ප්‍රධාන සැකකරු 26 දා තෙක් රිමාන්ඩ් – දත් පාරවල් සැකකරුගේද- වෝහාරික වෛද්‍ය පරීක්‍ෂණයක්

370

කළුතර පස්මහල් ගොඩනැඟිල්ලකින් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ප්‍රධාන සැකකරු ලබනි 26 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය ඊයේ (12 දා) නියෝග කළාය.

කළුතර දකුණ, ඉසුරු උයන, අංක 63 ලිපිනයේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු යන අය මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදි.

කළුතර දකුණ, ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටි සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ වැටී සිටිය දී සොයාගන්නා ලද කළුතර, නාගොඩ, ‘සැනසුම’, අංක 115 ලිපිනයේ පදිංචිව සිටී ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන 10 වැනිදා කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කොට පැය 48 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පොලිසිය විසින් සැකකරුට අයත් රුපියල් අනූහතර දහසක මුදල, බැංකු කාඩ්පත් සහ නිවසේ යතුර සිය භාරයට ගෙන ඇති බව විත්තියේ නීතිඥ සරත් කරවිට මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

එම දෑ අද උදෑසන වනවිටත් භාරදී නොමැති බැවින් නිවසේ ඇති කරන සුනඛයන් ද නිරාහාරව සිටින බව සඳහන් කළ විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරු වෙත එම දෑ භාරදෙන ලෙසට පොලිසියට නියෝග කරන ලෙසය.

එහිදී පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා මහතා සඳහන් කළේ සැකකරු අද දිනයේ අධිකරණය හමුවට පැමිණවීමට පෙර රුපියල් අනූහතර දහසක මුදල, බැංකු කාඩ්පත් සහ නිවසේ යතුර බිරිඳ ඉදිරියේ සැකකරු වෙත භාරදුන් බවයි.

මෙම මරණය සියදිවි නසා ගැනීමක්ද? නොඑසේ නම් මනුෂ්‍ය ඝාතනයක් ද? යන්න මෙතෙක් නිගමනය වී නොමැති බවත්, මියගොස් ඇති දැරියට අවසන් වරට දුරකථන ඇමතුමක් ලබාදුන්නේ කවුරුන් ද යන්න සොයා ගැනීමට පොලිසිය මෙතෙක් අපොහොසත් වී ඇති බවත් අධිකරණය හමුවේ කියා සිටි විත්තියේ නීතිඥ මහතා ඉල්ලා සිටියේ සැකකරු හෘද රෝගයෙන් පෙළෙන බැවින් බන්ධනාගාරය තුළ දී විශේෂ ආරක්ෂාවක් සලසන ලෙසය.

එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ සැකකරුට ආරක්ෂාව සැලසීම බන්ධනාගාරය සතු වගකීමක් බවත් එය අධිකරණයේ වගකීමක් බවත්ය.

දැරියගේ පාදයක සහ පියයුරක දත් පහරවල් නිරීක්ෂණය වන බවත්, එය සැකකරුගේ දත් පහරවල් ද යන්න පරීක්ෂා කිරීම සඳහා සැකකරු වෝහාරික වෛද්‍යවරයකු හමුවට පැමිණවීමට අවසර ලබා දෙන ලෙස උප පොලිස් පරීක්ෂක කේ. එන්. ඒ. ජී. ඩී. බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී 2023 මැයි මස 16 දා සැකකරු වෝහාරික වෛද්‍යවරයකු හමුවට පමුණුවන ලෙස මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ අධිකරණ ශාලාව තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශ නිලධාරීන් රැඳී සිටි අතර, දැරියගේ මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් සිදුකරන බවට ද අධිකරණයේ දී කරුණු අනාවරණය විය.

පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා, උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජී.ඩී. බණ්ඩාර සහ සැරයන් ජගත් සිරිවර්ධන (41055) අධිකරණයට කරුණු වාර්තා කරන ලදි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරුන් වන පොල්වත්ත සහ මැදගම යන නිලධාරීහු ද පෙනී සිටියහ.

නඩුව ලබන මැයි 26 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

කළුතර දකුණ පොලිසියේ නිලධාරීහු පිරිසක් ඊයේත් දැඩි ආරක්ෂක රැකවල් යොදා සැකකරු අධිකරණ භූමියට රැගෙන ආහ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment