ඉන්ධන ගබඩා ‘විගණනය’ සීඅයිඩීයට දෙනවා – ඇමැති කංචන කියයි

148

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් කේපීඑම්ජී ආයතනය විසින් සිදුකළ වෝහාරික විගණනයේ සම්පූර්ණ පරීක්‍ෂණ වාර්තාව එළඹෙන සතියේදී තමාට ලබා දීමෙන් පසු එහි ඉදිරි නීතිමය පියවර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

එසේම එම වාර්තාව ඉදිරි කටයුතු වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට හා විගණකාධිපති දෙපාර්තමේන්තුවට ද ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඇමැති විජේසේකර පවසයි.

කේ.පී.එම්.ජී. ආයතනය විසින් එම වෝහාරික විගණනයෙන් හඳුනාගත් මූලික කරුණු ඊයේ (15දා) සවස තමාට ඉදිරිපත් කළ බවද ඇමැතිවරයා සඳහන් කරයි.

2022 වසරේ තමා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වෝහාරික විගණන පරීක්‍ෂණය සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබිණි.

2010 වසරේ සිට තොරතුරු දත්ත ලක්‍ෂ 13ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් මකා දමා හෝ වෙනස් කර ඇති බවද ඉන් බහුතරය 2022 වසරේ දී ඉන්ධන අර්බුදය ඇති වූ අවස්ථාවේ සිදුව ඇති බවද එම විගණනය අනුව නිරීක්‍ෂණය වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment