හංවැල්ලේ ඝාතනයේ ‘කරවිට සීයා’ පොලිස් වෙඩිකා මරුට

160

මිනිස් ඝාතනයක් සිදුකර හංවැල්ල, දික්දෙනිය, කිඹුල්බෙනේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටි පුද්ගලයකු හා පොලිසිය අතර ඊයේ (06 දා) අලුයම් කාලයේ ඇති වූ වෙඩි හුවමාරුවකින් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

මොහු ඉකුත් දෙසැම්බර් 18 වැනිදා හංවැල්ල හරස්පාර ප්‍රදේශයේ වෙළෙඳසල් හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු බව පොලිසිය පැවසීය.

ඝාතනය සිදුකර සැඟවී සිටින ස්ථානය පිළිබඳ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ (06 දා) අලුයම් කාලයේදී එම නිවස වටලා තිබේ.

නිවස වැටලූ පසු සැකකරු ෂොට් ගන් වර්ගයේ ගිනි අවියකින් පොලිසියට වෙඩි තබා ඇත. එහිදී සිදුවූ වෙඩි හුවමාරුවේදී පොලිසිය තැබූ වෙඩි පහරකට ලක්ව බරපතළ තුවාල ලැබූ සැකකරු පසුව මියගොස් ඇත.

මොහු දෙල්වල, පිටකන්ද ප්‍රදේශයේ පදිංචි තිස්දෙහැවිරිදි පුද්ගලයෙකු යැයිද පොලිසිය සඳහන් කළේය.

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩුබායි ලලිත් නමැති ජාවාරම්කරුවා සම්බන්ධයෙන් ඔත්තු දුන් බවට චෝදනා කරමින් පොලිස් වෙඩි පහරින් මියගොස් සිටින පුද්ගලයා සහ තවත් අයකු ඉකුත් දෙසැම්බර් 18 වැනිදා වෙළෙඳසල් හිමිකරු ඝාතනය කර තිබූ බවද පොලිසිය පවසයි. එම සිද්ධිය පිළිබඳ විමර්ශන කරමින් සිටි පොලිස් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී මෙම සිද්ධිය වී තිබේ.

මියගිය සැකකරු පසුගිය දෙසැම්බර් 18 වැනිදා රාත්‍රි සිගරට්ටුවක් මිලදී ගැනීමට ලෙස වෙළෙඳසලට ගොස් තිබේ. එහිදී වෙළෙඳසලේ හිමිකරු දොර විවෘත කරද්දීම ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබුණි. වෙළෙඳසල් හිමිකරු ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම ඇතුළු නීති විරෝධී ක්‍රියාවන්වලට විරුද්ධව කටයුතු කළ පොලිසිය සමග සමීපව කටයුතු කළ අයකු බවද හඳුනාගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකර ඇත. එහි ප්‍රධාන සැකකරුවකු වන කරවිට සීයා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා මෙලෙස හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ රැඳී සිටින බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් මෙහෙයුමක නිරතව සිටියදී සැකකරු පොලිසියට මෙලෙස වෙඩි තබා පලායෑමට උත්සාහ කර ඇත. එහිදී පොලිසිය සැකකරුට වෙඩිතබා ඇත. ඉන් සැකකරු බරපතළ තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

නුගේගොඩ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතාගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment