කැසිනෝ බද්ද කෝටි 50ට නංවයි

186

ව්‍යාපාරවල ලාභයෙන්  සියයට 40ක ආදායම් බද්දකුත්

ඔට්ටු සහ සූදු පනතත්  කඩිනමින් සංශෝධනයට

කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද වහාම රුපියල් කෝටි 20 සිට 50 දක්වා සියයට 150 කින් වැඩි කර ඇත.

මේ අනුව පසුගිය අගෝස්තු 01 වැනිදා සිට මේ දක්වා කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික රුපියල් කෝටි 20ක් වූ බදු මුදල රුපියල් කෝටි 50 දක්වා මෙසේ වහාම වැඩි කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව තවත් ඔට්ටු සහ සූදු සඳහා ද බදු කිහිපයක් වැඩි කිරීමේ අරමුණෙන් ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කරන බව ද මුදල් අමාත්‍යාංශය කියයි. එම යෝජිත බදු සංශෝධන මෙසේය.

කැසිනෝ සඳහා මෙතෙක් නොතිබූ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අයකිරීම සහ ශ්‍රී ලාංකිකයකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේදී ඩොලර් 200ක ගාස්තුවක් අයකිරීමට යෝජිතය. වෙනත් ඔට්ටු හා සූදු සඳහා අවම වශයෙන් සජීවී ඔට්ටු මධ්‍යස්ථාන සඳහා රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට සහ පිරිවැටුම මත අය කෙරෙන සියයට 10 ක බද්ද අවම වශයෙන් සියයට 15 දක්වා වැඩි කිරීමට නියමිතය. එසේම ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල් මිලියන 5 දක්වා වැඩි කෙරෙන අතර සජීවී නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50000 සිට රුපියල් 75000 දක්වා වැඩි කිරීමට ද නියමිතය.

මේ බදු වැඩි කිරීම් සියල්ලටම පසු එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් සියයට 40 ක ආදායම් බද්දක් අය කෙරෙන බව ද එම අමාත්‍යංශය කියයි.

මීට අමතරව සුරා සහ දුම්කොළ බදු ගතගොත් මද්‍යසාර බෝතලයකින් අවම වශයෙන් සියයට 75 ක බද්දක් ද දුම්වැටියකින් සියයට සියයට 85 කට ආසන්න බද්දක් අය වේ. අවසානයේ ඒ ආයතනවල ලාභයෙන් ද සියයට 40 ක ආදායම් බද්දක් අය කරනු ලබන බව ද මුදල් අමාත්‍යංශය කියයි.

බදු රාජ්‍ය ආදායමේ ප්‍රධාන ප්‍රභවයක් වන්නා සේම, සමාජ මගපෙන්වන්නෙක් ලෙස ද, අධෛර්යමත් කළ යුතු අංශ අධෛර්යමත් කිරීම සඳහා ද යොදා ගැනේ. වර්තමාන රාජ්‍ය ආදායම උපයා ගැනීමේ අභියෝගයේදී ද රජය උපරිම ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment