මේෂයේ සිට කන්‍යා ලග්නය දක්වා ඇති ලග්න හිමියන්ට අධ්‍යාපනයේ දියුණුවට ග්‍රහ පූජාවන්

728

මෙලොව ජනිත වන ඕනෑම ජන්මියකුට ලග්න 12 කින් යුත් ලග්න අතරින් එක් ලග්නයක් හිමිවේ. එම ලග්නයට ආවේනික ගුණාංග එම ජන්මියා සතුවේ. උදාහරණයක් ලෙස මේෂ ලග්න හිමියා ඉතා මුරණ්ඩු, හිතුවක්කාර, නපුරු චරිතයක් වන අතර මේෂ ලග්න හිමියන් යටත් වන්නේ තම විවාහක සහකරුට හෝ සහකාරියට පමණි. කන්‍යා ලග්න හිමියන් නිතර පිරිසිදුව සිටීමට කැමැති, හදවතින් නොව බුද්ධියෙන් සිතා බලා තීරණ ගන්නා තරමක් කපටි, හොඳින් හෝ නරකින් ජය තමා සතු කරගන්නා අයවේ. කන්‍යා ලග්න හිමියන්ට අත්සන් කිරීම සඳහා ලස්සන අත්සනක් නොමැති අතර අත්සන සඳහා තම නම ලිවීම දැකිය හැක. මෙම ලග්න දෙකට මෙන්ම අනෙක් ලග්න 10ටද ආවේනික වූ ගති ලක්‍ෂණ ඇත.

ලග්නය අනුව පිහිටන ගති ලක්‍ෂණ වලින් ජන්මියාට හිතකර, ශුභ ගති ලක්‍ෂණ මෙන්ම ජන්මියාට අහිතකර ගති ලක්‍ෂණද ඇත. අපලකාරී තත්ත්වයක් උදාවූ විට එම නරක ගති ලක්‍ෂණ තවදුරටත් වර්ධනය වීම දැකිය හැක.

කටක හා සිංහ ලග්න වලට සඳු හා රවි අධිපති වන අතර, අනෙක් ලග්නවලින් ලග්න දෙකකට එක් අධිපතියා බැගින් සිටී. මෙහිදී මේෂ ලග්නයට හා වෘශ්චික ලග්නයට කුජ ග්‍රහයා අධිපති වන අතර වෘෂභ හා තුලා ලග්න දෙකට සිකුරු ග්‍රහයා අධිපති වේ. මිථුන හා කන්‍යා ලග්න දෙකට බුධ ග්‍රහයා අධිපති වන අතර ධනු හා මීන ලග්න දෙකට ගුරු ග්‍රහයා අධිපති වේ. එමෙන්ම මකර හා කුම්භ ලග්න දෙකට ශනි ග්‍රහයා අධිපති වේ.

සෑම ලග්නයකටම අධිපති ග්‍රහයෙක් සිටින බැවින් එම ග්‍රහයකුගේ මහ දශාවත්, අතුරු දශාවත්, විදශාවත් නරක ආකාරයට එනම් අපල ආකාරයට උදාවේ නම් එම අධිපතියාගේ ලග්නය හිමි ජන්මියාට කරදර, දුක්පීඩා නොවඩුව උදාකරනු ඇත. ලග්නාධිපතිට පමණක් නොව සෑම රාශියකටම අධිපති ග්‍රහයෙක් සිටින අතර එම සෑම රාශියකටම නියමිත කාර්ය භාරයක් තිබේ. එම රාශියක අධිපති ග්‍රහයෙක් අශුභ වුවද එම රාශියට අදාළ කාරණයට හානි පමුණුවයි. එබැවින් ජන්මියාගේ ලග්නයට හා පීඩාවට පත්වී ඇති කාර්යය අධිපතියාට පුද පූජාවන් තැබීමෙන් සෙත් ශාන්තිය උදාකර ගත හැක.

ජන්මියෙකුගේ ජන්ම පත්‍රයේ අධ්‍යාපනයට අධිපති ග්‍රහයා පීඩාවට පත්වී ඇත්නම් එම ලග්න හිමියාට ශාන්තිය, සෙත උදාකර ගන්නා ආකාරය විමසා බලමු.

කුජ ග්‍රහයා ලග්නාධිපති වන මේෂ ලග්න හිමියකුගේ පස්වැන්නාධිපති රවි ග්‍රහයා පීඩාකාරී වී අපල උදාකරන්නේ නම් පුර පක්‍ෂයේ රවි ග්‍රහයා අධිපතීත්වය දරන, ඉරිදා දිනයක, යෝග කාරක ග්‍රහයාගේ එනම් ගුරුගේ හෝරාවේ බෝධි පූජාවක් ආරම්භ කර බෝමළුව අතුගා, මල් ආසන සෝදා පිරිසිදු කර, බෝධීන් වහන්සේට සුවඳ දුම් අල්ලා රතු මල් මාලා හා කහමල් මාලා මිශ්‍රකර බෝධිය සරසා අලංකාරව සැකසූ රතුමල් වට්ටි 7 ක් හා කහමල් වට්ටි 7ක් සර්වඥධාතූන් වහන්සේලා තැන්පත් වෙහෙරට පූජාකර සුදු නෙළුම් මල් 7 ක් දැමූ පැන් කලයක්ද පූජා කරන්න. බෝධීන් වහන්සේ පැන්කල 7 කින් නාවා කතරගම දෙවියන්ට හා ඊශ්වර දෙවියන් ඇතුළු බෝධීන් වහන්සේට අරක්ගත් සියලු දෙවි දේවතාවුන්ට පිං අනුමෝදන් කරන්න. කතරගම දෙවියන්ගෙන් සෙත් පතා සෙත් කවියක්ද ගායනා කරන්න. මෙලෙස ඉරිදා 7 ක් හෝ පටන් ගත් ඉරිදා සිට එක දිගට දවස් 7 ක් හෝ බෝධි පූජාව තබන්න. ජන්මියාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර අපල දුරුකර දෙන ලෙස ඉල්ලා කතරගම දෙවියන්ට හා ඊශ්වර දෙවියන්ට භාරවන්න. සෑම අධ්‍යාපන වසරක් අවසානයේම පූජා වට්ටියක් දී භාරය ඔප්පු කරන්න.

සිකුරු ග්‍රහයා ලග්නාධිපති වන වෘෂභ ලග්න හිමියෙකුගේ අධ්‍යාපනයට සම්බන්ධ ග්‍රහයා වන බුධ ග්‍රහයා පීඩිත මට්ටමේ හිඳ ජන්මියාට අපල උපද්‍රව ඇති කරන්නේ නම් 5 වැන්න අධිපති බුධ ට හිමි බදාදා දිනක පිරිසිදු සිතින් හා ගතින් බෝධි පූජාවක් ආරම්භ කළ යුතුය. වෘෂභ ලග්න හිමියට යෝග කාරක ග්‍රහයා වන ශනිගේ හෝරාවේ මෙම බෝධි පූජාව ආරම්භ කළ යුතුයි. විචිත්‍ර ආකාරයෙන් සැකසූ නිල් මල් වට්ටි 7 ක්, කහමල් වට්ටි 7 ක් හා සුදුමල් වට්ටි 7 ක් සර්වඥධාතූන් වහන්සේලා තැන්පත් වෙහෙරට පූජාකර නිල් මල් මාලා, කහමල් මාලා හා සුදු මල් මාලා වලින් බෝධීන් වහන්සේ සරසන්න. තල තෙල්, එලඟතෙල් හා අබතෙල් පහන් 7 බැගින් දල්වා බුදුන්ට පූජා කරන්න. බෝධීන් වහන්සේ පැන් කල 7 කින් නාවා තමන්ට ඇති අපලය දුරුවී සහනය ලැබේවායි ප්‍රාර්ථනා කරන්න. බෝධීන් වහන්සේට සුවඳ දුම් අල්ලා අවට පරිසරය සුවඳවත් කරන්න. හොඳින් ඉදුනු පලතුරු වර්ග 7 කින් යුත් පලතුරු වට්ටියක්ද පූජා කරන්න. (ගෙඩි පූජාවක් විය යුතුයි) මේ සියල්ල බුදුන්ට පූජා කර ලැබුවා වූ සියලු පිං පත්තිනි මෑණියන්, විෂ්ණු දෙවියන් හා ගණ දෙවියන් ඇතුළු බෝධීන් වහන්සේට අරක් ගත් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරන්න. එසේ අනුමෝදන් කර තමාට ඇති වී ඇති අපල දුරුකර වාසනාව හා අධ්‍යාපනය ජය ගැනීමට ඥානය ලබාදෙන ලෙස ප්‍රාර්ථනා කරන්න. ගණ දෙවියන්ගෙන් සෙත් පතා සෙත් කවියක් බෝධි පූජාව තබන දින 7 පුරාම ගායනා කරන්න. ගණ දෙවියන්ට භාරයක් වී එම භාරය පූජා වට්ටියත් ගණ දෙවියන්ට පූජා කර සෑම අධ්‍යාපන වසරක් අවසානයේම භාරය ඔප්පු කරන්න.

ලග්නාධිපති බුධ ග්‍රහයා වූ මිථුන ලග්න හිමියෙකුට 5 අධිපති වන සිකුරු ග්‍රහයා අපල කරයි නම් මිථුන ලග්න හිමියාට යෝග කාරකයා වන සිකුරු ග්‍රහයා අධිපතීත්වය දරන සිකුරාදා දිනක දිය නා පිරිසිදු වී විහාරස්ථානයට ගොස් බෝමළුව ඇමද, මල් අසුන් සෝදා පිරිසිදු කර ගත යුතුයි. ඉන්පසු බෝධියට සුවඳ දුම් අල්ලා අවට පරිසරය සුවඳවත් කරගත යුතුයි. කහමල් වට්ටි 7 ක් නිල්මල් වට්ටි 7 ක් අලංකාරව සකසා වෙහෙරට පූජා කළ යුතුයි. එලඟි තෙල් හා අබතෙල් පහන් 7 බැගින් දල්වා බුදුන්ට පූජා කළ යුතුයි. කහමල් මාලා හා නිල් මල් මාලාවලින් බෝධිය සැරසිය යුතුයි. පැන් කල 7 කින් බෝධීන් වහන්සේ නෑවිය යුතුයි. මෙම සෑම පිංකමක්ම කරනා මොහොතේ සිත පිරිසිදුව තිබිය යුතු අතර සෑම පිනක් අවසානයේම තමාට ඇති අපල දුරුවී යහපත උදාවේවායි ප්‍රාර්ථනා කළ යුතුයි. ලබාගන්නා වූ සියලුම පිං පත්තිනි මෑණියන්ට හා විෂ්ණු දෙවියන් ඇතුළු බෝධීන් වහන්සේට අරක්ගත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරන්න. එසේ අනුමෝදන් කර තමන්ට උදාවී ඇති අපල උපද්‍රව දුරුවී කරන අධ්‍යාපන කටයුතු සාර්ථක කිරීමට පිහිටවන ලෙස දෙවියන්ට කන්නලව් කළ යුතුයි. විෂ්ණු දෙවියන්ගෙන් සෙත්පතා සෙත් කවියක් බෝධිපූජාව තබන දින 7 දීම ගායනා කරන්න. පත්තිනි මෑනියන්ට භාරවී සෑම අධ්‍යාපන වසරක් අවසානයේදීම පූජා වට්ටියක් පුදා භාරය ඔප්පු කරන්න.

සඳු ග්‍රහයා අධිපති වන කටක ලග්න හිමියන්ගේ අධ්‍යාපන ස්ථානය වන 5 වැන්න අධිපති කුජ පීඩාකාරී වී අපල උදාකර ඇත්නම්, කටක ලග්නයට යෝගකාරකයා වූ කුජ ග්‍රහයාට හිමි අඟහරුවාදා දවසක ගුරු හෝරාවේ බෝධි පූජාවක් ආරම්භ කළ යුතුයි. දිය නා පිරිසිදු වී විහාරස්ථානය වෙත ගොස් බෝමළුව අතු ගා පිරිසිදු කර, මල් අසුන් සෝදා, බෝමළුවට සුවඳ දුම් අල්ලා බෝධි පූජාව තැබීමට පරිසරය සකස් කර ගත යුතුයි. අලංකාරව සැකසූ සුදු මල් වට්ටි 7 ක්, රතු මල් වට්ටි 7 ක් හා සුදු නෙළුම් මල් 7 ක් දැමූ වතුර කලයක් වෙහෙරට පූජා කරන්න. තල තෙල්, එළඟිතෙල් හා අබතෙල් පහන් 7 බැගින් දල්වා බුදුන්ට පූජා කරන්න. පිරිසිදුව සෝදා ගත් හොඳින් ඉදුනු ගෙඩි 7 වර්ගයක් සහිත පලතුරු වට්ටියක්ද පූජා කරන්න. පැන් කල 7 කින් බෝධීන් වහන්සේ නාවා තමන්ට ඇති අපල දුරුවී අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කළ යුතුයි. ඉන්පසු සිදුකර ගත්තාවූ සියලු පිං සුමන සමන් දෙවියන් හා කතරගම දෙවියන් ඇතුළු බෝධීන් වහන්සේට අරක්ගත් සියලු දෙවි දේවතාවුන්ට එම පිං අනුමෝදන් කරන්න. කතරගම දෙවියන්ගෙන් සෙත් පතා සෙත් කවියක් බෝධි පූජාව තබන දින 7 දීම ගායනා කරන්න. ජන්මියාගේ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන්න. සෑම අධ්‍යාපන වර්ෂයක් අවසානයේදීම කතරගම දෙවියන්ට පූජා වට්ටියක් පුදා භාරය ඔප්පු කරන්න.

රවි ග්‍රහයා ලග්නාධිපති වන සිංහ ලග්න හිමියෙකුට 5 අධිපති ගුරු ග්‍රහයා පීඩිත වී අපල ගෙන දෙයි නම් සිංහයට යෝගකාරකයාගේ දිනය වන අඟහරුවාදා දින නා පිරිසිදු වී විහාරස්ථානයට ගොස් බෝමළුව හා මල් අසුන් සුද්ධ පවිත්‍ර කර බෝධීන් වහන්සේට සුවඳ දුම් අල්ලා අවට පරිසරය සුවඳවත් කර සුදු මල් වට්ටි 7 ක්, රතු මල් වට්ටි 7 ක් හා කහමල් වට්ටි 7 ක්, සර්වඥධාතූන් වහන්සේ උදෙසා පූජා කරන්න. සුදු නෙළුම් මල් 7 බැගින් දැමූ පැන් පිරවූ සුදු නෙළුම් කල 7ක්ද පූජා කරන්න. සුදු මල් මාලා, කහමල් මාලා හා රතු මල් මාලා මිශ්‍රකර බෝධීන් වහන්සේ සරසන්න. තලතෙල්, එළඟි තෙල් හා අබ තෙල් පහන් 7 බැගින් දල්වා පූජා කරන්න. පැන් කල 7 කින් බෝධීන් වහන්සේ නාවන්න. බෝධීන් වහන්සේ නාවන වාරයක් පාසා තමන්ට ඇති අපල දුරුවී අධ්‍යාපනය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන්න. සිදුකලා වූ සියලු පිං ඊශ්වර දෙවිඳුන් හා කතරගම දෙවියන් ඇතුළු බෝධීන් වහන්සේට අරක්ගත් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරන්න. කතරගම දෙවියන්ගෙන් සෙත් පතා සෙත් කවියක් ගායනා කරන්න. මෙම සෙත් කවිය බෝධි පූජාව තබන දින 7 දීම ගායනා කළ යුතුයි. සෑම අධ්‍යාපන වර්ෂයක් අවසානයේදීම කතරගම දෙවියන්ට වුණ භාරය ඔප්පු කිරීමට පූජා වට්ටියක් පූජා කරන්න.

බුධ ග්‍රහයා ලග්නාධිපති වන කන්‍යා ලග්න හිමියකුට 5 අධිපති වන ශනි ග්‍රහයා පීඩාවට පත්වී අපල සිදුකරයි නම් දවස් 7 බෝධි පූජාවක් තැබීමට කන්‍යා ලග්නයට යෝගකාරකයා වන සිකුරුට අයිති සිකුරාදා දිනය යොදා ගත යුතුයි. සිතින්, කයින්, වචනයෙන් පිරිසිදුව විහාරස්ථානයට ගොස් විහාරස්ථානයද සුද්ධ පවිත්‍ර කර බෝධි පූජාවකට සුදුසු පරිදි බෝමළුව, චෛත්‍ය මළුව හා බුදුගෙය සකසා ගත යුතුයි. ඉන්පසු නිල් මල් වට්ටි 7 ක්, සුදු මල් වට්ටි 7 ක් හා කහමල් වට්ටි 7 ක් අලංකාරව සකසා සර්වඥධාතූන් වහන්සේලා තැන්පත් චෛත්‍යයට පූජා කරන්න. අබ තෙල් හා එලඟි තෙල් පහන් 7 බැගින් දල්වා පූජා කරන්න. නිල් මල් මාලා, කහමල් මාලා හා සුදු මල් මාලා එක්කර බෝධිය අලංකාරව සැකසිය යුතුයි. ඉන්පසු පැන් කල 7 කින් බෝධීන් වහන්සේ නෑවිය යුතුයි. බෝධීන් වහන්සේට පැන් කල පූජා කරන විට තමාට ඇති අපල දුරුවේවායි ප්‍රාර්ථනා කළ යුතුයි. හොඳින් ඉදුනු පලතුරු 7 වර්ගයක ගෙඩි පූජාවක්ද කළ යුතුයි. ඉන්පසු සියලු පූජාවන් සිදුකර ලබාගන්නා වූ සියලු පිං ගණ දෙවියන් හා විෂ්ණු දෙවියන් ඇතුළු බෝධීන් වහන්සේට අරක් ගත් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරන්න. ගණ දෙවියන්ගෙන් සෙත් පතා සෙත් කවියක් දින 7 ක් පුරා ගායනා කර සියලු අපල දුරුවී අධ්‍යාපනයෙන් ජය ගන්න. ශක්තිය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරන්න.

මෙම බෝධි පූජාවන් තැබීමේදී අපල ඇති ජන්මියා පූර්ණ ලෙසම ඊට සහභාගි විය යුතුයි. සියලුම කාර්යයන් ඔහුගේ අතින් සිදුවිය යුතු බවද තරයේ සිහි තබා ගන්න.

මේෂයේ සිට කන්‍යා ලග්නය දක්වා ඇති ලග්න හිමියන්ට අධ්‍යාපනයේ දියුණුවට ග්‍රහ පූජාවන්

ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය
මංජුලා පල්ලෙබැද්ද,
පානදුර.
දු. අංකය 0779-282653

advertistmentadvertistment
advertistmentadvertistment