රිය අනතුරුවලින් වසර 06ක් තුළ 17,040ක් මරුට

83

දකුණු ආසියාවේ වැඩිම අනතුරු සිදුවන රට ශ්‍රී ලංකාවයි කොරෝනා මරණ සංඛ්‍යාව පරදවයි
– ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ෂමින්ද්‍ර ගමගේ

කොරෝනාවලින් මියගිය පිරිසට වඩා රිය අනතුරුවලින් මරුමුවට පත්වන සංඛ්‍යාව වැඩිවී ඇති බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ෂමින්ද්‍ර ගමගේ මහතා අනාවරණය කර ඇත. මෙහි දැක්වෙන්නේ එම සංඛ්‍යා ලේඛනයි.

2016 දී රිය අනතුරුවලින් 3020 ක් මියගියා. 8932 ක් බරපතළ තුවාල ලැබුවා. එම වසරේදී 32,200 අනතුරු සිදුවිය. 2017 දී මාරක රිය අනතුරු 2965 ක්ද, බරපතළ අනතුරු 8666 ක්ද සිදුවුණි. මියගිය සංඛ්‍යාව 3154 කි. 2018 දී මාරක අනතුරු 2994 ක්ද, බරපතළ අනතුරු 8795 ක්ද සිදුවුණි. මරුමුවට පත්වූ සංඛ්‍යාව 3151 කි.

රිය අනතුරුවලින් වසර 06ක් තුළ 17,040ක් මරුට
වෛද්‍ය ෂමින්ද්‍ර ගමගේ

2019 දී මාරක අනතුරු 2645 ක්ද, බරපතළ අනතුරු 7718 ක්ද සිදුවූ අතර මියගිය සංඛ්‍යාව 2839 ක් විය. 2020 දී මාරක අනතුරු 2242 ක්ද, බරපතළ අනතුරු 6950 ක්ද සිදු වූවත් මියගිය පිරිස 2368 දක්වා අඩුවිය.

2021 වසරේදී මාරක අනතුරු 2414 ක්ද බරපතළ අනතුරු 6401ක් සිදුවූ අතර ඉන් 2513 ක් ජීවිතක්‍ෂයට පත්විය. මෙලෙස රිය අනතුරු සිදුවීම අඩුවීමට හේතු වූයේ කොරෝනා පැතිරීම නිසා සහ පෙට්‍රල් සහ ඩීසල් ලබාගැනීම දුෂ්කරවීම නිසා බව වෛi ගමගේ දිවයින සමග විශේෂ සාකච්ඡාවකදී හෙළි කළේය. එහෙත් පසුගිය වසර හය තුළ රිය අනතුරුවලින් මරුමුවට පත් සංඛ්‍යාව 17,040කි.

2016 සිට 2021 තෙක් මාරක අනතුරු 16,098 ක් සිදුවී ඇත. එම කාලය තුළ සිදුවී ඇති සියලු අනතුරු සංඛ්‍යාව 162,620 කි. රිය අනතුරු වැඩිපුරම සිදුවී ඇත්තේ 2016 දීය. එය 39,200 කි.

රිය අනතුරු ගැන බලධාරීන් අවධානය යොමුකළ යුතුයි. වසර 06 ක් තුළ රිය අනතුරු නිසා මියගිය පිරිස 17,040 ක් යැයි හෙතෙම පළ කළේය. මෙතෙක් රිය අනතුරු නිසා මරුමුවට පත්වූ සංඛ්‍යාව හෙළි නොවුණි. මෙම රිය අනතුරුවලින් අංක 01 ට මියගොස් ඇත්තේ යතුරුපැදිකරුවන්ය. එසේම ලොරි, ත්‍රිරෝද රථ, ටිපර්, පුද්ගලික බස් රථ හා ලංගම බස් රථද අනතුරුවලට ලක්වී ඇත.

ගතවූ කාලය තුළ 2293 ක් මරුමුවට පත්වී තිබේ. වෛද්‍ය ගමගේ තවදුරටත් දක්වන්නේ රිය අනතුරු අවම කිරීම සඳහා නව නීතිරීති අවශ්‍ය බවයි. වාහනය පදවන්නාගේ අනන්‍යතාවය සනාථ කළ යුතු බවත් හෙතෙම කීවේය. එහෙත් වෛද්‍ය ගමගේ පැවසුවේ රජය මෙතෙක් එම නීතිය ක්‍රියාත්මක කර නැති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයද රිය අනතුරු අඩු කිරීම සඳහා කරුණු පහක් නිර්දේශ කර ඇතත් මෙතෙක් එම නිර්දේශ ක්‍රියාත්මක කර නැත. ඊට හේතුව නම් දේශපාලන හා මූල්‍ය ප්‍රශ්නයි.

මේ අතර දකුණු ආසියාවේ රිය අනතුරුවලින් සිදුවන මරණ ගැන විමර්ෂණය කරන විට වැඩිම අනතුරු සිදුවී ඇත්තේ මෙරටය. එය අනිකුත් රටවල් හා සසඳන කල පස් ගුණයකින් වැඩිවීමකි. රිය අනතුරුවලට ලක් වූවන්ගේ වයස් සීමාවද 15 සහ 64 අතර වේ.

මේ පසුබිම මත මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කරන රියැදුරන් අසුකරගැනීම සඳහා ජංගම රසායනාගාරයක් යෙදවීමේ යෝජනාවක් ඉදිරිපත් වුවද එයද ක්‍රියාත්මක වී නැත.

වාහන අනතුරු සිදුකර පලායන පිරිස්ද වේ. ලෝක බැංකුව යෝජනා කරන රියැදුරුගේ අනන්‍යතාවය සටහන් කිරීම තුළින් ඔහු අසුවේ. එහෙත් අපේ රටේ සිදුවන්නේ කුමක්ද? දේශපාලකයන් රිය අනතුරු සිදුකර වෙනත් රියැදුරන්ව යෙදවීමයි.

මේ තත්ත්වය මත එම අනන්‍යතාවය නීතිය ක්‍රියාත්මක කළ හැකිද?

2014 දී සුනාමිය නිසා මියගිය සංඛ්‍යාව 230,000ක් විය. එහෙත් රිය අනතුරු නිසා ලොව 1,200,000 ක් මියගොස් තිබේ. මෙරට පොලිස් නිලධාරීන් 45 ක්ද රිය අනතුරුවලින් මියගොස් ඇත. වැරදිකරන රියැදුරන්ගේ ලකුණු අඩු කිරීමේ යෝජනාවක්ද දැන් ඉදිරිපත්වී ඇතත් එය ක්‍රියාත්මක කළ හැකිද?

ශ්‍රී ලංකාව තුළ ත්‍රීවිල් සහ යතුරුපැදි විශාල සංඛ්‍යාවක් ඇත. එසේම වැලි ටිපර් සහ පුද්ගලික බස් රථවල අධික වේගයද මහමග ගමන්කරන පදිකයන්ට සහ වාහනවලට අනතුරුදායක තත්ත්වයක් උදාකරයි. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධානියා වූ වෛද්‍ය ෂමින්ද්‍ර ගමගේ පසුගිය දා රිය අනතුරු ගැන විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළේය. එම වාර්තාවෙන් වසරකට මියයන සංඛ්‍යාව ඔහු හෙළි කළේය. මෙලෙස රිය අනතුරු බහුල වීමට හේතුව නම් මාර්ගවල සිදුවන රියැදුරන්ගේ නොසැලකිලිමත් කමයි. එසේම මාර්ග නිසිලෙස නඩත්තු නොකිරීමද බරපතළ ප්‍රශ්නයකි. මේ හැර වාහන සංඛ්‍යාවද බරපතළ ලෙස වැඩිවී ඇත. ත්‍රිරෝද රථ රියැදුරන්ගේත් සහ යතුරුපැදිකරුවන්ගේත්, පුද්ගලික බස් රථ රියැදුරන්ගේත් අධික වේගයද මහමග යන ජනතාව ඝාතනයට ලක්වීමකි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment