වල් අලි පහරින් ගිරිතලේ මෛත්‍රී හිමියෝ අපවත් වෙති

755

පොලොන්නරුව සෝමාවතිය මාර්ගයේ සුංගාවිල වනජීවී බීට්ටු කාර්යාලය ආසන්නයේ දී ඊයේ (05 දා) අලුයම 3.45ට පමණ වන අලියකු පහරදීමෙන් හිමිනමක් අපවත් වී ඇතැයි පුලස්තිපුර පොලිසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සෝමාවතිය සෑරදුන් වන්දනා කිරීම සඳහා ගම්පහ දොම්පේ ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක සිට වැඩම කළ ගිරිතලේ මෛත්‍රී නමැති 40 හැවිරිදි හිමි නමකි.

මෙම ස්වාමීන්වහන්සේ ඇසළ පුරපසළොස්වක පොහෝ දිනයේ සෝමාවතිය පුදබිම වෙත වැඩම කර ඊයේ (05 දා) අලුයම ආපසු පාගමනින් සුංගාවිල දෙසට එමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බව පොලිසිය සිදුකළ මූලික පරීක්‍ෂණවල දී අනාවරණය වී තිබේ.

උන්වහන්සේගේ දේහය හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා පොලොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත ඊයේ (05 දා) උදේ රැගෙන එනු ලැබීය.

පුලස්තිපුර පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment