නිදහස් ජාතික ස්වාධීනත්වය සහ හෝ චි මිං

281

මැයි 19 වැනි දිනට යෙදී ඇති වියට්නාමයේ හිටපු ජනාධිපති හෝ චි මිංගේ 133 වන උපන්දිනය නිමිත්තෙනි.

වියට්නාමයේ හැනෝයි නගරයට කිලෝමීටර් 300 ක් පමණ දකුණේ වූ නාම් දාම් දිස්ත්‍රික්කයේ නාතී ප්‍රදේශයේ කිම්ලි ගමේදී 1890 මැයි 19 වැනිදා, හෝ චි මිං උපන්නේය. ඔහුගේ පියා න්ගුයෙන් සින්සක් ය. මව න්ගුයෙන් කී ලෝවාන් ය. එවකට ප්‍රංශ අධිරාජ්‍යාවාදීන් යටතේ වියට්නාමය යටත් විජිතයක්ව පැවතුණි.

ඔහුගේ පියා ගුරුවරයකු වූ අතර මව නූල් කටින ගෙවිලියක් වූවාය. ඔවුන් තම පුතා නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයා වන බව දැන සිටියේ නැත. එමෙන්ම ඔහු මවුබිම වෙනුවෙන් සටන් කරන ශ්‍රේෂ්ඨ විපල්වවාදියෙකු වන බවත් ඔවුන් නොදැන සිටියහ.

වයස අවුරුදු 8 දී චීන භාෂාව ඉගෙන ගත් හෝ චි මිං ගමේ ප්‍රාථමික පාසලේ දී ප්‍රංශ භාෂාව ඉගෙන ගත්තේය. අනතුරුව හූයේ දී උසස් පාසලේ අධ්‍යාපනය ලැබීය. තරුණ වියේදී පවා වියට්නාම් ජනතාවගේ දිළිඳුකම වෙනුවෙන් ඔහු කැප වූයේය. වියට්නාම් ජනතාව දිළිඳුකමින් මුදා ගැනීමටත්, ඔවුන්ට නිදහස අත්කර දීමටත් ඔහු තරුණ වියේදීම තීරණය කළේය.

1911 ජුනි 5 වැනිදා ඔහු සයිගොන් නුවර වරායෙන් ප්‍රංශ නැවක් වන ලාටොක් ට්‍රැවිල්හි සේවයට බැදුණි. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 21 ක් විය. වියට්නාමයේ නිදහස වෙනුවෙන් ඊළඟ වසර 10ම රටින් පිට ගත කළේ විවිධ වෘත්තීන්වල යෙදෙමිනි. ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍යය, අප්‍රිකාව ආදී රටවල සංචාරය කර ඔහු නැවත ප්‍රංශයට පැමිණියහ. මෙහිදී නාවිකයෙක් උයන් පල්ලෙක් චිත්‍රාගාර ශිල්පියෙක්, හිම කඩන්නෙක්, හෝටල් සේවකයෙක් වැනි විවිධ වෘත්තීන්වල ඔහු යෙදුනි.

ඔහුගේ මෙම සංචාරක කාලය පිළිබඳව පැවසුවේ අන්‍ය ජාතීන්ගේ ජීවන රටාවන් සම්බන්ධව හොඳින් ඉගෙන ගෙන මගේ රටවැසියන්ට සේවය කරන බවයි.

ලෝකය පුරා හෝ චි මිං කළ මෙම සංචාරයේ දී රුසියාවේ, ඔක්තෝබර් විප්ලවය සහ ප්‍රංශයේ හා ඇමරිකාවේ විප්ලවයන් පිළිබඳව ඉගෙන ගත්තේය. 1930 පෙබරවාරි 3 වැනිදා ඉන්දු චීන කොමියුනිස්ට් පක්ෂය ඔහු ආරම්භ කළ අතර එය පසුව වියට්නාම් කම්කරු පක්ෂය සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය යනුවෙන් හඳුන්වනු ලැබීය. හෝ චි මිං විසින් ජාතියට නව මඟක් සෙවීමේ කාර්යය අරඹන ලදී. විද්‍යාත්මක සමාජවාදී දැක්ම තුළින් අධිරාජ්‍යවාදයේ සහ යටත් විජිතවාදයේ ස්වරූපය පිළිබඳවත් වියට්නාම් සමාජ ව්‍යුහයේ අන්තර්ගත පන්ති හා සමාජ ස්ථරයන් ගැනත් ජනතාව දැනුවත් කෙරිණි. වියට්නාම් ජාතික ව්‍යාපාරය ජාතික මුක්ති අරගලය සමග මුලින්ම බද්ධ විය යුතු බවත් අනාගත සමාජය සමාජවාදී බවට පරිවර්තනය කළ යුතු බවත් වියට්නාම් ජනතාවට වටහා දුන්නේය.

යටත් විජිත ජනතාව අත්විඳින්නා වූ විවිධ ප්‍රශ්න පිළිබඳව විවිධ සඟරාවන්වලට හා පුවත්පත්වලට 1920 දී පමණ ලිපි ලේඛන ඔහු විසින් සපයන ලදී. යටත් විජිතවාදය හෙළා දකිමින් ඔහු ලිපි ලිවීය. 1931 හොංකොංවල වික්ටෝරියා සිරගෙදර සහ 1942 සිට 1943 දක්වා අනාගත වියට්නාම් ජනාධිපති චීනයේ විවිධ සිර කඳවුරු 18 ක සිරගත වී සිටියේය. ඔහු චීනයට රහසිගතව ඇතුළු විය. එහිදී ඔහුව හඳුන්වනු ලැබුවේ හෝ චි මිං යන නමිනි. පසුව ඔහු එම නමින් දිගටම පෙනී සිටියේය. ඔහුගේ මුල් නම න්ගුයෙන් අයි ක්වාක්ය. 1941 මැයි 19 දා ඔහුගේ 51 වන උපන් දිනය දා වියට්නාමය නිදහස් කර ගැනීමේ “වියැට් මින්” නම් සංවිධානය පිහිටුවනු ලැබීය.

1945 අගෝස්තුවලදී මෙම සංවිධානය විසින් වියට්නාමය පුරා අවිගත් ප්‍රතිවිරෝධතා ව්‍යාපාර ආරම්භ කරනු ලැබීය. 1945 ප්‍රංශ යටත් විජිත විරෝධි අගෝස්තු විප්ලවයේ ජයග්‍රහණය වීමත් සමග සැප්තැම්බර් 2 දා හෝ චි මිං විසින් බා ඩින්ග් චතුරස්‍රයේ (විරුවන්ගේ චතුරස්‍රය) වියට්නාම් නිදහස් ප්‍රකාශනය ප්‍රසිද්ධියට පත් කරන ලදී. ඔහුගේ දේශනය ආරම්භ කරන ලද්දේ සියලු ජාතීන්ට නිදහස හා සමානාත්මතාව හිමිය යන අදහසින් කළ ප්‍රශ්නයකින්ය. මම කිවූ දේ ඔබට පැහැදිලිද? මෙයට සහභාගි වූ අයට මෙම දේශනය කවදාවත් අමතක කළ හැකි නොවනු ඇත. මෙහිදී ප්‍රතිපත්ති පිළිබඳව ඔහු වැඩි අවධානය යොමු කරන ලදී. හෝ චි මිං හැමවිටම ජනතාවගේ ජීවන මට්ටම උසස් කරලීමටත්, ඔවුනගේ අධ්‍යාපන උසස් කිරීමටත්, කාලය වැය කළේය. තම රටේ ආර්ථික මට්ටම උසස් කරලීමට ජනතාව උනන්දු කළේය. සියලු ජනවර්ගවල ජාති හිතෛෂි භාවයෙන් ජාතික සමගියෙන් ජීවත් වීමට ජනතාව උනන්දු කළේය.

ප්‍රංශ යටත් විජිතවාදීහු නැවත වරක් වියට්නාමය අත්පත් කර ගැනීමේ අරමුණින් 1946 දී යුද්ධයක් ඇරඹුවේය. ළඳරු වියට්නාම් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවට හා ජාතික නිදහස රැක ගැනීම සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති හෝ චි මිං වියට්නාම් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. නිදහස හා ජාතික ස්වාධීනත්වය තරම් වටිනා අන් දෙයක් නැත ඔහු ප්‍රකාශ කළේය. හත් වසරක් පැවැති දේශප්‍රේමි යුද්ධය 1954 ඩියන් බියන් පූ නගරයේදී මහා කාහල නාදයෙන් ජයග්‍රහණය කළ අතර ප්‍රංශ හමුදා මුළු ඉන්දු චීනයෙන්ම පිටව ගියහ.

1954 ජිනීවා සම්මුතිය අනුව ලාඕසය හා කාම්බෝජයට නිදහස ලැබූ අතර, බෙන්හායි ගඟේ 17 වන සමාන්තර රේඛාවෙන් වියට්නාමය උතුරු වියට්නාමය හා දකුණු වියට්නාමය යනුවෙන් බෙදා වෙන් කරන ලදී. ඒ අනුව 1956 දී වියට්නාමයේ මැතිවරණයක් පවත්වා යළි එක්සත් කිරීමට නිර්දේශ විය. එම මැතිවරණයට දකුණු වියටිනාමය ඇමරිකානු හිතවාදී පාලනය විරුද්ධ විය. වියටිනාම් ජනතාවට දෙයාකාර අරගලයක නිරතවීමට සිදුවිය. ජනාධිපති හෝ චි මිංගේ මඟ පෙන්වීම අනුව උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය රැකගැනීමත් දකුණු වියට්නාමය ඇමරිකාවේ නව යටත් විජිතවාදයෙන් මුදා ගැනීමේ දීර්ඝ විමුක්ති යුද්ධයට ජනතාවට මඟ පෙන්වන ලදි. 1969 සැප්තැම්බර් 2 වැනිදා හෝ චි මිං මිය ගියේය. එයින් අවුරුදු 6 කට පසුව 1975 අප්‍රේල් 30 වැනිදා වියට්නාම් විමුක්ති හමුදාව බලගතු ඇමරිකානු හමුදාව පරාජය කොට හෝ චි මිංගේ අවසන් කැමති පත්‍රයේ ඉල්ලීමට අනුව වියටිනාමය යළි එක්සත් කළේය. 1969 දී මෙම දේශප්‍රේමියා මිය යෑමට දින කිහිපයකට පෙර පැවසුවේ මගේ මුළු ජීවිතයම රට වෙනුවෙන් හා ජාතික විමුකිතිය වෙනුවෙන් කැප කළෙමි. මේ අවසන් මොහොතේ මට තිබෙන කනගාටුව එම සේවය තවදුරටත් කරගෙන යෑමට නොහැකි වන එක පිළිබඳවයි.

හෝ චි මිං 1911 වියට්නාමයේ සිට ප්‍රංශය බලා යන ගමනේ දී ලංකාවට ද ගොඩබැස කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පිහිටි කොලෝනියල් හෝටලේ දිනක් ගත කළේය. 1923 ආපසු වියට්නාමය බලා යන ගමනේදී නැවතත් ලංකාවට පැමිණ ටික දවසක් නතර වී ඇත. අවසන් වශයෙන් 1946 දී වියට්නාම් ජනාධිපති ලෙස ප්‍රංශයට යන අතර ලංකාවට පැමිණ නුවර සංචාරය කොට පේරාදෙණිය උද්භිත උද්‍යානයේ මල් පැළයක් රෝපණය කර ඇත. හෝ චි මිං වියට්නාම් ජනතාවගේ පමණක් නොව නිදහස් ජාතික විමුක්තිය සඳහා අරගල කළ ජාතීන්ගේ ගෞරවයට ආදරයට පත් නායකයෙකි. යටත් විජිතවල ජීවත්වූ සියලු විමුක්තිකරුවන්ගේ නායකයා ය. නිදහස හා ස්විධීනත්වය තරම් අන්වටිනා දෙයක් නැත. හෝ චි මිං ගේ ශ්‍රේෂ්ඨ කියමන සකල දේශවාසී නිදහස් කාමීන්ගේ හා විමුක්ති කාමීන්ගේ හදවත්වල සටහන් වී ඇත.

එස්. සුදසිංහ
ලේකම් ශ්‍රී ලංකා වියටිනාම් සහයෝගිතා සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment