ගින්නෙන් දැවුණු  ඕ.අයි.සී.ලා නඩු මගට

291

දේශපාලනඥයන්ගේ දේපොළ විනාශ කිරීම වළක්වා ගැනීමට කටයුතු නොකළ බව කියමින් මාරුකර යැවූ බව කියන පොලිස් ස්ථානාධිපතිවරුන් විසිදෙනකු එම මාරු කිරීම් අසාධාරණ බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට තීරණය කර ඇත.

මාරුවීම් ලැබූ කොල්ලුපිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති ඩන්කන් ගුණතිලක මහතා හෙට (07 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට කටයුතු කරමින් තිබේ. මේ තත්ත්වයට මාරුවීම් ලැබූ අනෙක් ස්ථානාධිපතිවරු පිරිස ලබන සඳුදා (10 වැනිදා) වනවිට සිය මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට කටයුතු කරමින් සිටිති.

දේශපාලනඥයන්ගේ දේපළ ගිනි තබා විනාශ කිරීම වළක්වා ගැනීමට කටයුතු නොකළ බව කියමින් පොලිස් ස්ථානාධිපතිවරුන් 37 දෙනකුව ආසන්න පිරිසකට මේ වනවිට දඬුවම් මාරුවීම් ලබාදී තිබේ.

මෙසේ මාරු කර යවා ඇති නිලධාරින් අතර අපක්ෂපාතිව ඉතාම දක්ෂ ලෙස රාජකාරි කළ නිලධාරීන් සෑහෙන දෙනකු සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙසේ මාරු කළ නිලධාරීන් අතර සිටින කොල්ලුපිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති ඩන්කන් ගුණතිලක මහතා මෙම ප්‍රචණ්ඩකාරි සිද්ධිය වූ මැයි 9 වැනිදා වනවිට රෝගී තත්ත්වයෙන් පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නිලධාරියෙකි.

ඒ මහතා ස්නායු රෝගී තත්ත්වයක් හමුවේ රෝහල්ගත වී තිබුණේ අප්‍රේල් 28 වැනිදාය. මැයි 09 සිද්ධිය වනවිටත් ඒ මහතා දින ගණනක් තිස්සේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

එහෙත් ඒ මහතාව ද මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment