කිලෝ 22 ක් බර දඹරන් බුද්ධ ප‍්‍රතිමාවක් ලක්‍ෂ හැටකට අලෙවි කරන්න හදලා – තිදෙනෙක් අත්අඩංගුවට

472

දඹරනින් නිමකළ, මිල කළ නොහැකි බව කියන කිලෝග‍්‍රෑම් 22ක බරින් යුතු බුද්ධ ප‍්‍රතිමාවක් රුපියල් ලක්ෂ හැටකට අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවන් තිදෙනෙකු පෙරේදා (09දා)අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස් මත කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක විජේකෝන් බණ්ඩාර මහතාට අනුරාධපුර හා කන්තලය පොලිස් විශේෂ කාර්යංශයන්හි නිලධාරින් විසින් ලබා දුන් තොරතුරු හා සහයෝගය මත සැකකරුවන් තිදෙනාව අනුරාධපුර නුවරවේ සොරොව්ව ආසන්නයේදී අඟල් 18ක උසින් යුතු බුද්ධ ප‍්‍රතිමාව සමග මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා තිබුණේ එම ප‍්‍රතිමාව නිධානයකින් හමුවූ බවත් එහි තිබූ සෙසු වස්තුව වෙනත් පුද්ගලයන්ට අලෙවි කළ බවයි.

කිලෝ 22 ක් බර දඹරන් බුද්ධ ප‍්‍රතිමාවක් ලක්‍ෂ හැටකට අලෙවි කරන්න හදලා - තිදෙනෙක්  අත්අඩංගුවට

රුපියල් කෝටි තිහකට අධික රන් බරින් යුතු පිළිමය මෙරට කිසිවෙකුට අලෙවි කිරීමට නොහැකි වූ නිසා විහාරස්ථානයක වැඩ වසන හිමිනමකට වැඳුම් පිඳුම් කිරීම සඳහා ප‍්‍රතිමාව අලෙවි කිරීමට කථිකා කරගෙන තිබූ බව සැකකරුවන් පොලිසියට පවසා තිබිණි.

සැකකරුවන් පිරිස ත‍්‍රීකුණාමලය හා එප්පාවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුට දඹරන් බව කියනා පිළිමය විකිණීමට උත්සහ කර ඒ හරහා කොළඹ වැඩ වසන හිමිනමකගේ දායකයෙක් හට පිළිමය අලෙවි කිරීමට උත්සහ දරා තිබෙන අතර එම හිමිනමගේ දායකයා උපාය දූතයෙකු වශයෙන් පෙනී සිටිමින් සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත් කිරීමට කටයුතු කර තිබුණි.

මුලින්ම සැකකරුවන් පිළිමය බැලීම සඳහා ගලෙන්බිදුණුවැව පොලිස් වසමට පැමිණෙන ලෙස උපාය දූතයාට පවසා තිබෙන අතර පසුව කහටගස්දිගිලිය පොලිස් වසමට එන ලෙස දන්වා තිබේ. අනතුරුව ගනුදෙනුවට සම්බන්ධවූ පුද්ගලයා පිළිබඳ විශ්වාසය ඇතිවීම නිසා අනුරාධපුර නුවර වැව් බැම්ම ආසන්නයට මුදල් රැුගෙන පැමිණෙන ලෙස සැකකරුවන් උපාය දූතයාට දන්වා තිබුණි. ඒඅනුව නුවර වැවේ සොරොව්ව ආසන්නයේදී සැකකරුවන් උපාය දූතයාට බුද්ධ ප‍්‍රතිමාව අලෙවි කිරීමට සූදානම් වෙද්දි අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.ඒ අනුව කිලෝග‍්‍රෑම් 22ක් බර අගල් 18ක් සිරස දක්වා උස හා අගල් 14ක පළලින් යුතු රන් පැහැයට සමාන බුද්ධ ප‍්‍රතිමාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් පිළිම වහන්සේ රනින් කළ එකක්ද නැත්නම් සැකකරුවන් වෙනත් ලෝහයකින් සැකකසු එකක්ද යන්න අනාවරණය කර ගැනීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පිළිමය යොමුකළ යුතු බව පොලිසිය පවසයි.

මිහින්තලය පොලිස් වසමේ මුස්ලිම් කටුකැලියාව හා දිවුල්වැව පොලිස් වසමේ මුකිරියාව පදිංචි අවුරුදු 41,43 හා 47 පදිංචි සැකකරුවන් ඊයේ (10දා) අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරුන් වන බණ්ඩාර 48317 නිෂාම් 61406 හා පොලිස් කොස්තාපල්වරුන් වන රාජරත්න 66634 ජයසිංහ 33280 යන නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

මිහින්තලේ- රංග චතූ, නොච්චියාගම- එම්.එම්.පී.ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment