දෛවයට අභියෝග කළ සරසවි සිසුවා

520

රුහුණ විශ්වවිද්‍යාලයේ විසි නව වන උපාධි ප්‍රදානෝත්සවය සාර්ථක අයුරින් දෙසැම්බර් මස 16 වන දින නිමාවට පත්විය. එහිදී උපාධිය ලබාගත් උපාධිධාරීන් අතර සිය දෛවයට ද අභියෝග කරමින් නොපසුබට උත්සාහය, කැපවීම, ආත්ම විශ්වාසය හමුවේ තම උපාධි සිහිනය යථාර්ථයක් බවට පත්කරගත් උපාධිධාරියකු පිළිබඳව අපට අසන්නට ලැබුණි. ඔහු නමින් ඩබ්ලිව්. පී. උදිත ප්‍රියංග නම් වේ. ඔහුගේ ගමන් මඟ අනෙක් දරුවන්ට වඩා වෙනස්වන්නේ ඔහු උපතින්ම ශ්‍රවණ හා කථන ඌනතාවයෙන් පෙළීම හේතුවෙනි. නමුත් උපතින් ලැබූ සියලු දුර්වලතා පසෙකලා ඔහු පැමිණි ජයග්‍රහණයේ මාවත සැබැවින්ම ප්‍රශංසනීය වේ.

තිස්සමහාරාම කිරින්ද කිරින්දගම 73/1 ලිපිනයේ පදිංචි ඩබ්ලිව්. පී. උදිත ප්‍රියංග 1998 වසරේදී තංගල්ල නව ජීවන ආයතනයෙන් පෙර පාසල් අධ්‍යාපනය ලබා 2001 වසරේ දී හ/ නෙටොල්පිටිය ගැමුණු මහ විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයට ඇතුළත්ව ඇත. පසුව එම විද්‍යාලයේම සාමාන්‍ය පන්ති කාමරයේ සාමාන්‍ය ළමුන් සමග ද අධ්‍යාපනය හදාරා ඇති අතර කථන හා ශ්‍රවන අපහසුතාව මධ්‍යයේ ඉතා අපහසුවෙන් අධ්‍යාපන කටයුතු සිදුකර ඇත. මූලික අධ්‍යාපන කටයුතු හ/ නෙටොල්පිටිය ගැමුණු මහ විදුහලෙන් ද මොරටුව රාවතාවත්ත රේන්ජස් බිහිරි විදුහලෙන් ද සම්පූර්ණ කර ඇත.

ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගය හ/ මාගම විදුහලෙන් ද උසස් පෙළ විභාගය හම්බන්තොට සුචී විදුහලෙන් ද සමත් වූයේ ය.

විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ද දක්ෂතාවන් දක්වන උදිත 2012 වසරේදී ශ්‍රී ලංකා යූත් ජාතික සම්මාන තරගාවලියේ නව නිර්මාණ නැටුම් මිශ්‍ර සමස්ත ලංකා තරග අංශයෙන් ප්‍රථම ස්ථානය ද ලබාගෙන ඇත. 2017 වර්ෂයේ දී රුහුණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ හෙතෙම මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයෙන් සිය විශ්වවිද්‍යාල කටයුතු සාර්ථක ලෙස අවසන් කිරීමට සමත්ව තිබේ.

මෙතෙක් ආ අසීරු ගමන් මග පසුකර යෑමට සවියක් වූ සියලු දෙනාටම ස්තුති කිරීමට ප්‍රියංග අමතක නොකළේය. උපන් දා සිට ම තමාට සවියක් වූ පියා වන විශ්‍රාමික හමුදා නිලධාරී ඩබ්ලිව්. පී. සමන් මහතා හා මව වන විශ්‍රාමලත් සහකාර විදුහල්පතිනි බීටා අන්දාහැන්නදී මහත්මියටත් ඉගෙනුම ලැබූ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ විශ්‍රාමලත් ගුරු උපදේශිකා පී. පී. මාලිකා මහත්මියට ද ඔහුගේ ස්තූතිය පුදකර සිටී. රුහුණ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා ඇතුළු විශ්වවිද්‍යාලයීය මහාචාර්ය ආචාර්යවරුන්ට ද ඔහුගේ ස්තූතිය පුද කර සිටී.

මෙවන් දිරිය තරුණයන් හට අත්වැලක් සැපයීම සමාජීය වගකීමක් වේ. උපාධිධාරී උදිත ප්‍රියංග හට මෙතෙක් රැකියාවක් නොමැති අතර ඔහු මේ වනවිට රැකියාවක් බලාපොරොත්තුවෙන් පසුවේ. ඔහු වැනි ආබාධිත තත්ත්වයේ පසුවන දරුවන් සිටින දෙමාපියන් හට ඔහු පැමිණි ජයග්‍රාහී මාවත පිළිබඳව දැනුවත් කිරීමට ද ප්‍රියංග සූදානම් ය.

ඉදුනිල් තාරුකා පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment