරගෙන ඡන්ද කරන්න කාටවත් බෑ. වරදකරු වුවොත් මන්ත්‍රී ධුරයත් ඉවරයි. මේ නීති ගෙනාවේ ඉතා අමාරුවෙන්. මේ පනතටත් විපක්‍ෂය විරුද්ධව ඡන්දය දුන්නා. මේ රටේ වංචා දූෂණ වැලැක්වීමට අල්ලස් දූෂණ කොමිසමට බලය දීලා තියෙනවා. මේවාට සුදුසු පුද්ගලයන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ වගකීමක්. තාම නිර්නායකවත් හදලා නෑ. අපේ ප්‍රමාදයක් නොවෙයි 225 අවශ්‍ය උපරිමය කරලා අවසන්.

දැන් සිදුවන ප්‍රමාදයට කථානායක ඇතුළු එහි සාමාජිකයන් 10 දෙනා වගකිව යුතුයි. උද්ඝෝෂණ කරනවා නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාකරන්න අපිත් ඒවාට එන්නම්.

සමහරු අයි එම් එෆ් දෙවන වාරිකය නොලැබෙනවා කියලා සතුටකින් ඉන්නේ. ඔවුන් ජනතාව තව දුක් විදිනවාට සතුටුයි. සමහරු මුදල් විශුද්ධිකරණය කරලා පිටරට මුදල් දාලා ඉන්නවා. පැන්ඩෝරා පේපර්ස් ගැන මාසයකින් වාර්තාවක් හිටපු ජනපති ඉල්ලුවා. මේ ගැන මොකද වුණේ? අල්ලස් කොමිසම මොනවද කළේ. පිටරට ඩොලර් බිලියන ගණන් හංගාගෙන ඉන්නවා. අල්ලස් කොමිසමට බලය තියෙනවා විදෙස් රටක දේපළ හෝ මුදල් හංගගෙන ඉන්නවා නම් ඒ දේපළ නැවත ගේන්න. නීති විරෝධීව රටින් පිට මුදල් තබාගෙන ඉන්නේ. මේවා නැවත ගේන්න පුළුවන්. අපනයනකරුවන් නැවත මෙරටට නොගෙන් වූ මුදල් ඩොලර් බිලියන 56ක් තියෙනවා.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර – මුලතිව් විනිසුරු ඉවත්වීම ගැන ජනපති පරීක්‍ෂණයක් කරන්න කිව්වා. තමන්ට තර්ජනයක් එල්ල වනවා නම් ඒ ගැන පැමිණිල්ලක් කරන්න තිබුණා. මේ ගැන මහ කුමන්ත්‍රණයක් තිබිය හැකියි. ඔහු විදෙස් තානාපතිවරුන් හමුවී ඇති බවටත් රාවයක් පවතිනවා. තමන් කළ වැරදි වහගන්න ගියාද කියන සැකය ඇතිවෙනවා. කුමන්ත්‍රණයට විපක්‍ෂයත් සම්බන්ධ දැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ ගැන සැබවින්ම සොයාබැලීමට රජය කටයුතු කර තිබෙනවා.

මීට පෙර භීෂණය සමයේ තෙල්දෙණිය මහෙස්ත්‍රාත් විදේශගත වුණා. මෙතන සාමාන්‍ය සිද්ධියක් නොව රට අපකීර්තියට පත් කරන වැඩපිළිවෙළක් ඇති බවට සාධාරණ සැකයක් පවතිනවා.

අල්ලස් කොමිසම ශක්තිමත් වූවානම් විදේශ රටවල සඟවා ඇති මුදල් නැවත ගෙන්වා ගැනීමට බලය ලැබෙනවා. වචනයක ගැටලුවක් නිසා මාස ගණනාවක් කටයුතු ඇනහිටලා. හෙටම මේ කටයුත්තට මැදිහත් වී ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් අල්ලස් කොමිසම සක්‍රීය කරන්න.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න (ශ්‍රීලපොපෙ) – මැතිවරණවලදී හොර ඡන්ද දාන අයට තිබූ දඩය රුපියල් 100ක් විතර. මේ මුදල වැඩිකර තියෙනවා. ඇනෙකුත් දඩ මුදල් ප්‍රමාණයන් මේ සංශෝධනයෙන් වැඩිකර තියෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) – පසුගිය වසරේ අප්‍රේල් 12 රට බංකොළොත් බව කිව්වා. එයින් රට මුදාගන්න මේ ජනපති ඇතුළු ආණ්ඩුව ආවත් තවම රට මුදාගෙන නෑ. මූල්‍ය අරමුදලට යන්න ප්‍රධාන හේතුව අපි ගත් ණය කපාහැරීම, ප්‍රමාණය අඩු කර ගැනීම නමුත් තවම එය සිදුවී නෑ. ඒ වෙනුවට සිදු වුණේ අරමුදලේ කොන්දේසි මත බදු මුදල් වැඩිපුර ගෙවන්න වුණා. විදුලිය, ජල, ගෑස් මිල වැඩි වුණා. බදු වැඩි කරන්න තව බල කළා. දැන් ආණ්ඩුව බදු පිට බදු ගහනවා.

උද්ධමනය 1.2 යි කියලා ආණ්ඩුව පාරම් බෑවා. දැන් ඉන්ධන මිල ඉහළ යනවා. උද්ධමනය වැඩි වූ කාලයේ ඉන්ධන ගෑස් මිල මීට වඩා අඩුවට තිබුණා. ප්‍රතිව්‍යුහගතකරනවා කියලා රාජ්‍ය ආයතන කඩාවට්ටන්න හදනවා. අද සතොස ආයතනය ආණ්ඩුව බිමට දාලා. සේවකයන් එළියටය දාලා. සතොස විනාශ වුනේ දේශපාලකයන්ගේ වරදින් මිස සේවකයන් නිසා නොවෙයි. තෙල් මිල වැඩිකළ විට ප්‍රවාහන ගාස්තු වැඩි වෙනවා. කර්මාන්තවලට පහර වදිනවා. නීති කොපමණ ගෙනාවත් ක්‍රියාත්මක නෑ. නීතිය වල්වැදිලා.

ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න විසඳන්නෙ නැති නිසා ජනතාවට බියේ ඡන්ද කල් දානවා. ඡන්ද නැතිව ඡන්ද පනත් විතරක් ගේනවා. මැතිවරණ අකුලා දාලා ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දානවා. ජනතාව ආණ්ඩුවට එරෙහිව නැගිටීම වළක්වන්න ත්‍රස්ත විරෝධී පනත් ගේනවා. සමාජ මාධ්‍ය මර්දන පනත් ගේනවා. මොනවා ගෙනාවත් ජනතාව සියල්ල අත්දකිමින් සිටිනවා.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් (ශ්‍රීලපොපෙ) –

අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාවර රටක පැවැත්මට ඉතා අත්‍යවශ්‍යයි. අධිකරණය ගැන ජනතා විශ්වාසයක් ඇතිවිය යුතුයි. විනිසුරුවරුන්ට යුක්තිය ඉටුකිරීමට ස්වාධීනව කටයුතු කළ හැකි විය යුතුයි. මුලතිව් දිසා විනිසුරුවරය තනතුරින් අස්වීම පමණක් නොව රට හැරයෑම පවා සිදුකර තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳ අවංක අපක්‍ෂපාතී විමර්ශනයක් සිදුවිය යුතුයි. එය කඩිනමින් සිදුවිය යුතුයි. විනිශ්චයකරුවන් පාර්ලිමේන්තුව තුළ විවේචනය නොකළ යුතුයි. ඒ විවේචන නිසා අධිකරණය කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටිය හැකියි. ඒ නිසා වහාම ඒ ගැන පියවරක් ගත යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (සජබ)

ආණ්ඩුව විවිධ පනත් ගෙනැල්ලා ජනතා මතය මර්දනය කරන්න උත්සාහ කරනවා. ජනමතය මර්දනය කරනවා වගේම ආණ්ඩුවට ඕනෑ දේවල් කරන්න විධායකයට සිදුවෙනවා. මුලතිව් සිද්ධිය ඊට ආසන්නතම උදාහරණයයි. මුලතිව් විනිසුරුගේ සිද්ධිය ගැන වහාම ස්වාධීන පරීක්‍ෂණයක් කරන්න.

අද අධිකරණය ගැන ලොකු ගැටලු මතුවෙලා. විනිසුරුවන්ට ස්වාධීනව වැඩ කරන්න ඉඩදිය යුතුයි. රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත්වීමට අධිකරණයේ ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍යයි. ජාත්‍යන්තර සංවිධානයක් මීට එරෙහිව ප්‍රකාශ නිකුත් කරලා. ජාත්‍යන්තරව අපි තවත් අර්බුදයට පත්වෙනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ –

පර්ලිමේන්තුවේ මෙතෙක් පිහිටවූ අකාර්යක්‍ෂම ව්‍යවස්ථාදායක සභාව තමයි වර්තමාන සභාව. අගමැති, විපක්‍ෂ නායක දෙදෙනාටම කිව යුතුයි මේ සභාව සතපහකට වැඩක් නෑ. කේක් කාලා තේ බොනවා විතරයි. අල්ලස් කොමිසම තවම බලාත්මක කර නෑ.

රාජ්‍ය ආදායම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි චෝදනාවට ලක්වෙලා. දෙවන වාරිකය ගන්න බැරිවීමට මූලික හේතුව රාජ්‍ය ආදායම අඩුවීමයි. රාජ්‍ය ආදායමේ සියයට 90 ක් බදු ආදායමයි. බදු එකතු කරන දේශීය ආදායම්, රේගුව, සුරාබදු වැනි දෙපාර්තමේන්තුවල අකාර්යක්‍ෂමතාව නිසා වසරකට රුපියල් බිලියන 500 ක් රටට අහිමි වෙනවා. මේ ආයතන සක්‍රීය වූවා නම් ආදායම ලබාගන්න තිබුණා. ආණ්ඩුවට තමයි මිනිස්සු බනින්නේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා –

අපි දූෂණ විරෝධී පනතට ඡන්දය දුන්නා. මැතිවරණ වියදම් නියාමන පනතට අපි විරුද්ධව ඡන්දය දුන්නා. මොකද අපි සංශෝධන වගයක් ගෙනාවා නමුත් ඒ සංශෝධන පිළිගත්තෙ නෑ. අද අපි ආර්ථිකයට වඩා අධිකරණයේ නිදහස ගැන කතා කරන්න ඕන. මොකද මුලතිව් විනිශ්චකාරවරයා අස් වුණා විතරක් නෙමෙයි රටත් අත්හැර ගියා. එච්චරටම බයවෙලා. ඇයි රට අත්හැරලා ගියේ. එතුමාට තර්ජන ආවා. අද මේ සිද්ධිය මුළු ලෝකෙම රැව් දෙනවා. අපේ රට 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. ප්‍රතිපත්ති තීරණ පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ නෑ. නමුත් මේ අය මේ වතාවෙ මේක පාර්ලිමේන්තුවට ගෙනාවේ යටි අරමුණක් ඇතිව. පෙර අවස්ථාවන් වගේ ප්‍රකාශයක් කරලා අයි.එම්.එෆ්. යෝජනා දැනුම් දුන්නා නම් රටේ ජනතාව ඊට විරුද්ධව උසාවි යනවා. ඒක වළක්වන්න යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා කතානායකතුමා හරහා නියෝගයක් ගත්තා මේ පිළිබඳව අධිකරණය ඉදිරියට යන්න බෑ කියලා. පාර්ලිමේන්තුව තමයි අද අධිකරණයෙ නිදහස නැති කරලා තියෙන්නේ. විනිශ්චකාරවරුන් බය කරනවා. විජයදාස රාජපක්ෂ මැතිතුමා සහ අලි සබ්රි මැතිතුමා ගිය වතාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගියා. නමුත් මේ අවුරුද්දේ ගිය නෑ. ගිය අවුරුද්දේ කියපුවා අහගෙන ඉඳලා මේ අවුරුද්දේ යන්න අදි මදි කෙරුවා. මොකද අපිට විරුද්ධව ආර්ථික අපරාධ ඉදිරිපත් කරලා තියෙනවා. මේ ආණ්ඩුවේ පැටිකිරිය දිහා බැලු‍වම මේ අය තමයිඅග්‍රවිනිශ්චයකාරවරිය එලෙව්වේ. ශිරානි බණ්ඩාරනායක මැතිනිය දිවිනැගුම පනතට විරුද්ධව නඩු තීන්දුවක් දුන්නා කියලා තමුන්නාන්සේලා එතුමිය එළෙව්වා.පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනල්ලා එතුමිය අස් කෙරුවා.මේ අය තමයි අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්නේ.එදා දෝෂාභියෝග කමිටුවක් කරා ශිරානි බණ්ඩාරනායක මැතිනියට විරුද්ධව සාක්ෂි මෙහෙයවන අවසාන දවසේ යෝජනාවක් ගේන්න ඕනි එතුමිය ඉවත් කරන්න. නමුත් ඉවත් කිරීමේ යෝජනාවක් ගේන්නෙ නැතුව පාර්ලිමේන්තුවේ ඡන්දෙ තිබ්බා. අවසාන දවසේ දෝෂාභියෝග කමිටුව පත් කිරීමේ යෝජනාව තමයි ඉදිරිපත් කෙරුවේ. මෙහෙමයි එදා පාර්ලිමේන්තුවේ කටයුතු කෙරෙවේ.

විජේදාස රාජපක්ෂ මැතිතුමා කිව්වා ආර්ථිකය හොඳට යනවා කියලා. නමුත් අපි මාස දහ අටක් ණය ගෙවලා නෑ. ණය ගෙවන්නේ නැති වුනාම සාක්කුවේ සල්ලි ටිකක් තියෙනවා. අයි.එම්.එෆ්. දෙවැනි කොටස කවදා හම්බ වෙයිද කියලා දන්නේ නෑ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල හොඳටම වැඩි වෙලා. මිල පාලනයක් නෑ අද. රට දඩාවතේ යන්නේ. පසුගිය කාලය තුළ අපේ රට ගොඩගන්න පුළුවන් ආධාරයක් අපිට හම්බුනේ නෑ. අපේ අර්බුදයෙන් ගොඩ එන්න ආධාරයක් අපට ලැබුණේ නෑ. බටහිර රටවල් කියනවා චීනය එකඟ වුණොත් ණය ප්‍රතිව්‍යහගතකරණය කරන්න පුළුවන් කියලා. නමුත් චීනය එකඟතාවයක් නෑ. චීනය එකඟ වෙන්න ඕනේ. අපි මේ ණය උගුලට අහුවුණේ චීනය නිසයි. හම්බන්තොට වරාය, ගුවන්තොටුපල, නෙළුම් කුළුණ මේවගෙන් සත පහක ආදායමක් නෑ. මේවා නිසයි අපේ රට අගාධයට වැටුනේ. අයි.එම්.එෆ්. කියනවා අපේ රට වැටුණේ මේ ආණ්ඩුව පළවෙනි අයවැයෙන්ම බිලියන 800ක් බදු කපා හැරියා. බිලියන 800ක් නැති කරගන්න තමුන්නාන්සේලා ඡන්දෙ දුන්නා. අපි එපා කිව්වා. නමුත් ඇහුවේ නෑ. නීතියේ ආධිපත්‍යය නැතිව ආයෝජන රටට එන්නේ නෑ. පෝට් සිටිය දැන් පටන් ගත්තා. කැමරන්ට මිලියන 6ක් දිලා උපදේශකවරයෙක් විදියට අරන් තියනවා. කැමරන්ට පඩි ගෙව්වා කියලා ආයෝජකයෝ එන්නේ නෑ.

පාර්ලිමේන්තුව නැවත අද 04දා දින පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment