ආශ්‍රමයේ නාහිමියන්ට තර්ජනය කර ලක්‍ෂ 2ක මුදලක් සොරාගෙන

119

අනුරාධපුර පූජා නගරයේ බසවක්කුලම වැව ආසන්නයේ පිහිටා ඇති ‘සිරි සදහම් සෙනසුන’ ආශ්‍රමයට පෙරේදා (15දා) ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක්, එහි වැඩසිටින නාහිමිපාණන්හට උල් පිහියක් පෙන්වා මරා දමන බවට බිය ගන්වා රුපියල් ලක්ෂ දෙකක මුදලක්, අටපිරිකරක්, ජංගම දුරකථනයක් පැහැර ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.

මෙම ආශ්‍රමය තුළ එම හිමි නම සහ ආවතේව කටයුතු සඳහා ගිහි පුද්ගලයකු පමණක් සිටින බව පොලිසිය සඳහන් කළේය.

පෙරේදා (15 දා) රාත්‍රි හතයි තිහට පමණ එම ආශ්‍රමය තුළට ඇතුළු වූ හත් දෙනකුගෙන් පමණ සමන්විත කොල්ලකරුවන් පිරිස එහි තිබූ රුපියල් ලක්ෂ දෙකක මුදලක්, රුපියල් 28000 ක් වටිනා ජංගම දුරකථනයක් සහ අටපිරිකරක් රැගෙන පළා ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන්ව ඇති බව පොලිසිය කියයි. කොල්ලකෑම වැළැක්වීම සඳහා පැමිණි සොර කණ්ඩායම සමග මෙම හිමිපාණන් පොරබදා ඇති අතර එහිදී පිහියක් පෙන්වා මරා දමන බවට තර්ජනය කිරීම හේතුවෙන්, එම හිමිපාණන් සහ අවතේවකරු ඔවුන්ගෙන් මිදී දිව ගොස් ජීවිතය බේරා ගෙන ඇතැයි පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment