‘පන්සාලිස්’ අන්තර්ජාල රසික සම්භාෂණයක්…. නදීක ගුරුගේ

1602

වත්මන් තරුණ සංගීතඥයින් අතර නදීක ගුරුගේට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. පෙර අපර දෙදිගම සංගීත ශාස්ත‍්‍රයන් ප‍්‍රාමාණික ලෙස අතැඹුලක් සේ පසක් කොට සිටින ඔහු ශී‍්‍ර ලාංකේය සංගීත ක්ෂේත‍්‍රයේ තමන්ගේම සලකුණක් සටහන් තබා ඇති කෘතහස්තයෙක්. මේ දිනවල ‘පන්සාළිස්’ නමින් කිසියම් වූ කටයුත්තක් සඳහා කැසකවමින් සිටින ඔහු, අප හමුවූයේ ඒ පිළිබඳව හා නූතන සංගීත භාවිතාව ගැන කතාබහකටයි.

‘පන්සාළිස්’ කුමක්ද මෙය?

‘පන්සාළිස්’ කියන්නේ දශක හතරහමාරක් කියන එකයි. මට වයස හතළිස් පහක් පිරෙන වකවානුව ඇතුළේ මෙතෙක් මගේ කලා මැදිහත්වීම්, මගේ සංගීතමය නිර්මාණ හා මගේ ලේඛන කටයුතුවල එකතුවක් එළිදැක්වීමක්. පොදු පිළිගැනීමට අනුව ප‍්‍රශස්ත තත්ත්වයේ සිනමා සංගීත එකතුවක්, වේදිකා නාට්‍ය සංගීත එකතුවක්, ටෙලි නාට්‍ය සංගීත එකතුවක් සහ මා නිර්මාණය කළ, මා ලියූ, මා ගැයූ ගීත එකතුවක් එදිනට එළිදක්වනවා.

ඊට සමගාමීව එම ගීත එකතුව ගැන එහි උත්පත්තිය හා නිධාන කතා පුස්තකයක් හා මගේ පර්යේෂණ ග‍්‍රන්ථ කිහිපයක් වූ ”ජෝති එනකං” යනුවෙන් වූ ජෝතිපාල ගායන ශිල්පියාගේ කලාත්මක හා සමාජමය බලපෑම ගැන වූ පර්යේෂණ කෘතියක්, ශ‍්‍රී ලංකාවේ වැදි ප‍්‍රජාවගේ සංගීතය ගැන සංසන්දනාත්මක විශ්ලේෂණයක්, ”ලෝකෙ වටේ සංගීතය” නමින් වූ පොඩිත්තන් හා යෞවනයන් සඳහා වූ අතිරේක කියවීම් පොතක්, ”සංගීතය අසනු කිමා” නම් වූ සංගීතය රසවිඳීමේ ශික්ෂාව ගැන කතාබහ කරන පොතක් සහ මීට කළින් මා එළි දැක්වූ ”ක්ලැරන්සියානු පොප් සංගීතය” නමැති පොත හා මගේ ජීවන අත්දැකීම් සහිත ”පොලිෆොනි කතා” නමින් වූ පුස්තකයක්ද දොරට වැඞීම එදිනට සිදුවෙනවා. මේක නිමිති කරගෙන මේ ගැන කතාබහ කරන අන්තර්ජාලය ඔස්සේ කරන රසික සම්භාෂණයක් තමයි මේ ”පන්සාළිස්” නමින් සිදුවන්නේ.
ලංකාවේ කලාව, දේශපාලනය ආදිය ගැන ඒ පිළිබඳ ප‍්‍රාමාණිකයින් කිහිපදෙනෙක් අදහස් දක්වන මේ වැඩසටහනට ලෝකය පුරා සිටින මගේ රසිකයන් ද එදිනට එකතුවෙනවා. අදහස් පළකරනවා. ඒ අතර යම් සංගීතමය අංගයන්ද මීට එකතු වෙනවා. ඉතිං මෙය කිසියම් සිත්ගන්නාසුලූ උපන්දින උත්සවයක් කිව්වත් වැරදි නැහැ. මේ සියල්ල පන්සාළිස් වසක් පුරා ඝනීභවනය වූ මගේ ජීවිතය කියාත් අර්ථ දක්වන්න පුළුවන්. සැප්. 27 වෙනිදා ලොව පුරා මගේ රසිකයනට පහසු වූ පොදු වේලාවක මෙය පවත්වන්නටයි බලාපොරොත්තුව.

සතතාභ්‍යාසයක් හෝ ශාස්ත‍්‍රීය හැදෑරීමක් කිසිත් නොමැතිව එකරැයින් ගායන ශිල්පීන් බිහිකරන රියැලිටි සංකල්පය පිළිබඳව ඔබේ කියැවීම කොහොමද?

මමත් එවැනි වැඩසටහනක තීරකයෙක් ලෙස කටයුතු කරන නිසා එය මගෙන් ඇසිය යුතු ප‍්‍රශ්නයක්. ඔබේ ප‍්‍රශ්නයේ තර්කයක් තිබෙනවා. අපේ සංගීතයේ පුරෝගාමීන් තමයි දේවා සූරියසේනයන්, ආනන්ද සමරකෝනුන්, සුනිල් සාන්තයන්, අමරදේවයන් යනාදී වශයෙන්. ඉතාම පැහැදිලියි මේ සියලූ දෙනෙක්ම යටත් පිරිසෙයින් අවුරුදු හතරක්වත් දිනපතා සතතාභ්‍යාසයේ යෙදිලා තමයි මේ විප්ලවය කළේ. සංගීතය හදාරන්නේ නැතිව සංගීතයේ යෙදෙන්නට බැහැ. හැබැයි ඔහුගේ හෝ ඇයගේ නිසග කුසලතාවය මත පදනම් වෙලා එය ඔපමට්ටම් කරගනිමින් හුදෙක් ශිල්පියෙක් බවට පත් වෙන්න පුළුවන්.

නමුත් නිර්මාණකරුවකු වීම සඳහා සාධක විශාල ගොඩක් ඇවැසියි. ඒවා තමයි අධ්‍යාපනයෙන් අපි එකතු කරගන්නේ. නමුත් ඔබ දන්නවා, 60 දශකයේදී තරුණයින් පිරිසක් ගිටාර් කෝඞ් තුනක් පමණක් ඉගෙන ගෙන සති දෙකතුනකින් මේ ක්ෂේත‍්‍රයට එනවා පොප් සංගීතඥයින් ලෙස. අපි හැම තිස්සෙම ඉතිහාසය, වර්තමානයට සංසන්දනය කරන අතරතුර ඉතිහාසය තුළත් ඉතිහාසය හා වර්තමානය තුළත් වර්තමානය තබා මෙය චතුර්විධාර්ථයෙන් සංසන්දනය කළයුතු බවයි මගේ අදහස. ඉතින් ඔබේ ප‍්‍රශ්නය ඒ කාලෙට යොමු කළොත්, සුනිල් සාන්තයන්, සූරියසේනයන්, අමරදේවයන් ආදීන් අවුරුදු ගණන් අධ්‍යයනයේ යෙදිලා විශේෂයෙන් සූරියසේන වාගෙ කෙනෙක් බටහිර සම්භාව්‍ය සංගීතය හදාරලා ලෝකය පුරා ඇවිදලා ශාන්ති නිකේතනයට ගිහින් ලංකාව පුරා ඇවිදිලා ජනගායනා එකතු කරලා ජීවිතේම කැප කළා සංගීතය වෙනුවෙන්. නමුත් හැටේ දශකයේ ලංකාවේ සිනමා සංගීතයත් සමග සංගීත අධ්‍යාපනයක් නැති ශිල්පීය දක්ෂතාවය පමණක් ඇති අතිදක්ෂ ශිල්පීන් එකතු වුණා මේ ක්ෂේත‍්‍රයට. කණ්ඩායම් සංගීතය කියන්නේම එහෙම එකක්.

ඒවාට තියෙන්නේ ගිටාර්කෝඞ් දෙකක් හෝ තුනක්. නමුත් අද දියුණු ලෝකයේ අන්තර්ජාලය හරහා ලෝකයේ තිබෙන දක්ෂතාවන් ලෝකෙටම පෙනෙනවා. ඉස්සර වගේ නොවෙයි, දක්ෂයෝ හැමතැනම සිටින බව පෙනෙන්න ගන්නවා. ඒ කාලෙ දක්ෂයෝ සිටියාට ඒ අයට ප‍්‍රවේශයක් තිබුණේ නැහැ. දැන් බලන්න, ගිතාරු වාදනයේ අංගුලිකා චලන වේගය ඇදහිය නොහැකි ලෙස ඉහළ ගිහින් තිබෙනවා. කුඩා දරුවන් පවා ඉතා ඉහළ චලන වේගයකින් ඇඟිලි මෙහෙයවමින් ගිටාරය වයනවා. මේ අන්තර්ජාලය හරහා ලබා ගන්නා දැනුම නිසා. දැනුම ඒ කාලෙ තිබුණෙ පොත්වල. අපි කොපමණ ඇවිදිනවාද පොතක් සොයාගන්න. ඊටපසු කැසට් පට. දැන් රු.49 ඬේටා කාඞ් එකෙන් විශ්වයේම දැනුම ක්ෂණයකින් ලබාගන්න පුළුවන්. අද දැනුම කියන දෙය ගුරුවරයකු නොමැතිව තමන්ගේ හෑන්ඞ්ෆෝනයෙන් ලබාගන්න පුළුවන්. ඒ තරුණ ළමයින්ගේ ගායනා හා වාදන විලාසයන් ගත්තොත් අපේ පරම්පරාවට වඩා සෑහෙන ඉහළයි. නමුත් ගැටලූව තමයි එය හුදෙක්ම ශීල්පීය නෛපුන්‍යයක් වීම. ඊට පිටුපස ඇති අතිමහත් මානවීය දැනුම් පදාසය, ගයන්නේ කුමටද, ගයන්නේ කා වෙනුවෙන්ද, ගයන්නේ මොනවාද යන්න නොදන්නා හුදෙක් ගයන්නෝ පමණක් බවට පත්වීම. ඉතින් සහෝදරයාගෙ ප‍්‍රශ්නයත් හරි, චෝදනාවත් හරි සහ ඒ චෝදනාවට මගේ පිළිතුරත් චතුෂ්කෝටිකය තුළ හරි කියා කියන්න කැමතියි.

ඔබ පවසනා පෙර පරපුරේ සුභාවිත සංගීත භාවිතාව ඔබ අයත් සංගීත පරම්පරාව විසින් ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. ඉන් එහාට යම් රික්තයක් පෙනෙනවා නේද? මින් ඉදිරියට මේ භාවිතාව රැගෙන යන පරපුරක් සිටිනවාද?

ඒක ඉතා වැදගත් ප‍්‍රශ්නයක් සහෝදරයා. අපි මේ කතා කරන්නේ රේඛීය පැවැත්මක් ගැනනේ.

මෙයාගෙන් පස්සෙ මෙයා ආදී ලෙස අනුක‍්‍රමයක් ගැනනේ. මේ අනුක‍්‍රමය මෙහෙම ඉදිරියට යනවිට ලෝකෙ වෙනස් වෙනවා, තාක්ෂණය වෙනස් වෙනවා. ජනතාවගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා.

පසුගිය කාලය තුළ ලෝක සංගීතයේ බහුමුහුන්කරණය නැතහොත් හයිබි‍්‍රඞ්වීම, සංගීත ශානරයන් එකතුවීම සියයට හයසියගුණයකින් පමණ ඉක්මන් වුණා. කාර්මික විප්ලවයෙන් පස්සෙ සම්භාව්‍ය සංගීතය හා ජන සංගීතය එකතු වෙලා ලෝකයේ නව සංගීත ශානර බිහි වෙන්න පටන් ගත්තා. රොක් ඇන්ඞ් රෝල්, රොක්, පොප්, රැුගේ ආදී නව ශානරයන් පසුගිය අවුරුදු සියය ඇතුළත වේගයෙන් පැමිණියා. පසුගිය අවුරුදු 15 ඇතුළත ලෝකය පුරා ඇති සංගීත නිධි අතිමහත් රාශියක් අන්තර්ජාලයට උඩුගත වෙලා තිබෙනවා. තරුණයින් මේවා බහුභූමිකරණය කොට තිබෙනවා. ඔවුන් මෙයින් පෝෂණය වෙලා නව නිර්මාණ බිහි කරනවා. උදාහරණයක් ගතහොත් කිතාරෝ, යානි ආදීන්.

අපේ කාලේ කැසට් එකක් එන්නේ මාස ගණනකට සැරයක්. අද එක දවසකට ලංකාවෙ විතරක් ගීත කීයක් නිර්මාණය වෙලා අප්ලෝඞ් වෙනවද? ඉතින් සහෝදරයගෙ ප‍්‍රශ්නයට සෘජුවම උත්තර දෙන්න අමාරුයි. මගේ උද්ධෘත ස්වභාවය තමයි ”ඔබ ඔබේ විෂයයේ ඔබට කළින් සිටි පූර්වජයන් කළ කී සියලූම දෑ ඔබ උගත යුතුයි. එය උගතයුත්තේ මක් නිසාද? එය නැවත නොකිරීම සඳහායි” මගේ ක‍්‍රමවේදය හා විශ්වාසය, අපි එයම නොකරමින් ඉන් එහාට යායුතුයි. ඉතින් අනාගත සංගීතඥයින් අපි අනුදත් මග නොයා වෙනත් ශෛලීන් සොයාගනියි. වියයුත්තේත් එයයි. මේ ආකෘතීන් සියල්ල බිඳී නව ආකෘතීන් බිහිවිය යුතුයි.

නිමල් ෆ‍්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment