උද්ඝෝෂණවලට බියෙන් විශ්වවිද්‍යාල සහ පාසල් වසාගෙන සිටීම සාපරාධී ක‍්‍රියවක්

87

පාසල් සහ විශ්වවිද්‍යාල දරු දැරියන්ගේ අධ්‍යාපනය සහ අනාගතය තවදුරටත් කඩාකප්පල් නොකර විධිමත් වැඩපිළිවෙළක් යටතේ වහාම අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියේය.

උද්ඝෝෂණවලට බියෙන් විශ්වවිද්‍යාල සහ පාසල් වසාගෙන සිටීම තරම් සාපරාධී අපරාධයක් තවත් නොමැති බවත් ඒ මහතා පැවසීය.

පාඨලී චම්පික රණවක මහතා එම අදහස් පළ කළේ ජයන්තිපුර මාවත, බත්තරමුල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ ඊයේ (16දා* පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා මෙසේ ද කීවේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපන අඩාල වෙලා අවුරුදු දෙකක් පමණ වෙනවා. ඒ කියන්නේ අධ්‍යයන වර්ෂ දෙකක් ළමයින්ට පාඩු වෙලා ඉවරයි.

ඒ වගේම උසස් පෙළ විභාගයත් මේ අගෝස්තු මාසේ පැවැත්වෙන්න නියමිතව තිබුණා. ඒක දැන් ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසයන්ට කල් ගිහින් තියෙනවා. නමුත් එය පැවැත්වෙන දිනය පිළිබඳව නිශ්චිතභාවයක් ඇතිවෙලා නැහැ. ඒ අතරේ ආණ්ඩුව පාසල් පටන් ගැනීම ගැන කතා කරනවා. ලබන වසරේ ජනවාරි පළමුවැනිදාට හෝ පාසල් පටන් ගන්න නම් විධිමත්ව පාසල් සිසුන් සියලූදෙනා සහ ගුරුවරු එන්නත්කරණය කර ඒ වගේම ගුරුවරුන්ගේ වෘත්තීය අරගලය සාධාරණ පදනමකින් විසඳන්න යැයි අප ඉල්ලීමක් කළා. ඒ එකක්වත් ආණ්ඩුව කරන පාටක් නෑ. ඒ වෙනුවට ආණ්ඩුව දෙසීයට අඩු සිසුන් ඉන්න පාසල් විවෘත කරන්න යන බව ප‍්‍රකාශ කර තිබෙනවා.

ඇත්තටම ගම්බද ප‍්‍රදේශවල වැසී යමින් තිබෙන පාසල් ප‍්‍රමාණයක් තියෙනවා. බොහෝ දුරට ශිෂ්‍යත්ව විභාගය දක්වා පමණයි ඒ පාසල්වල අධ්‍යාපනය ලැබෙන්නේ.

ඒ පාසල් නැවත පටන් ගැනීමෙන් මේ තියෙන අර්බුදය විසඳෙන් නෑ. අද වහාම පාසල් ආරම්භ කළ යුත්තේ උසස් පෙළ සිසුන්ට හා සාමාන්‍ය පෙළ සිසුන්ටයි. එබැවින් එම සිසුන් වර්ග දෙක ප‍්‍රමුඛතා පදනමක් මත එන්නත්කරණය කරන්න අවශ්‍යයි.

පසුගිය වසරේ දෙසැම්බර් මස පැවැත්වූ සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල තවමත් නිකුත් කරන්න නොහැකිව තිබෙනවා. ඒ සඳහා කිසිම ප‍්‍රායෝගික විසඳුමක් රජයට නැහැ. මෙම තත්ත්වය තුළ ඊළඟ වර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටිනවා ද නැද්ද යන්න සාමාන්‍ය පෙළ සිසුන්ට තීරණය කිරීමට නොහැකිව තිබෙනවා. මාස අටක් ඒ ප‍්‍රතිඵල ලබානොදී කල් මරනවා. ඊට හේතුව ලෙස දක්වන්නේ

ප‍්‍රායෝගික පරීක්ෂණ නොකිරීමයි. එය නොපැවැත්වීමට හේතුව අසාමාන්‍ය තත්ත්වය නම් ඊට විසඳුම් සෙවිය යුත්තේ අසාමාන්‍ය විදිහට. ඒ කියන්නේ මේ දරුවෝ අට, නවය, දහය ශ්‍රේණිවල මේ ප‍්‍රායෝගික පරීක්ෂණ කරලා තියෙනවා. එතකොට ඒ ප‍්‍රායෝගික පරීක්ෂණවල ප‍්‍රතිඵල පදනම් කරගෙන න්‍යායාත්මක විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කරන්න ආණ්ඩුවට පුළුවන්. ඒ නැතත් සාමාන්‍ය පෙළ විභාගයෙන් පෙනී හිටපු සැලකිය යුතු පිරිසක් මේ ප‍්‍රායෝගික පරීක්ෂණ කර නැහැ. ඉතින් ඒ නිසා මේ ළමයින්ගේ ප‍්‍රතිඵල පමා කර කර ළමයින්ගේ අනාගතයත් එක්ක මේ විදිහට සෙල්ලම් කරන එක තරම් සාහසික අපරාධයක් තවත් නෑ. උසස් පෙළ කියන්නේ දරුවන්ගේ ජීවිත කඩඉමක්. තමන් විශ්වවිද්‍යාලයට යනවද, වෛද්‍ය පීඨයට, ඉංජිනේරු පීඨයට කළමනාකරණ පීඨයට යනවද, නැත්නම් තාක්ෂණ පීඨයට යනවද, තමන්ගේ අනාගතය මොකක්ද කියලා පුදුම තැතිගැන්මකින් මේ ළමයි ඉන්නේ. දැන් උසස් පෙළ දෙවෙනි වතාවේ කරන අය ඉන්නවා.

තුන්වෙනි වතාවේ කරන අය ඉන්නවා. පළවෙනි වතාවේ කරන අය ඉන්නවා. මේ දරුවෝ උපරිම විදිහට මේවට සූදානම් වෙමින් ඉන්නවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, සමත් නැති ඒවාට කවදාකවත් පෙනී ඉඳලත් නැති ඇත්තන්ට මේක ලොකු ප‍්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලන්ගෙ දරුවන්ටත් මේක ලොකු ප‍්‍රශ්නයක් නෙවෙයි.

විදේශීය සංචාරකයෝ දහස් ගණන් රටට ගෙන්වන්න පුළුවන් නම් ඔවුන්ට ජීව බුබුලක් තුළ සංචාර කරන්න හැකිනම් උසස් පෙළ දරුවන්ගේ විභාගය ජීව බුබුලක් ඇතුළේ පවත්වන්න මේ ආණ්ඩුවට නොහැකි වෙන්න විදිහක් නෑ. ඒක නිසා මොවුන්ට වැඩ බැරිකම තමයි මේකෙන් පෙන්වා දී තියෙන්නේ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment