අධිවේගී හැදුණ රටේ වැල් පාලමේ මරු හා සටනක

160

කොත්මලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කොත්මලේ, හරංගල හා නායපාන යන ගම්මාන යාකෙරෙන කොත්මලා ඔය හරහා පිහිටි අඩි 350ක් පමණ දිගින් යුත් ඔරුතොටවත්ත වැල් පාලමේ ලෑලි දිරාගොස් කම්බි කැඩී අබලන් තත්ත්වයෙන් දැඩි අවදානම්ව පවතී.

පාලම අබලන් වී වසර ගණනාවක් ගතවී ඇතත් කිසිදු වගකිවයුතු බලධාරියකු පාලම පිළිසකර කර දීමට මෙතෙක් පියවර ගෙන නැතැයි ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති.

 කොත්මලේ-නාවලපිටිය ප්‍රධාන මාර්ගවලට පිවිසීමට හරංගල ගම්මානයේ පවුල් 400 ක පමණ ජනතාව සහ පාසල් දරුවන් භාවිත කරන ප්‍රධාන හා කෙටිම මාර්ගය මෙය වේ. විකල්ප මාර්ගයක් ලෙස කොත්මලේ ජලාශ වේල්ල මතින් වැටී ඇති මාර්ගය තිබුණද එම මාර්ගය විවෘතව තිබෙන්නේ සෑම දිනකම පෙ.ව. 06.00 – ප.ව. 06.00 දක්වා පමණි. රාත්‍රී කාලයේ ආරක්ෂක හේතූන් මත මාර්ගය වසා දමන බව පවසන ජනතාව, එම මාර්ගයේ කිලෝ මීටර් 03 ක් පමණ ගමන් කිරීමට සිදුව ඇති බව ද කියති. අලුයම 03.00 සිට උපකාරක පන්ති හා දුර බැහැර ගමන් කරන ළමයින් ඇතුළු මගී ජනතාවට ගමන් කිරීමට ඇති එකම මාර්ගය වන්නේද මෙම පාලම් මාර්ගයයි.

 කොත්මලා ඔයේ වැසි කලට විශාල ජල කඳක් ගලා බසින බවත්, මෙම අබලන් පාලම පිහිටි ස්ථානයේ ඔය ගැඹුරු තැනක් වීම නිසා පසුගිය කාලයේ අවස්ථා කීපයකදී පුද්ගලයින් කීප දෙනකු පාලමෙන් ඇදවැටී අසාධ්‍ය තත්වයෙන් දිවි බේරාගත් ඇති බව ජනතාව පවසති. ජීවිත අවදානමක ඇති මෙම අබලන් පාලම වෙනුවට නව පාලමක් ඉදිකර දීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment