යගුලිය පැත්තක දමා කවපෙත්ත රිදීයෙන් බැබළවූ පාලිත – ගෙදර ගියහම කුඹුරු කොටනවා

217

තාත්තා අපව ජීවත් කළේ කළු ගල් කඩලා

දෛවයට පිටුපෑමට අපහසුය. එහෙත් දෛවය පරදවා ලොව ජයගත් මිනිස්සු ඕනෑ තරම් වෙති. ඒ අතර අප අද කතා කරන පාලිත බණ්ඩාර නම් ක්‍රීඩකයාට හිමි වන්නේ ඉහළ තැනකි. ඔහු යුද හමුදාවේය. ගම මාතලේ ය. ලොව ඔහු දැන හඳුන ගත්තේ එංගලන්තයේ දීය. එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනාගත් එකම රිදී පදක්කමේ හිමිකරු ඔහුය. එය පාලිතට මෙන්ම මෙරටට ද අපමණ සතුටකි. විරල භාග්‍යයකි. එහෙත් පාලිත ඒ විරල භාග්‍ය සොයා ගිය ගමන එතරම් සුමට එකක් නොවේ. අසීරු ගමනක අවසන ඔහු ඒ සතුට උදාකර ගත්තේය. ඒ සතුට ඔහු මෙසේ අප සමග බෙදාහදා ගත්තේය.

යගුලිය පැත්තක දමා කවපෙත්ත රිදීයෙන් බැබළවූ පාලිත - ගෙදර ගියහම කුඹුරු කොටනවා


‘ඇත්තටම මෙම ජයග්‍රහණය හීනයක් සැබෑවීමක් තමයි. පදක්කමක බලාපොරොත්තුවක් තිබුණා. ඒත් රිදී පදක්කමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ. මාස හයක් පුරා මා කළ කැප කිරීමේ ප්‍රතිඵල බර්මින්හැම්වලදී ඵල දැරුවා. මීට මාස හතක් පමණ වන තුරුම මගේ ක්‍රීඩා ඉසව්ව වුණේ යගුලිය විසි කිරීමයි. ඒත් මේ තරගාවලිය ඉලක්ක කරලා පැරාලිම්පික් කමිටුවෙන් මට පැවසුවා කවපෙත්ත විසි කිරීමට සූදානම් වෙන්න. ඊට අවශ්‍ය පරිසාධන මට්ටමට ළඟා විය හැකි නම් එම තරගාවලියට යන්න පුළුවන් බව.”

එතකොට කවපෙත්ත විසිකිරීම ඔබගේ ප්‍රධානම ක්‍රීඩා ඉසව්ව නොවේද?

යගුලිය පැත්තක දමා කවපෙත්ත රිදීයෙන් බැබළවූ පාලිත - ගෙදර ගියහම කුඹුරු කොටනවා

නැහැ. මම යගුලිය තමයි කළේ. පසුගිය පැරාලිම්පික් තරගාවලියේදීත් මම යගුලිය විසි කිරීමට තමයි සහභාගි වුණේ. එහිදී මම 5 වෙනි ස්ථානය හිමිකර ගත්තා. 2021 වසරේ මැලේසියාවේ පැවැති තරගාවලියේදී ලෝකඩ පදක්කම දිනා ගත්තා. ඒත් යගුලිය විසි කිරීමෙන් තමයි. හැබැයි ඉඳලා හිටලා යුද හමුදා ඉවෙන්ට්වලදී කවපෙත්ත විසි කරලා තිබෙනවා.

පාලිත බණ්ඩාර එසේ පැවසුවත් මීට තවත් වසර කීපයකට ඉහතදී පාලිත බණ්ඩාරගේ ප්‍රධාන ඉසව්ව වී තිබුණේ වොලිබෝල්ය. එකල පාලිතගේ දෙපාදයම හොඳින් ශක්තිමත්ව තිබුණි. අද ඔහුගේ වම් පාදයට ඉහළින් මාංශ පේශීන් ආබාධයට ලක් වී ඇත.

යගුලිය පැත්තක දමා කවපෙත්ත රිදීයෙන් බැබළවූ පාලිත - ගෙදර ගියහම කුඹුරු කොටනවා


“2011 වසරේ නොච්චියාගම දී පැවති යුද හමුදා කඳවුරු අතර ක්‍රීඩා උළෙලේදී වොලිබෝල් පුහුණුවීම් සිදු කරන අතරතුර තමයි මම ආබාධයට ලක් වුණේ. එහිදී සිදුවුණු වැටීමකින් මගේ වම් දණහිස කැඩුණා. යකඩ ප්ලේට් එකක් දැම්මා. අංශක 37 යි දැන් දණහිස නවන්න පුළුවන්.”

 දණහිසට යකඩ ප්ලේට් දැමුවද මනසට යකඩ ප්ලේට් දමන්නට නොහැක. දණහිස බිඳී යෑමෙන් බිඳී ගිය හිත තමන් විසින්ම හදාගත යුතුය.

“මුල් දවස්වල ඒ ගැන මට ලොකු දුකක් තිබුණා. ඇයි මට මෙහෙම වුණේ කියලා හදවතින් හැඬූ වාර අනන්තයි. ඒත් යුද හමුදා සෙබළුන් ලෙස අපි ගතට වඩා මනසින් සවිමත්. පෙරටත් වඩා ශක්තිමත්ව මම යළි නැගිට්ටා. හුළං ගහලා පුම්බන වොලිබෝලය වෙනුවට යකඩ බෝලයක් අතින් අරගෙන මම යළි නැගිට්ටා. ඒ කාලේ මට පුහුණුකරුවෙක් හිටියේ නැහැ. යගුලිය වීසි කරන වීඩියෝ බලල තමයි මම ඉගෙන ගත්තේ. හැබැයි ඊටත් පෙර පටන් දක්ෂ ක්‍රීඩකයකු වීමේ වුවමනාව මට තිබුණා. ඒ කාලේ අපේ වීරයෝ වීරවරියන් වුණේ සුසන්තිකා අක්කා, දර්ශා අක්කා සහ සුගත් අයියලා. ඒ අයගේ විස්තරයක් තියෙන පත්තර පිටුවක් අහුවුණොත් අකුරක් නෑරම කියෙව්වා. පින්තූරයක් තිබුණොත් ගෙදර ගිහින් බිත්තියේ ඇලෙව්වා.”

පාලිත දැන් දෙදරු පියෙකි. එහෙත් දරු සෙනෙහස පිරි තම කැදැල්ල ද මාස කීපයකට අමතක කළ පාලිත ඔවුන් බැලීමට යෑම ඒම ද සීමා කොට අසීමිත ඉලක්කයට අවධානය යොමු කළේය.

“තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම කළ දවස් ටිකේ මම ගෙදර ගියෙත් අඩුවෙන්. බිරිඳ තමයි දරුවන් ගේ යුතුකම් ඉටුකළේ. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දුවට අවුරුදු හයයි.

පුතාට තාම අවුරුද්දයි. ඒ දෙන්නව බලාගෙන මට ධෛර්යය දුන්නු බිරිඳට විශේෂ ස්තුතිය පුද කරන්න ඕන. ගෙදර ගියාම ඒ වැඩ අපි බෙදාගෙන කරනවා. ඒ විතරක් නොවෙයි ගෙදර ගියාම මම කුඹුරු වැඩත් කරනවා.”

2009 වසරේ හමුදා සේවයට බැඳුණු පාලිත මාස හය හතක් පමණක් පුහුණුවීම් කර අද පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ජයග්‍රහණය කර ඇත. ඒ සඳහා ඔහුට ගුරුහරුකම් දුන් පුහුණුකරු ප්‍රභාත් ධනුෂ්ක පෙරේරාද, පැරාලිම්පික් කමිටුවද පාලිතගේ ස්තුතියට ලක්වෙයි. එහෙත් ගල් වැඩපළවල කළුගල් සමඟ ඔට්ටු වී ඒවා කෑලි කෑලි වලට කඩා ඒ හම්බ කර ගත් මුදලෙන් දරුවන් ගේ ජීවිතය ගොඩනඟන්නට වෙර දැරූ සිය පියා පිළිබඳ පාලිතට ඇත්තේ අපරිමිත ගෞරවයකි.

“තාත්තා අපව ජීවත් කරවන්න කළු ගල් කඩල සල්ලි හෙව්වා. වැලි ගොඩ දැම්මා. අම්මා වරෙක පිට රට රස්සාවකට ද ගියා. ඒ දෙන්නා අපි වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරේ. කොටින්ම මම මෙතනට ආවෙ පුදුම කට්ටක් කාලා.”

පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම ලබා ගැනීමට එංගලන්තයේදීත් විශේෂ පුහුණුවීම් කළා ද?

“මගේ තරගයට පෙර දවස් කීපයේ උදේ සහ රාත්‍රියේ දෙකේම පුහුණුවීම් කළා. එකල එංගලන්ත දේශගුණය ඉතා සීතයි. සෙල්සියස් අංශක 16.4ට පහළ බැහැලා තිබුණේ. මම තරගයේ නිරත වුණේ රාත්‍රී 10.00ට පමණ. එතකොට සීතල තවත් අධිකයි. ඒත් ඊට පෙර දිනවල රාත්‍රී කාලයේ සහ උදෑසන පුහුණුවීම් කර තිබූ නිසා මට අනිත් අයට වඩා දක්ෂතාවයකට එන්න පුළුවන්කම ලැබුණා.”

ඒත් ඔබ පළමු උත්සාහයේදී කවපෙත්ත විසි කරේ මීටර් 39.4ක දුරක් පමණයි…

ඔව්. ඒ අවස්ථාවේ මම ටිකක් චකිතයෙන් හිටියේ. තරගයට යන්න පෙර අනෙක් ක්‍රීඩකයන්ගේ දක්ෂතා බැලුවත් මම හිටියේ පහට හයට වගේ. ඒ නිසා අවසන් තරගයෙන් ජය ගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. එහෙත් දෙවෙනි තුන්වෙනි උත්සහයන්වලදී මට හිතුණා මට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා.”

ඒ සිතුවිල්ල පෙරදැරි කරගත් පාලිත දිවවිත් විසිකළ කවපෙත්ත මීටර් 44.20ක දුරක් සුළඟේ පාවී ගොස් බිම පතිත වූයේ පාලිතගේ ගෙල මත රිදී පදක්කමක් පළඳවමිනි. පාලිත ප්‍රදර්ශනය කළ එම දක්ෂතාවය මෙරට ජාතික වාර්තාවකි. එසේම පාලිත කවපෙත්ත වැඩිම දුරක් විසි කළේ ද එදා ය. එදා එම දස්කම දැක්වූ පාලිත තම අනාගත ඉලක්ක ගැන පැවසුවේ මෙසේය.

“ඊළඟට ආසියානු තරගාවලිය එනවා. එය තමයි ආසන්නම ඉලක්කය. හැබැයි ලොකුම ඉලක්කය පැරාලිම්පික් තරගාවලියේ පදක්කමක් ජය ගැනීමයි”.

● කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment