විපක්‍ෂයට ආණ්ඩුව සමග කටයුතු කර ලබාගන්නා පළපුරුද්දෙන් ආණ්ඩු බලය ලබාගැනීමට හැකියි

79

ජනපති මාතලේදී කියයි

රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

නමුත් විපක්ෂය සිතන්නේ තමන් ගැන පමණක් බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම බවත්, ආණ්ඩුව සමඟ කටයුතු කර ලබාගන්නා පළපුරුද්ද අනුව ඊළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ලබාගැනීමට ඔවුන්ට උත්සාහ කළ හැකි බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සමඟ පෙරේදා පස්වරුවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති හමුවේදීය. මාතලේ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ කම්කරු කොංග්‍රසයේ පළාත් පාලන නියෝජිතයන් මීට එක්ව සිටි අතර තමන් මුහුණදී සිටින ගැටලු‍ පිළිබඳව ඔවුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ. එම ඇතැම් ගැටලු‍වලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය.

පසුගිය ආර්ථික අභියෝගය හමුවේ රට භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර ආණ්ඩු පක්ෂයේ ඉල්ලීම මත තමන් එම අභියෝගය භාරගත් බව පැවසු ජනාධිපතිවරයා එහිදී රටේ සියලු‍ දේශපාලන පක්ෂ තමා වෙත ලබාදුන් සහායද කෘතවේදීව සිහිපත් කළේය. එසේ බාර ගත් රට නිවැරදි දිශානතියකට යොමු කරමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට හැකිවූ බවත්, වසර පහක් යනතුරු ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට නොහැකියැයි විපක්ෂයේ දේශපාලඥයන් පැවසුවත් මාස 16ක් වැනි කෙටි කාලයක් තුළ බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීමට හැකි වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ආර්ථික අර්බුදයේදී විපක්ෂයේ දේශපාලඥයන් ආණ්ඩුවට සහයෝගය දැක්වූවා නම් මීට මාස කිහිපයකට පෙර රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට හැකිව තිබූ බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ පැසසුමට ලක් කළ අතර ඉදිරියේදී එම වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබාදෙන බවද කියා සිටියහ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මධ්‍යම පළාත් සභා සභාපති එල්.ඩී.නිමලසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment