කුලවාදය නිසා උපන් බිමත් අහිමි වෙන මුහුදු වැද්දො

330
වැදි නායක නඩරාජා කනගරත්නම්

වනසංරක්‍ෂණ, වනජීවී නිලධාරීන් මුහුදු වැදි ජනතාවට මහ කැලෑව තහනම් කරලා…
මුස්ලිම් මිනිස්සු ධීවර රස්සාව කරන්න දෙන්නෙ නෑ…
හිඟා කන්න යන අපේ කාන්තාවන්ට වැදි මිනිස්සු කියලා හිඟමන් දෙන්නෙ නෑ…
ආගම් ප්‍රචාරණය කරන කණ්ඩායම්වලින් අපේ ගමේ මිනිස්සුන්ට හරි කරදර…

ඒ ගමන දුෂ්කරය. නැඟෙනහිර පළාතේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඈත කෙළවරක පිහිටි නල්ලූර් ගම වෙනම කොදෙව්වක් වැනි ය. ගමට යෑමට හරි හැටි මාර්ග පහසුකම් හෝ නැත. තෝප්පූර්වල සිට නල්ලූර් ගමට ඇති දුර කිලෝ මීටර් දහයකට අඩු ය. එහෙත් එම මාර්ගය කැඩී, බිඳී ගොස් මහ වළ ගොඩැලි ගොඩේ වාහනයක් ධාවනය කිරීම ද අපහසු ය. පාපැදියක් හෝ ගමන් කිරීමට නොහැකි තරම් ය. වැසි කාලයට ඒ මඟෙහි මිනිසුන්ට දෙපයින්වත් ගමන් කිරීමට නොහැකි ය. එහෙත් මඩකලපුව, ලංකා පටුන මාර්ගයෙන් නල්ලූර් ගමට ඇති දුර ප්‍රමාණය බෙහෙවින්ම වැඩි බැවින් එගම්වාසීන් බොහෝවිට නගරයට යෑමට තෝරාගනුයේ වැස්සට වාරිමාර්ගයක් වන නල්ලූර් – තෝප්පූර් පාර ය.

එහෙත් අපි මඩකලපුව මාර්ගයේ ලංකා පටුන හන්දියෙන් වමට හැරුණු පාර දිගේ නල්ලූර් ගමට ගමන් කළෙමු. එම මාර්ගයෙහි කැඩුණු බෝක්කුවේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසාන වෙන්න කාපට් ඇතිරූ පුළුල් පාරකි. ගැටලුව ලංකා පටුන හන්දියේ සිට නල්ලූර් ගමට බස් ධාවනය නොවීම ය. එම දුර ප්‍රමාණය කිලෝ මීටර් පහළොවකට වැඩිය. ඒ දුර ප්‍රමාණය ද දෙපයින් ඇවිඳ යන ගම්වාසීන් නල්ලූර් ගමේ සිටින බව අපට කීවේ නඩරාජා කනගරත්නම් ය. හේ රැයේ නායකයා ය. දුර ගමනක් පැමිණි අපි කනගරත්නම්ගේ නිවස ඉදිරිපිට පොල් රුප්පාව යට ගිමන් හරිමින් සිටිමු.

ඉර අවරට හැරුණ ද අවට තවමත් ගිනියම් ය. ගත පුරා දහඩිය බේරෙන ගාණය. එහෙත් ගිනියම් වූ මහා පාරේ මිනිසුන් ඇවිද යන අයුරු ඇස ගැටිණි. ඉඳහිට ධාවනය වූ මහ ට්‍රැක්ටර්වල ගැහැනු, පිරිමි එක ගොඩේ තෙරපෙමින් ගමන් කළේ වෙනත් ප්‍රවාහන මාර්ගයක් ඒ ගමට නොමැති නිසා ය. ගමන්, බිමන් යෑමට නල්ලූර් ගමේ මිනිසුන්ට ඇති අපහසුතාවයට වඩා දුෂ්කරතාවයක් කනගරත්නම්ලා සමග කතා කිරීමේ දී අපට විඳින්නට සිදු වූ බව ද සැබෑ ය. ඒ කනගරත්නම්ලාට සිංහල වචනයක් හෝ කතා කිරීමේ හැකියාව නොතිබුණු නිසා ය. ඔවුන්ගේ භාෂාව දෙමළ ය. එහෙත් උතුර, නැඟෙනහිර දෙමළ සමාජයේ පවතින උග්‍ර කුල වාදය විසින් නල්ලූර් වැසියන්ව වැදි ජන කොට්ඨාසයක් ලෙස හංවඩු ගසමින් කොන් කර තිබේ. ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඉඩම් කොල්ලකමින් ඒ අසරණ ජන කොට්ඨාසය දැඩි ලෙස පීඩාවට පත්කර තිබෙන බව ද අපට දැනගැනීමට ලැබිණි. දුර කතර ගෙවාගෙන අප මේ ගමන ආවේ හඬ යටපත් කර තිබෙන නල්ලූර් ගමේ ජීවත් වන ‘මුහුදු වැදි ජනතාවට’ හඬක්වීමට ය. දැන් අපි ඒ පීඩිත හඬට සවන් දී සිටිමු. දුක කියනුයේ රැහේ නායකයා ය. නඩරාජා කනගරත්නම් ය.

සරොම් කඩමල්ලක් ඇඳ උඩුකය නිරුවත්ව සිටි හේ කළු, මිටි තරබාරු කෙනෙකි. ජන්මයෙන් උරුම වූ දේහ ලක්‍ෂණ ද කරේ එල්ලාගෙන සිටි පොරෝ කෙටිය හැරුණුකොට මුහුදු වැද්දන් ලෙස වෙන් කර හඳුනාගැනීමට වෙනත් කිසිදු ලක්‍ෂණයක් ඔහු තුළින් ජනිත නොවිණි. ඔහු තුළින් අප දුටු වෙනස නම්, සරලකමය. ජන කොට්ඨාසයක නායකයෙක් වුවද ඔහු සහ දරු පවුල අදට ද ජීවත්වනුයේ පුංචි නිවසකය. නඩරාජා දියණියන් සිව් දෙනකුගේ පියෙකි. මේ වෙනකොට දියණියන් සිව්දෙනාම දීගතල ගොස් තිදෙනෙක් වෙනත් ප්‍රදේශවල පදිංචියට ගොස් සිටිති. මව, පියා රැකබලාගෙන මහගෙදර ජීවත්වනුයේ වැඩිමහල් දියණියයි. ඇය ද දෙදරු මවකි. ඔවුන් මෙන්ම අප වටා රැස් වී සිටින සහ මඟ තොටේ දකින ආදිවාසී මිනිසුන්ගේ ද කිසිදු වෙනසක් නැත. සාමාන්‍ය දෙමළ මිනිසුන් මෙන්ම ඇඳුම්, පැළඳුම්වලින් සැරසී සරල දිවිපෙවෙතක් ගත කරන අයුරු අපට පෙනිණි. වැදි නායකයාගේ හඬ ඉස්මතු විය. අපගේ දෑස් ඔහු අසල නතර විය.

“ඉස්සර ම අපි ජීවත් වුණේ මුතූර්වල. මේ ගමට ආවේ 1972 අවුරුද්දෙ. ත්‍රස්තවාදී කරදර දැඩි වෙනකොට 2006 අවුරුද්දෙ ගමෙන් ගියා. ඊට පස්සෙ ගමට ආවේ 2009 අවුරුද්දෙ. ඒ එනකොට අපිට තිබුණු ගෙවල් දොරවල්, ඉඩකඩම් මොනවත් නෑ. සේරම මුස්ලිම් මිනිස්සු අයිති කරගෙන. කූඩාරම් දීලා අපිව පදිංචි කරවලා උල්ලකුලම් වැවේ ප්‍රතිසංස්කරණ වැඩ ඉවර වුණාට පස්සෙ කැමැති භූමි ප්‍රමාණයක් එළිපෙහෙළි කරගෙන වගා කරන්න රජයෙන් අවසර ලබා දුන්නා. ඒත් මුස්ලිම් මිනිස්සු අපිට වගා කරන්න ඉඩම් දෙන්නෙ නෑ. සියලුම ඉඩම් ඒ මිනිස්සු අල්ලගෙන වගා කරනවා. අදාළ නිලධාරීන් අපිට ඉඩම් ලබාදෙන්න කටයුතු කරන්නෙත් නෑ. සමහර මුස්ලිම් මිනිස්සු ඉඩම් අල්ලගෙන පල්ලිකුඩුප්පු ගමේ දෙමළ මිනිස්සුන්ට සල්ලිවලට විකුණලා තියෙනවා. ප්‍රසිද්ධ මුස්ලිම් දේශපාලනඥයෙක් අපේ ගමේ ඉඩම් අක්කර ගාණක් බලහත්කාරයෙන් අල්ලගෙන මැනලා, මායිම් ගල් දාලා මුස්ලිම් කොම්පැනියකට දීලා තියෙනවා. දැන් ඒ පැත්ත පළාතකට අපේ මිනිස්සුන්ට යන්න දෙන්නෙ නෑ. මුහුද අයිනෙ නිරවුල් ඔප්පු සහිත ඉඩම් අදටත් අපේ මිනිස්සුන්ට තියෙනවා. දැන් ඒ ඉඩම්වලටත් හොර ඔප්පු හදාගෙන මුස්ලිම් මිනිස්සු පිට අයට විකුණනවා. අපේ එක ගමක සුසාන භූමියත් මුස්ලිම් මිනිස්සු කොටු කරගෙන වගා කරලා. දැන් ඒ ගමේ කෙනෙක් මැරුණම වළ දාන්නවත් තැනක් නෑ. දැනට අපේ මිනිස්සුන්ට අයිතියක් තියෙන්නෙ ජීවත් වෙන අක්කර බාගයට විතරයි…” මුහුදු වැදි ජනතාවගේ ගැටලු මල්ල දිගහැරිණි.

කුලවාදය නිසා උපන් බිමත් අහිමි වෙන මුහුදු වැද්දො
නල්ලූර් ගමේ පවුලක් ජිවත් වන නිවසක්

මුහුද ආශ්‍රිත ජීවත්වන ආදිවාසී ජනතාවගේ ප්‍රධාන වෘත්ති ධීවර රස්සාව ය. මහ කැලයට වැදී මී කැඩීම ඔවුන්ගේ අමතර රැකියාවකි. දුර කතර ගෙවාගෙන කන්තලේ මහා කැලෑවට ඇතුළු වී මී කැඩූ කාලයක් ද ඔවුන්ට තිබුණු බව වැදි මිනිස්සු අප ඉදිරියේ සිහිපත් කළහ. වනජීවී, වන සංරක්‍ෂණ නිලධාරීන් කැලයේ බලය තර කිරීමත් සමග කන්තලේ මහා කැලෑව වැදි ජනතාවට තහනම් කලාපයක් වී තිබේ. එහෙත් ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල මහ කැලෑව සහ ඒ අවට වන රක්‍ෂිතවලට ඇතුළු වී මී කැඩීම ආදිවාසි මිනිස්සු අමතර ආදායමක් මාර්ගයක් කරගෙන සිටිති. දින ගණන් මහ කැලෑවේ ජීවත් වෙමින් මී කඩාගෙන පැමිණ මී පැණි බෝතල් කර විකණීමට මුතූර් නගරයට රැගෙන ගිය ද මුස්ලිම් ව්‍යාපාරිකයන් තුට්ටුවට දෙකට ගැනීමට උත්සාහ කිරීම නිසා නල්ලූර් ගමේ ගෙවල්වල මී පැණි පරණ වන බව ද ආදිවාසී මිනිස්සු අපට පැවසූහ. එක නිවසක මී පැණි බෝතල් හැට ගාණක් ගොඩ ගසා තිබෙන අයුරු ද අපට පෙන්නුවේය. සාධාරණ මිලක් නොමැතිව මී පැණි පරණ වෙන තත්ත්වයක, මුහුදු වැදි ජනතාවට මහ වනය තහනම් කලාපයක් වනවිට, මුහුදු රස්සාව කරගෙන පනම් හතරක් සොයාගැනීමට මුස්ලිම් ධීවරයෝ ඉඩ ලබානොදෙන පසුබිමක තම රැහේ උන් අන්ත අසරණ තත්ත්වයට පත් වී සිටින බව කනගරත්නම් ඇතුළු ආදිවාසීහු අපට කීහ. වැල්ලෙ ඉදිකරන පොල්අතු මඩු කඩා බිඳ විනාශ කරන මුස්ලිම් මිනිසුන් වෙරළට ගාල් කර තිබෙන ඔරු ගිනිබත් කරන තරමට තිරිසන් ජාතියක් බවට පත් වී සිටින බව ඔවුන් කියා සිටියේ හිත් වේදනාවෙනි.

“අපේ මුහුදු සීමාවේවත් රස්සාව කරගන්න ඉඩ දෙන්නෙ නෑ. පිටගම්වල මුස්ලිම් ධීවරයො ගෙනත්, අපිට පාට් එක දාගෙන ඒ අය රස්සාව කරනවා. මුතූර් ප්‍රාදේශීය ලේකම් විදිහට ඉන්නෙත් මුස්ලිම් ජාතිකයෙක්. ඒ මනුස්සයත් අපේ ධීවර සමිතියට ලැබෙන දේවල් වෙනත් ගම්වල මුස්ලිම් ධීවර සමිතිවලට ලබාදෙනවා. අපිට මොකුත් දෙන්නෙ නෑ. යුද්දෙ පටන් ගන්න ඉස්සෙල්ලා මේ පැත්ත පළාතක මුස්ලිම් මිනිස්සු ජීවත් වුණේ නෑ. ඒත් දැන් ඒ මිනිස්සු කියන්නෙ පෙකණිවැල කැපුවෙත් මේ ගමේ කියලා. කාට කියන්න ද නීතිය, දේශපාලන බලය සේරම ඔවුන්ට සපෝර්ට්. අපි කියන දේට කවුරුවත් ඇහුම්කන් දෙන්නෙ නෑ. පහුගිය කාලේ සහාරන් ඇවිත් මේ ගම්වල මුස්ලිම් මිනිස්සුන්ට ළිං හදා දුන්නා. ඒ සෑම ළිඳකම කියතයි, තල් ගස් දෙකයි ලකුණු කරලා තිබුණා. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ මුස්ලිම් මිනිස්සු ඒ ලකුණු මකලා දාලා ඉඩනුත් විකුණුවා. ඒ වගේම උප්පුරාල් ගමේ සහාරන් පුහුණු කඳවුරක් පවත්වාගෙන ගිහින් තියෙනවා. අදටත් මේ ගම්වල මුස්ලිම් මිනිස්සුන්ට සහාරන් නායකයෙක්…” කාලයක සිට නල්ලූර් ආදිවාසී ජනතාවගේ සිත් තුළ කෑකරෙන වේදනවා ගිනි බෝල මෙන් පිට කරන අයුරු අපට දැනේ.

පෙළගැසෙන කතාවට අනුව මුහුදු වැදි ජනතාව තරම් පීඩාවට පත් වූ ආදීවාසී ජන කොට්ඨාසයක් මෙරට නොමැති බව සැබෑය. උතුර, නැඟෙනහිර පැවැති තිස් අවුරුදු සාපලත් ත්‍රස්තවාදී යුද්ධයේදී ද ඔවුහු ඍජු ගොදුරු බවට පත් වූහ. යුද්ධයේ අවසාන භාගයේ කොටි ත්‍රස්තවාදීන් එක පිට එක මියැදෙනවිට වැදි තරුණ, තරුණියන්ව බලහත්කාරයෙන් යුද්ධයට සම්බන්ධ කරගෙන තිබිණි. යුද්ධයට බඳවා ගත්ත ද එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ ද වැදි ජනතාව පහත්කොට සලකා ඇති බව වැදි නායකයා අප සමග පැවසුවේය. යුද්ධයට රැගෙන ගිය බහුතරය මිය ගොස් ඇති බවත් ජීවත් වන කිහිපදෙනා ගම අතහැර ගොස් සිටින බව ද හේ පැවසීය.

“යුද්දෙ කාලෙ සෑම තත්පරයක්ම අපි ගත කළේ මරණ බයෙන්. ජීවිතය ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නෑ. හමුදාව ගමට ආවත් අපි කැලේට දුවනවා. එල්.ටී.ටී.ඊ.ය ආවත් කැලේට දුවනවා. දෙපාර්ශ්වයෙන්ම කිසිම උපකාරයක් අපිට ලැබුණේ නෑ. ෂෙල් වෙඩි, ආටි නිතර, නිතර වැටෙනකොට ගම අතහැරලා වාකරේ දිහාට ගියා. කොහේ ගියත් අපිට සරණක් ලැබුණේ නෑ. යුද්දෙ ඉවර වුණා කියලා වෙනසකුත් නෑ. යුද්දෙන් පස්සෙ දෙමළ, මුස්ලිම් ගම්මානවල පවුල්වලට රජයෙන් අලුත් නිවාස ලබාදුන්නා. සමහර පවුල්වලට නිවාස හදාගන්න ආධාර මුදල් ලබාදුන්නා. අපේ ගමේ පවුල් හතරකට විතරයි නිවාස හදා දීලා තියෙන්නෙ. අනිත් සියලුම නිවාස හදා දුන්නෙ රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධානවලින්. අදටත් වැටිලා ඉන්න හරි හැටි නිවාසයක් නැති පවුල් අපේ ගම්මානවල අනන්තවත් ඉන්නවා. අපි මේ ගේ කෑල්ල හදාගත්තෙත් දුව පිටරට ගිහින් හම්බ කරලා එවපු සල්ලිවලින්. ආදිවාසී නායකයෙක් කියලා රජයෙන් ඉඳිකට්ටක දෙයක් මට ලැබිලා නෑ. මට විශේෂයක් අවශ්‍යත් නෑ. අපේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට රජය ඇහුකන් දෙනවා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. අදටත් අපේ මිනිස්සුන්ට වැහි කාලයට නිවාසවල ඉන්න බෑ. උල්දිය දාලා නිවාස තෙත බරිත වෙනවා. ඒ නිසා ගමේ බොහෝ පවුල්වල මිනිස්සු වැහි දවස්වලට රැය පහන් කරන්නෙ ඉස්කෝලේ. ඒත් අපේ මිනිස්සු රජයෙන් ගෙවල්, දොරවල් ඉල්ලන්නෙ නෑ. රස්සා ඉලන්නෙ නෑ. අපේ මිනිස්සුන්ට තිබුණු ඉඩකඩම් ටික නිරවුල් කරලා දීලා, ධීවර රස්සාව කරගෙන යන්න ඉඩක් හදලා දෙනවා ඒ හොඳටම ඇති. ගොයිතම් බතක් කරගෙන, මාළු ටිකක් විකුණගෙන අපිට පුළුවන් පාඩුවේ ජීවත් වෙන්න…” සරණක් නැති කනගරත්නම් නොලැබීම් ගැන පසුතැවෙන බවක් පේන්න නැත. හේ දැනුදු කම්පාවනුයේ වැටිලා ඉන්න ගෙයක් දොරක් නැති, රස්සාවක් නැති රැහේ උන් ගැනය.

කුලවාදය නිසා උපන් බිමත් අහිමි වෙන මුහුදු වැද්දො
ආදිවාසී සංගමයේ භාණ්ඩාගාරික සෙල්වම්

2006 වර්ෂයට පෙර නල්ලූර් ගමේ ආදිවාසී දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබුණු බවත්, මේ වනවිට නල්ලූර් අන්සාර් දෙමළ විද්‍යාලයේ දැඩි ගුරු හිඟයක් පවතින බව ද එගම්වාසීහු අපට කීහ. පාසලට පැමිණෙන ගුවරුවරු වෙනත් පාසල්වලට මාරුවීම් හදාගැනීමට වලිකනවා විනා ළමයින්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු නොකිරීම තුළ පාසලේ අධ්‍යාපන තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් කඩා වැටී ඇති බව ද ඔවුහු අපට කීහ. ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සමත් වන ළමයි සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී තිබෙන බවද ඔවුහු පෙන්වා දුන්නහ. පසුගිය කාලයේ ආදිවාසී ළමයින් නිසි අධ්‍යාපනයක් ලැබුණු බැවින් පවුල් තුනක

ගැහැනු ළමයි තිදෙනෙක් විශ්වවිද්‍යාලවලට තේරී පත් වී තිබෙන බවත් එක ළමයෙක් උපාධිය රැගෙන පැමිණ ගෙදර සිටින බව ද ඔවුහු මතක් කළහ. රජයේ පිළිගත් උපාධියක් ලබාගෙන සිටින ඒ ළමයා රජයේ, පෞද්ගලික ආයතනවල රැකියාවලට කොපමණ ඉල්ලුම් කළ ද සම්මුඛ පරීක්‍ෂණයකට හෝ කැඳවීමක් නැති බව නල්ලූර් වැසියන් සිහිපත් කළේ දෑස් ලොවි ගෙඩි බවට පත් කරගෙනය. ජීවත් වන පරිසරය තුළ පමණක් නොව රජයේ, පෞද්ගලික ආයතන තුළ ද ආදිවාසී ජනතාව කොන් කරන තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව පෙළගැසෙන කතාවෙන් පැහැදිලිය. නල්ලූර් වැසියන්ගේ පොදු හඬ අතරින් සෙල්වම්ගේ හඬ ඉස්මතු විය. හේ ආදිවාසී ජනතාවගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා ය.

“මීයක් කඩාගෙන පැණි ටිකක් විකුණගන්න තියෙන අවස්ථාව කැලෑව භාර නිලධාරීන් අපට නැති කළා. මුහුදට ගිහින් මාළුවෙක් අල්ලගෙන විකුණගෙන කීයක් හරි හම්බ කරගන්න ඒක මුස්ලිම් ධීවරයො නැති කළා. කන්න බොන්න නැතිව පුංචි දරුවො
සාගින්නෙ දුක්විඳිනවා බලාගෙන ඉන්න බැරිව ගමේ සමහර ගෑනු හිඟමන් යදින්න අසල්වාසී ගම්මානවලට ගිහාම වැදි ජනතාව කියලා හිඟමන් දෙන්නෙ නෑ. හැම තැනම අපිව කොන් කරනවා. අපේ ගමේ පවුල්වලට බඩු මලු, දරුවන්ට පාසල් උපකරණ, ඇඳුම්, පැලඳුම් ටික හරි ගෙනත් දෙන්නෙ සේරුවිල පන්සලේ හාමුදුරුවො විතරයි. වැඳුම්, පිදුම් කරන්න කෝවිලකට ගන්නෙ නැති අපේ මිනිස්සු පන්සල් යන්න කැමැතියි. ඒත් අපේ ගමට පන්සලක් නෑ. වැසිකිළි හදා දීලා, වහලට ටකරන් අරගෙන දීලා පුංචි, පුංචි උදව් කරලා අපේ ගමේ පවුල් කිහිපයක් ක්‍රිස්තියානි ආගමට හරවාගෙන ඉන්නවා. ඒ ආගම් ප්‍රචාරණය කරන අයගෙනුත් අපේ මිනිස්සුන්ට හරි කරදර…”

චාරිත්‍රානුකූලව සිංහල අලුත් අවුරුද්ද සමරන නල්ලූර් ආදිවාසී මිනිසුන්ගේ ඇදහිලි, විශ්වාස මෙන්ම පීඩා විඳින ගැටලු ගැන කතා කර ඉවර කළ නොහැකි තරම්ය. මෙරට ආදිවාසී ජනතාව සම්බන්ධයෙන් බැඳුණු ඉතිහාස කතා ද බොහෝය. නඩරාජා පවසන ආකාරයට රට මැද දඹානේ ජීවත්වන වැදි ජනතාව සහ නැඟෙනහිර පළාතේ ජීවත් වන මුහුදු වැදි ජනතාව එකම පරම්පරාවකින් පැවත එන ජන කොට්ඨාසයකි. ඔවුන් ජීවත් වන සමාජ පසුබිම තුළ කතා කරන භාෂාව, ජීවන වෘතීන්, සාමාන්‍ය දිවිපෙවෙත වෙනස් වී ඇති බව නඩරාජාගේ අදහසය. එමෙන්ම මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නල්ලූර් ගමේ පමණක් ආදිවාසී පවුල් එකසීය අසූවක් ජීවත් වෙති. ගොපාල්නගර්, සන්තෝෂම්පුරම් ආදී තවත් ගම්මාන විසිහතක මුහුදු වැදි පවුල් හාරසීයක් පමණ ජීවත් වෙති. මඩකලපුව, වාකරේ ප්‍රදේශයේ ගම්මාන තිස් ගාණක තවත් මුහුදු වැදි පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වන බව නඩරාජා අප සමග පැවසුවේය. වෙරුගල් ප්‍රදේශය තුළ පවතින නල්ලූර් ඇතුළු ගම්මාන විසිහතකට නායකත්වය ලබාදෙනුයේ නඩරාජා කනගරත්නම්ය. එමෙන්ම මෙරට ආදිවාසී නායකයන් එකළොස්දෙනකු සිටිති. පසුගිය දිනක එම නායකයන් එකළොස්දෙනාම එකතු වී මෙරට ජීවත්වන ආදිවාසී ජනතාවගේ සියලු ගැටලු ගැන ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද මුහුදු වැදි නායක කනගරත්නම් අප සමග පැවසීය. එහෙත් ඔවුන් දැවෙන ගැටලුවලට තවමත් විසඳුම් නොලැබුණු බව හේ පවසා සිටියේ දැඩි කලකිරීමෙනි.

නල්ලූර් ආදිවාසී ජනතාවගේ ජීවන ගැටලු එසේ පෙළගැසෙන විට ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ උග්‍ර කුලවාදය නිසා දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් අහිමි වීම, කෘෂිකාර්මික කටයුතුවලට බාධා සිදුවීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්තාවක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ. උසස් යැයි සලකනු ලබන කුලවල සාමාජිකයන්ගෙන්, කුලයෙන් අඩු බවට සලකන ජනයාට සිදුවන පීඩාවන් සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා ගැන ද එම වාර්තාවේ සඳහන්ය.

ජාති, ආගම් සහ කුල මල බේදවලින් වෙන් කර ජනතාව පීඩාවට පත්කිරීම නූතන සමාජයට නොගැළපේ. එහෙත් ගෝත්‍රවාදී සිතුම්, පැතුම්වලින් මනස විකල් වූ, භූමිය කොල්ලකමින් තම වර්ගයා බෝ කිරීමේ සැලසුම්සහගත කල්ලි, කණ්ඩායම්වලට මනුෂ්‍යත්වයක් නැත. අනුන්ගේ දුක, වේදනාව නොදැනේ. ඔවුන්ගේ ඉලක්කය වර්ගයා වැඩි කරගැනීම පමණි. කුරිරු කොටි ත්‍රස්තවාදය අතු ගෑ වී ගිය උතුර, නැඟෙනහිර නල්ලූර් මුහුදු වැදි ජනතාව පීඩාවට පත්ව සිටිනුයේ තම වර්ගයා බෝ කරගැනීමට භූමිය කොල්ලකන ‘කල්ලතෝනි’ ජාතිවාදීන් නිසා ය. රටේ ආරක්‍ෂක අංශ විසින් සොයාබැලිය යුත්තේ ගෝත්‍රවාදී කොල්ලකරුවන්ගේ සැලසුම්සහගත භූමි කොල්ලය ගැනය. ඒ සඳහා නීතිය හරි හැටි ක්‍රියාත්මක වන පසුබිමක නල්ලූර් වැදි ජනතාවගේ ප්‍රශ්නවලට නිරායාසයෙන් විසඳුම් ලැබෙන බව අපගේ විශ්වාසයයි. එවිට ඒ පීඩිත මිනිසුන් සතුටින් ජීවත්වනු ඇත. මේ සටහන මල්ඵල ගන්නේ එදාට ය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment