බිරිදට අමානුෂික ලෙස පහරදුන් දියබෙදුම හිටපු ඕඅයිසී රිමාන්ඩ්

763

තම බිරිඳට අමානුෂික ලෙස යකඩ පොල්ලකින් හා අතින් පයින් පහරදීමේ චෝදනාවක් මත බකමූණ සංචාරක මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත භාර වූ දියබෙදුම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මෙම මස 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බකමූණ සංචාරක මහෙස්ත‍්‍රාත් සනත් නානායක්කාර මහතා පෙරේදා (8දා) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ දැනට බකමූණ පොලිසියට අනුයුක්තව සේවය කරන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ටී. බී. එස්. පී. ජයතිලක නමැති අයෙකි. මෙම මස 02 දින හෝ ඊට ආසන්න දිනකදී සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් පවුල් ආරවුලක් මත මෙලෙස සිය බිරිඳට යකඩ පොල්ලකින් හා අතින් පයින් පහර දී ඇති බව සඳහන් වේ.

සිද්ධියෙන් තුවාල ලැබූ බිරිඳ ප‍්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී රෝහල් පොලිසිය මගින් ඇයගෙන් ලබාගත් ප‍්‍රකාශ මත සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සඳහා දියබෙදුම පොලිසිය වෙත යොමු කර ඇත. ඒ අනුව පරීක්ෂණ සිදුකළ දියබෙදුම පොලිසිය බී 1400/2021 යටතේ බකමූණ සංචාරක මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත පෙරේදා (08දා) දහවල් කරුණු ඉදිරිපත් කිරීමට ක‍්‍රියා කළේය. මෙහිදී විත්තිකාර ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නීතිඥ ඒ. ඒ. නාලක බණ්ඩාර මහතා මගින් අධිකරණය වෙත භාරවූ අතර දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා විත්තිකාර ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. දියබෙදුම පොලිසිය පැමිණිල්ල මෙහෙයවීය.

හිඟු‍රක්ගොඩ අතුල සූරියබණ්ඩාර, මින්නේරිය සුජිත් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment