ගම්පහ ඉඳිගොල්ල මත්කුඩු රාජධානියේ ‘අයියා’ වලානෙන් අල්ලයි

369

වසර 60ක සිරදඬුවම් : වසර 10ක් විඳ නිදහස් වුණු අයෙක්

ගම්පහ, ඉඳිගොල්ල ප්‍රදේශයේ නිවසක සිය මත්ද්‍රව්‍ය ගබඩාව පවත්වාගෙන යමින් හෙරොයින් ජාවාරමේ යෙදුණු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘අයියා’ නමින් හඳුන්වන පුද්ගලයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් ඊයේ (25දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරම්කරු සතුව තිබී හෙරොයින් තොගයක්, බැංකු කාඩ්පත් 7ක්, ජංගම දුරකථන 10ක්, රුපියල් කෝටියකට අධික වටිනාකමෙන් යුත් මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙම ජාවාරම්කරු අධිකරණයේ විභාග වූ නඩු 187ක් සඳහා වසර 60ක සිරදඬුවම් ලැබ වසර 10ක් එම දඬුවම ගෙවාදමා නිදහස ලබා පැමිණි අයෙකි.

බන්ධනාගාරයේදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දැන හඳුනාගෙන පැමිණ ඇති ‘අයියා’ නමින් හඳුන්වන මෙම ජාවාරම්කරු ඔහු සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇත.

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මොහු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී තිබේ. මීට දින කීපයකට පෙර මොහුට අයත් රුපියල් කෝටි 3කට අධික මත්ද්‍රව්‍ය වලාන දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ‘අයියා’ නමැති මෙම ජාවාරම්කරු පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment