“මිනි තියටර්” සංකල්පය ප්‍රවර්ධනයට ශ්‍රීපාලි මණ්ඩපයෙන් නව පියවරක්

210

වැසී ගිය සංස්කෘතික කවුළු යළි විවර වෙයි

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන උසස් අධ්‍යාපන ආයතන අතර වඩාත් කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරන ස්ථානයක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය හඳුනා ගැනීමට පුළුවන්. සමාජයේ නව ප්‍රවණතාවන් හා සමගාමීව අභිමානවත් උපාධිධාරීන් බිහි කරන ශ්‍රී පාලි මණ්ඩපයේ ජුනි මස 19 දින විවෘත කළ නවීන පහසුකම්වලින් සමන්විත කුඩා ප්‍රමාණයේ රංග ශාලාව එසේත් නැතිනම් Mini Theater ගොඩනැඟිල්ල සහ ඔවුන්ගේ ඉදිරි දැක්ම පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති, ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති සහ හිටපු මහාචාර්ය, නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා දැක් වූ අදහස් මතු දැක්වේ.

උසස් අධ්‍යාපනයේ දී විද්‍යාර්ථියාගේ සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීම වැදගත් වන්නේ ඇයි?

නීතිමය දෘෂ්ටි කෝණයකින් බලනවිට පවා ජනතාවට තිබෙන මූලික අයිතිවාසිකමක් වශයෙන් 1996 ආර්ථිකය, සමාජීය, දේශපාලනික අයිතිවාසිකම් සම්මුතිය යටතේ සංස්කෘතික අයිතිය පිළිගන්නවා. එම අයිතිය ශිෂ්‍යයාට ඉගෙනීමේ අයිතිය වගේම වැදගත් වෙනවා. ලෝකයේ බොහොමයක් විශ්වවිද්‍යාලයවල සංස්කෘතික අධ්‍යාපනය කියන්නේ විෂයක්. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථයින්ගේ සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. එය විවිධ සංස්කෘතීන් සඳහා ඉවසීම, ගෞරවය සහ අගය කිරීම යනාදී සමාජයේ පුරවැසියකු වශයෙන් වැදගත් වන හැඟීම් ප්‍රවර්ධනය කිරීමක් සිදු කරනවා. ඒ වගේම තමයි විද්‍යාර්ථියින්ගේ ගෝලීය පුරවැසිභාවය පිළිබඳ හැඟීම් පෝෂණය කිරීමට සංස්කෘතිය මගින් හැකියාවක් ලැබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් සතුව තිබිය යුතු ස්වයං ප්‍රකාශනය, නිර්මාණශීලීත්වය සහ විවේචනාත්මක චින්තනය සංස්කෘතිය මගින් ඇති කරනවා. කලාව, සංගීතය, සාහිත්‍යය සහ රංග කලාව වැනි සංස්කෘතික ක්‍රියාකාරකම් සහිත විචිත්‍රවත් සංස්කෘතික සංදර්භයක් විශ්වවිද්‍යාලයක් තුළ ඇති වීම එහි සිටින විද්‍යාර්ථියින්ගේ යහපැවැත්මට සහ මානසික සෞඛ්‍යයට ඉතාමත් හොඳින් බලපානවා. අද බොහෝමයක් විශ්වවිද්‍යාල විද්‍යාර්ථියින්ගේ සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාවය අවම කරන්න සංස්කෘතියේ පවතින මෙම සෞන්දර්යාත්මක වටිනාකම්වලට හැකියාව පවතිනවා. ශ්‍රී පාලි මණ්ඩපය කියන්නේ එවැනි සංස්කෘතික ජීවිතයක් විද්‍යාර්ථියින්ට හිමිවෙන වටිනා උසස් අධ්‍යාපන භූමියක්.

ශ්‍රී පාලිය කියන්නේ ඉතිහාසයෙත් සංස්කෘතික භූමියක්. අද විශ්වවිද්‍යාලයක් විදියට රූපාන්තරණය වුණත්. එය පවත්වාගෙන යනවාද?

ශ්‍රී ලංකාවේ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන සමඟ සැසඳීමේ දී ශ්‍රී පාලි මණ්ඩපය කියන්නේ ඓතිහාසික වටිනාකම අතින් වගේම පිහිටීම අතිනුත් ඉතාමත් සුවිශේෂී සුන්දර තැනක්.

ශ්‍රී ලංකාවේ ප්‍රකට වාමාංශික ක්‍රියාකාරිකයකු මෙන්ම සූරිය මල් ව්‍යාපාරයේ පුරෝගාමියකු වන විල්මට් ඒ. පෙරේරා මැතිඳුන්ගේ ධන පරිත්‍යාගයක් මතින් ගොඩනැඟුණු අක්කර තිස්දෙකක භූමි භාගයක් පුරා විහිදුණු ශ්‍රී පාලි මණ්ඩපය මෙරට සෞන්දර්ය අධ්‍යාපනය මූලික කර ගෙන ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ ආකෘතිය අනුව ඉදි කරලා තිබෙනවා. ඒ වගේ ම මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ සෞන්දර්ය අධ්‍යාපනය වෙනුවෙන් විවෘත කරනු ලැබුවේ ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ නිර්මාතෘ රබීන්ද්‍රනාත් තාගෝර් විසින්. පසුව 1996 දී කොළඹ විශ්වවිද්‍යාලයේ බටහිර මණ්ඩපය ලෙසින් ප්‍රතිස්ථාපනය වන මෙම උසස් අධ්‍යාපන ආයතනය අද වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය ලෙසින් හඳුන්වනු ලබනවා. මෑතකාලීන ව ලංකාවේ පිළිගත් විද්වතුන්ගේ මැදිහත්වීමෙන් ජනමාධ්‍ය හා ප්‍රාසාංගික කලා උපාධි පාඨමාලාවන්හි සම්පූර්ණ විෂය නිර්දේශය නැවත ප්‍රායෝගිකත්වය අනුව යමින් සකස් කරනු ලැබුවා. මෙලෙස විෂයේ ප්‍රායෝගිකත්වය විද්‍යාර්ථින් හට ලබා දීමේ මූලික අරමුණ වන්නේ ඔවුන්ට රැකියා වෙළෙඳපොළ තුළ ඉල්ලුමක් ඇති කිරීමයි. විශ්වවිද්‍යාලය තුළින් පිට වන විද්‍යාර්ථියා රජයට බරක් විය යුතු නැහැ. ඔවුන් විශ්වවිද්‍යාලයෙන් පිට වන විටම රටේ ආයතන හා සමාගම් රැකියා සඳහා ආරාධනා කරන මට්ටමේ උපාධිධාරීන් අපි නිර්මාණය කළ යුතු යි. ඒ සඳහා ශ්‍රී පාලි මණ්ඩපය වඩා මේ නිර්මාණය වී තිබෙන සංස්කෘතික වටිනාකම් විශ්වවිද්‍යාලයක් ලෙස රූපාන්තරණය වීමේදී පවා නොනසා පවත්වාගෙන යෑම වැදගත්. එය නොනැසී පවත්වාගෙන ක්‍රියාවලියට නොබිඳෙන පොකුරක් ලෙසින් ශ්‍රී පාලි මණ්ඩපයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය කැපවීමෙන්, ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරන බව සිහිපත් කළ යුතුම කාරණයක්.

ශ්‍රී පාලි මණ්ඩපයට රංග ශාලාවක් තියෙනවා. ශ්‍රව්‍ය – දෘෂ්‍ය නිෂ්පාදන ස්ටූඩියෝවක් තිබෙනවා, ප්‍රජා ගුවන්විදුලියක් තිබෙනවා. ඒ අතරට මේ අලුතින් එක් වූ අංගය මොකක්ද?

ඇත්තෙන්ම ලංකාවේ විශ්වවිද්‍යාල 17 අතුරෙන් එකම ප්‍රජා ගුවන් විදුලි ඒකකය “Campus Radio” ලෙසින් අප විශ්වවිද්‍යාලය විසින් සයිබර් අවකාශයට එක් කරනු ලබනවා. පසුගිය වසරේ දී ජපන් ආධාර යටතේ අංගසම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ශ්‍රව්‍යදෘෂ්‍ය ඒකකයක් ද අපට හිමි වුණා. දකුණු ආසියාවේ සුවිශේෂී මාධ්‍ය පුස්තකාලයක්, එළිමහන් රංග පීඨයක්, නාට්‍ය රඟ දැක්වීම සඳහා ම සුවිශේෂී ගෘහ නිර්මාණ ආකෘතියකට අනුව නිර්මාණය වූ අරුන්දතී නෘත්‍ය ශාලාව අප මණ්ඩපය සතුව ඇති සම්පත් විදිහට සලකන්න පුළුවන්. ඊට අමතරව මේ අලුතින් එක්වන මිනි තියටර් එක ශ්‍රී පාලි මණ්ඩපයට ඉතාමත් සුවිශේෂී වෙනවා. එය අපගේ අධ්‍යයන කාර්යමණ්ඩලයේ ආචාර්යවරු එකතු වෙලා ලෝක බැංකුවට සකස් කර දුන් යෝජනාවලිය ඔස්සේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිය මගින් ශ්‍රී පාලි මණ්ඩපයට හිමි වූ වැදගත්, වටිනා ත්‍යාගයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්.

මිනි තියටර් නැතිනම් කුඩා සිනමා ශාලා දැන් ලෝකයේ ජනප්‍රිය වෙමින් පවතින සංකල්පයක්. ඒක ශ්‍රී පාලියට හඳුන්වා දෙන්නේ ඇයි?

විශේෂයෙන්ම වැල්ලවත්ත සැවෝයි සිනමා හලේ මිනි තියටර් එක හැරෙන්න රත්නපුර දිස්ත්‍රික්කයට වෙනකම් මිනි තියටර් එකක් නෑ. විශේෂයෙන්ම මේක මණ්ඩපයේ ප්‍රාසාංගික කලා විද්‍යාර්ථියින්ගේ පර්යේෂණ සඳහා ඔවුන්ගේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සදහා මෙන්ම අනෙක් පීඨවල විද්‍යාර්ථයින්ගේ විනෝදාශ්වාදය මෙන්ම ඔවුන්ගේ නිර්මාණාත්මක දේවල් සඳහාත් භාවිතා කරන්න පුළුවන් නවීන පහසුකම් සහිත වූවක්. ඒ වගේම ශ්‍රී පාලි මණ්ඩපය කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබන්ධිතව වුවත් හොරණ කියන සුන්දර ගමක පිහිටි මණ්ඩපයක්. ඉතින් එය නිතැතින්ම එහි ජීවත් වන ප්‍රජාවට සමීපයි. ඒ නිසා මෙම මිනි තියටර් එක ශ්‍රී පාලි මණ්ඩපයේ විද්‍යාර්ථියින්ට වගේම හොරණ ප්‍රදේශවාසීන්ටත් ඉතාමත් වැදගත්.

ජනමාධ්‍යවේදී විශේෂ උපාධිය හා ප්‍රාසාංගික කලා විශේෂ උපාධිය හදාරන විද්‍යාර්ථියින්ට මෙය කෙතරම් වැදගත් වෙයිද?

මට හිතෙන විදියට මේ මිනි තියටර් එක විද්‍යාර්ථින්ට හිමිවෙන විසිඑක්වන සියවස දකින කවුළුවක් හා සමාන යි. ඔවුන්ගේ අධ්‍යයන ක්‍රියාවලිය සම්බන්ධ දෑ කාර්යක්ෂමව ඉටු කරගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා. ඒ වගේම නුදුරේදීම ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය සහ ප්‍රාසාංගික කලා අධ්‍යයනාංශ පීඨයන් බවට පරිවර්තනය කිරීමට ද නියමිතයි. ඒ ගමනේ දී විද්‍යාර්ථියින්ට මෙම මිනි තියටරය ඔවුන්ගේ නිර්මාණශීලී පර්යේෂණ නිෂ්පාදන එළිදැක්වීමට ඉතාමත් අත්‍යවශ්‍ය වූවක්. එය ශ්‍රී පාලි මණ්ඩපය තුළිත් ජාත්‍යන්තරය පිළිගත් නිර්මාණශීලී උපාධිධාරියෙක් බිහි කිරීමට ඉඩ සැලසෙනවා. මේ සියල්ල සඳහා මට කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා වගේම අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය මට විශාල සහයක් ලබා දෙනවා.

නෙතුනි බටදූවආරච්චි

සංස්කරණය-වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment