සෙවනගල සීනි සේවකයන්ට සහ ගොවීන්ට හිමි ලාභාංශ ලබා දෙනවා

47

වෘත්තිය සමිති නායකයන් කියන කතා බොරු – සෙවනගල සීනි ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කැළුම් ප්‍රියංකර

සෙවනගල සීනි ආයතනයේ සේවකයට වගේම ගොවියටත් හිමි ලාභාංශ නියමිත පරිදි දෙන්න අමාත්‍යවරයා ඇතුළු පාලනාධිකාරිය කටයුතු කරමින් ඉන්නවා. වෘත්තිය සමිති නායකයන් කියන කතා බොරු.

සෙවනගල සීනි ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කැළුම් ප්‍රියංකර කියයි.

සෙවනගල සීනි ආයතනයේ ජීවය හා ජීවනාලිය ගොවියා සහ සේවකයා බවත්, ඔවුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත හැකි සියලුම තීන්දු තීරණ දිලුම් අමුණුගම අමාත්‍යවරයා ඇතුළු පාලනාධිකාරිය ගනිමින් සිටින බවත්, එනිසා මේ වෙලාවේ ගොවියන් හා සේවකයන් උසිගන්වමින් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා කරන ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත් සෙවනගල සීනි ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කැළුම් ප්‍රියංකර මහතා ඊයේ (10දා) පෙරවරුවේ පැවසීය.

මෙතෙක් ලාභාංශ නොගෙවීමට විරෝධය පළ කරමින් සෙවනගල සීනි ආයතනයේ සේවකයන් උක් ඇඹරීම තාවකාලිකව නැවතීම හා සේවක විරෝධතාවය හේතුවෙන් උක් ගොවීන්ගේ අස්වනු සීනි ආයතනයෙන් මිලදී නොගැනීම නිසා ඇති වූ විරෝධතාවය පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී සෙවනගල සීනි ආයතනයේ ඇති වූ තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ කැළුම් ප්‍රියංකර මහතා මෙසේද පැවසීය.

සෙවනගල සීනි සේවකයන්ට සහ ගොවීන්ට හිමි ලාභාංශ ලබා දෙනවා

සෙවනගල සීනි ආයතනය කියන්නේ ගොවියන්ගේ හා සේවකයන්ගේ ජීවනාලිය බඳු ආයතනයක්. පසුගිය 2022 වසරට අදාළව පවා සේවකයන් වෙනුවෙන් හා ගොවීන් වෙනුවෙන් බෝනස් ගෙවීමට ගිය අවස්ථාවේදීත් ඔවුන්ට හිමිව තිබූ බෝනස් මුදලට වඩා දෙගුණයක බෝනස් මුදලක් ගෙවීමට එවකට සිටි අමාත්‍යවරයා සමග සාකච්ඡා කර මා විසින් කටයුතු කළා. මේ වසරෙදීත් ගොවියට වගේම සේවකයාටත් ගෙවිය යුතු ලාභාංශ ගෙවීමට අදාළ කටයුතු සිදුවෙමින් තිබෙනවා. මේ සඳහා යම් ක්‍රියාවලියක් සම්පූර්ණ කළ යුතුව තියෙනවා. මේ ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හා අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ නිර්දේශ ලැබුණු වහාම ගෙවීමට අදාළ කටයුතු කළ හැකියි. එහෙම නැතිව වෘත්තීය සමිති කියන විදියට එක රැයෙන් මේ ගෙවීම කරන්න බෑ. මගේ පුද්ගලික මතය වෙන්නෙත් ගොවියට වගේම සේවකයට හිමි ලාභාංශ ගෙවිය යුතුයි කියලයි. එය සිදුවෙමින් පවතිනවා. ඉතින් ලාභාංශ ගෙවන්න දින කිහිපයක් පරක්කු වුණා කියලා සේවකයන් සේවයෙන් ඉවත් වෙනවා කියන්නේ මේ ආයතනය කඩාගෙන වැටෙනවා කියන එකයි. එහෙම වුණාම එහි පාඩුවත් මේ සේවකයටම තමයි එන්නේ. ඒ නිසා සේවකයා පළමුවෙන්ම කළ යුතු වන්නේ උක් ඇඹරීම නිසි පරිදි ආරම්භ කිරීමයි. සේවක විරෝධතාවය නිසා උක් ගොවියා දැඩි අසරණ වෙලා තිබුණා. උක් ගොවීන් සේවකයන්ට හා පාලනාධිකාරියට විරෝධය පා විරෝධතාවයකුත් පැවැත්තුවා. අමාත්‍යවරයා ඇතුළු පාලනාධිකාරිය සේවකයට වගේම ගොවියටත් ලාභාංශ දිය යුතු ආකාරය පිළිබඳව කටයුතු සිදුකරමින් තිබියදී තමයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා සේවකයන් උසිගන්වලා මේ විදියට උක් ඇඹරීම නවතා දැමීමට කටයුතු කර තිබෙන්නේ. මේ අවස්ථාවේ මා ඉන්නේ රැසියාවේ පැවැත්වෙන ලෝක තරුණ සමුළුවට සහභාගි වෙලයි. ලංකාවට මම ආව සැනින් සේවකයාට හා ගොවියාට ලැබිය යුතු ලාභාංශ ගෙවීමට අදාළව අමාත්‍යවරයාගෙන් ලැබෙන නිර්දේශ මත සිදුකළ යුතු සියලුම කටයුතු කරනවා.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment