ජනතාව පෙළන වැට් බද්ද

175

මෙතෙක් පැවති වැට් බදු නිදහස් කිරීම් හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 ක පමණ රාජ්‍ය ආදායමක් වාර්ෂිකව අහිමි වන බවට ඇස්තමේන්තු කර ඇති බවත් එබැවින්, ආදායම් මූලික කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීමේ අරමුණින් මෙසේ රජය විසින් වැට් බදු නිදහස් කිරීම් බහුතරයක් අහෝසි කළ බවත් මුදල් අමාත්‍යාංශය තවදුරටත් කියන කතාවකි. එහෙත් බදු ගෙවිය යුතු නමුත් රජයට බදු නොගෙවා බදු පැහැර හරින්නන් නිසා වාර්ෂිකව රජයට අහිමි වන බදු ආදායමේ ප්‍රතිශතය මුදල් අමාත්‍යාංශය නොකියයි. මේ නිසා බදු ගෙවිය හැකි ඒ සඳහා ශක්තිය ඇති අයගෙන් සෘජු බදු ආදායම් අය කර ගන්නවා වෙනුවට අසීමිත ලෙස වක්‍ර බදු වැඩි කිරීමට රජය යොමු වීම නිසා සාමාන්‍ය මහජනයාට ජීවත් වීමට පවා නොහැකි තත්ත්වයක් රජය විසින් නිර්මාණය කර ඇත.

මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වෙන කරුණු දෙකක් තිබේ. එකක් නම් සියයට 18 දක්වා වැට් බද්ද තවත් වැඩි කිරීමයි. අනිත් කරුණ නම් අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට 2024 ජනවාරි 01 වැනිදා සිට බදු හඳුනා ගැනීමේ අංකයක් ලබා ගැනීමට රජය මගින් අනිවාර්ය කිරීමයි. මේ සම්බන්ධයෙන් මහජනයාට විවිධ ප්‍රශ්න ඇතිව තිබේ. දැනටමත් එනම් 2024 ජනවාරි 01 වැනිදා සිටම රජය විසින් සියයට 18 දක්වා වැඩි කළ වැට් බද්ද අය කිරීමට පටන් ගෙන තිබේ. මේ වැට් බද්දේ කොටස් දෙකක් තිබේ. එකක් නම් මෙතෙක් වැට් බද්ද අදාළ වූ භාණ්ඩවලට නම් දැනට පවතින බදු ප්‍රතිශතය සියයට 15 කි. ඒ අනුව එම බදු අනුපාතය සියයට 18 ක් දක්වා වැඩි කළ විට මහජනයාට එම භාණ්ඩ සම්බන්ධයෙන් නම් බදු බර වැඩි වන්නේ සියයට තුනකින් පමණි. ඒ අනුව අදාළ භාණ්ඩවල මිල වැඩි වීම සිදු වේ. එහෙත් අලුතින් වැට් බද්දට යටත් කළ භාණ්ඩ සම්බන්ධයෙන් නම් ඒවායේ බදු වැඩි වීම සිදු වන්නේ සියයට 0 සිට සියයට 18 දක්වා මුළුමනින්ම සියයට 18 කින්මය. ඊට අනුරූපව එම භාණ්ඩවල මිල ගණන් සැලකිය යුතු ලෙස වැඩිවෙන අතර මේ දිනවල වඩාත්ම කතාබහට ලක්ව ඇත්තේ මේ භාණ්ඩ සම්බන්ධයෙනි.

● සියයට 18 කින් වැඩිවෙන බදු බර

මෙසේ වැට් බද්දට අලුතින් යටත් කළ භාණ්ඩ මිලදී ගැනීමේ දී දැරීමට සිදුව ඇති විශාල බදු බර ගැන ජනයා මේ දිනවල මැසිවිලි නගමින් සිටී. ඒ අනුව එම සියයට 18 ක වැට් බදු අය කළ රිසිට් පත් පවා මේ වන විට සිය මුහුණ පොතට යොමු කර විවිධ පෝස්ට් මහජනයා විසින් මේ වන විට පළ කර තිබේ. මේ අනුව තම පාසල් යන දරුවාට රු.50 ක බෝල් පොයින්ට් පෑනක් අරන් දීමේ දී ඒ සඳහා රු.9 ක් අලුතින් බදු ගෙවීමට සිදුව ඇත. ඒ අනුව පාරිභෝගිකයාට රු.50 බෝල් පොයින්ට් පෑනට ද රු.9 ක් වශයෙන් රු.59 ක මිලක් ගෙවීමට සිදුව ඇත. අවසානයේ ඉතුරු රුපියල ලැබෙන්නේ නැති නිසා ඒ සඳහා රු.60 ක්ම ගෙවීමට ජනයාට සිදු වේ. අලුතින් සියයට 18 ක වැට් බද්දට යටත් වන අනෙකුත් භාණ්ඩ සම්බන්ධයෙන් තත්ත්වය ද මෙසේය.

වැට් බදු අය කළ හැක්කේ කාට ද?

2024 ජනවාරි 01 වැනිදා සිට රජය විසින් සියයට 18 දක්වා වැඩි කළ වැට් බද්ද, එදින සිටම ව්‍යාපාර ආයතන විසින් මහජනයාගෙන් අය කිරීමට පටන් ගෙන තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් මහජනයාට කිව යුත්තේ මෙසේ පාරිභෝගිකයාගෙන් වැට් බදු අයකළ හැක්කේ වැට් බදු සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයකට පමණක් බවය. එම වැට් ලියාපදිංචි අංකය තම රිසිට්පතේ ප්‍රදර්ශනය කළ යුතු වේ. එසේ වැට් බදු සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නැති ආයතනයකට සිය පාරිභෝගික ජනයාගෙන් වැට් බදු අය කළ හැකි නොවේ. මේ නිසා යම් ව්‍යාපාර ආයතනයක් හෝ වෙළෙඳසලක් හෝ ඔබගෙන් සියයට 18 ක් වැට් බද්දක් අය කිරීමට සූදානම් වන්නේ නම් ඔබට එම ආයතනයේ වැට් ලියාපදිංචි අංකය ගැන විමසීමට හැකියාව තිබේ. එසේ විමසූ විට ඔවුන්ට වැට් ලියාපදිංචියක් නැත්නම් ඔබට ඔවුන් අයකරන වැට් බද්ද නොගෙවා සිටීමට හෝ එම වෙළෙඳසලෙන් එම භාණ්ඩ මිලදී නොගෙන සිටිය හැකිය. ඒ නිසා මෙවැනි වංචනික තත්ත්වයන්ගෙන් බේරීමට ඔබ අවධියෙන් සිටිය යුතු අතරම අනිත් අතට රජය විසින් මේ වංචා සිදුකරන ව්‍යාපාර ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ද තිබේ. මේ ගැන කොතෙකුත් දැනුවත් කිරීම් කළත් ඇතැම් අය මේ වෙළෙඳුන්ගේ වංචාවන්ට හසු වීමට ඉඩ තිබේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය මෙවැනි වංචනික ක්‍රියා ගැන අවධියෙන් සිට පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් පියවර ගත යුතුව ඇති බව අපගේ අදහසයි.

වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ

සියයට 15 ට වැට් බද්ද පැවතියදී වැට් බද්දට යටත් නොවූ වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ ලැයිස්තුවක් තිබුණි. එහෙත් මේ වන විට එම භාණ්ඩ ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට අලුතින්ම සියයට 18 ක වැට් බද්දක් පනවා ඇත. ඒ අනුව මේ භාණ්ඩවල මිල ගණන් එම විශාල බදු වැඩිවීමට සාපේක්ෂව සැලකිය යුතු අගයකින් වැඩිවනු ඇත. එසේම තවදුරටත් වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ ප්‍රමාණයක් ද තිබේ. ඒ ගැන ද ඔබ දැනගෙන සිටීම ප්‍රයෝජනවත්ය. 2024 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි වැට් බදු නිදහස් කිරීම් බහුතරයක් අහෝසි කරමින් 2023 අංක 32 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත රජය විසින් 2023 දෙසැම්බර් 13 දින පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත්තේය. මේ අනුව මීට පෙර, විවිධ භාණ්ඩ හා සේවා ප්‍රධාන අයිතම 138 ක් පමණ වැට් බද්ද නිදහස් කර තිබූ අතර, මෙම නව සංශෝධන පනත මගින් අධ්‍යාපනය, සෞඛ්‍යය, පොදු ප්‍රවාහන, කෘෂිකර්මය යනාදී ආර්ථිකයේ ප්‍රධාන අංශ සහ අඩු ආදායම්ලාභී කුටුම්භවලට ඉහළ බලපෑමක් ඇති කරන භාණ්ඩ හා සේවා අයිතම 43 ක් පමණ තවදුරටත් වැට් බද්දෙන් නිදහස් කර ඇත. මේ අනුවම පැහැදිලි වන්නේ අලුතින් භාණ්ඩ හා සේවා අයිතම 95 කටම සියයට 0 සිට සියයට 18 දක්වා අලුතින්ම බදු වැඩිවෙන බවයි. වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ සහ සේවා වර්ග කිහිපයක් තිබේ. ඒවා වෙන වෙනම මෙසේ සඳහන් කළ හැකිය.

සැපයීම හෝ ආනයනය කිරීම නිදහස් වන භාණ්ඩ

තිරිඟු, තිරිඟු පිටි, ළදරු කිරි පිටි, ඖෂධ නිෂ්පාදන, ඖෂධ වර්ග (සුවඳ විලවුන් හැර), ඖෂධ නිෂ්පාදන අමුද්‍රව්‍ය, ඖෂධ නිඝන්ඩුවට අයත් ආයුර්වේද සංයෝග (සුවඳ විලවුන් හැර), යුනානි, සිද්ධ හෝ හෝමියෝපති සංයෝග, ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අමුද්‍රව්‍ය පිරිපහදු නොකරන ලද ඛනිජ තෙල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන, නැව් සඳහා භාවිතා කරන තෙල්, තෙල් ඉන්ධන, කෘත්‍රිම අත් පා, කිහිලිකරු, රෝද පුටු, ශ්‍රවණ උපකරණ, විකලාංග හෝ අශක්නුතාවන් සඳහා උපකාර පිණිස පළඳින/ සිරුරේ තැන්පත් කරන උපකරණ, අන්ධ තැනැත්තන් භාවිතා කරන සුදු සැරයටි, බ්‍රේල් යතුරු ලියන යන්ත්‍ර සහ කොටස්, බ්‍රේල් යතුරු ලියන කඩදාසි, බ්‍රේල් යතුරු ලියන පුවරු, ආබාධිතයන්ගේ ඉල්ලීම සලකා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබන වෙනත් යම් අයිතම, ජෛව පොහොර, ආටිමියා බිත්තර, පීට් පාසි, කාෂිකාර්මික බීජ, කෘෂිකාර්මික පැළ, ඉස්සන් සඳහා ආහාර, කූනිස්සන් සඳහා ආහාර, කුකුළන් සඳහා වන ආහාර හැර වෙනත් සත්ව ආහාර, රෙදිපිළි කර්මාන්තය සඳහා භාවිතා කරන නූල්, අත්යන්ත්‍ර කර්මාන්තය සඳහා භාවිතා කරන වර්ණක (ඩයි)

සැපයුම නිදහස් වන අයිතම

අධ්‍යාපන සේවා, පොදු මගී ප්‍රවාහන සේවා (ගුවන් ප්‍රවාහනය, ජලය මගින් ප්‍රවාහනය, සංචාරකයන් ප්‍රවාහනය සහ කුලී රථ සේවා හැර) විදුලිබලය, භූමිදාන සහ ආදාහන කටයුතු සම්බන්ධ සේවා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ භෝජනාගාරයේ සපයනු ලබන සේවා, තානාපති වරප්‍රසාද අදාළ යම් දූත මණ්ඩලයකට සපයනු ලබන භාණ්ඩ සහ සේවා, හදිසි ආපදා සඳහා සහන සඳහා විදේශීය සංවිධාන සපයනු ලබන භාණ්ඩ හෝ සේවා, ජාතික ආර්ථිකයේ යහපත සඳහා විදේශීය සංවිධාන සපයනු ලබන භාණ්ඩ හෝ සේවා, මූල්‍ය සේවා සෞඛ්‍ය සේවා (රෝහල් කාමර ගාස්තු හැර), විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත් භාණ්ඩ, දේශීය වශයෙන් නිෂ්පාදිත අත්යන්ත්‍ර රෙදිපිළි, දේශීය වශයෙන් නිෂ්පාදිත සහල්, සහල් පිටි සහ පාන්,

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පිරිසැකසුම් නොකළ කෘෂිකාර්මික, උද්‍යාන විද්‍යාත්මක හෝ මත්ස්‍ය නිෂ්පාදන (තේ දළු, රබර් කිරි, පොල්, සියලු එළවළු, පලතුරු, කෘෂි භෝග, මාළු) ශල්‍යකර්ම සඳහා භාවිතා කරනු ලබන දේශීය වශයෙන් නිෂ්පාදිත ගෝස්, සෙස් බද්දට යටත්වන රෙදිපිළි, ශ්‍රී ලංකාවෙන් පිටත පරිභෝජනය කිරීමට ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීම් කරන සේවා, රෙදිපිළි හෝ ඇඟලුම්වල වටිනාකම ප්‍රවර්ධනය වීමක් සිදුවන සේවාවන්, වෘද්ධ සේවාවන් සහ ළමා සත්කාරක සේවාවන්, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා සපයනු ලබන භාණ්ඩ හෝ සේවා විදේශ ණය හෝ පරිත්‍යාග ලෙස යම් විශේෂිත ව්‍යාපෘතියක් සඳහා සපයනු ලබන භාණ්ඩ හෝ සේවා, යටිතල සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා සපයනු ලබන භාණ්ඩ සහ සේවා, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලබන භාණ්ඩ හෝ සේවා, ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් අය කිරීමෙන් තොරව සපයනු ලබන සේවා, තීරු බදු රහිත සාප්පු සඳහා දේශීයව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ

ආනයනය කිරීම නිදහස් වන භාණ්ඩ

බදු රහිතව නිෂ්කාශනය කර ගැනීමට හිමිකම ඇති යම් අයිතමයක්, ප්‍රදර්ශන භාණ්ඩ හා තාක්ෂණික ලෙස නිරූපනයට යොදාගෙන ප්‍රතිඅපනයනය කරනු ලබන භාණ්ඩ, ව්‍යාපෘතියක භාවිත කර ප්‍රති-අපනයනය කරනු ලබන භාණ්ඩ හෝ පිරියත, යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ, ගුවන්යානා එන්ජින් හෝ ගුවන්යානා අමතර කොටස්, විදුලිබල මණ්ඩලය වෙත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සපයන රසායනික නැප්තා, තානාපති වරප්‍රසාද පනතේ දූත මණ්ඩලයකට සපයනු ලබන භාණ්ඩ සහ සේවා, විදේශ මුදලින් තීරු බදු රහිත සාප්පුවලට සැපයීම සඳහා භාණ්ඩ ආනයනය කිරීම සහ සැපයීම.

මෙසේ තවදුරටත් වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩවලට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වශයෙන් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත් අයිතම ද වැට් බද්දට යටත් නොවේ.

දැරිය නොහැකි අසාධාරණ බදු බර

මෙතෙක් පැවති වැට් බදු නිදහස් කිරීම් හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 ක පමණ රාජ්‍ය ආදායමක් වාර්ෂිකව අහිමි වන බවට ඇස්තමේන්තු කර ඇති බවත් එබැවින්, ආදායම් මූලික කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීමේ අරමුණින් මෙසේ රජය විසින් වැට් බදු නිදහස් කිරීම් බහුතරයක් අහෝසි කළ බවත් මුදල් අමාත්‍යාංශය තවදුරටත් කියන කතාවකි. එහෙත් බදු ගෙවිය යුතු නමුත් රජයට බදු නොගෙවා බදු පැහැර හරින්නන් නිසා වාර්ෂිකව රජයට අහිමි වන බදු ආදායමේ ප්‍රතිශතය මුදල් අමාත්‍යාංශය නොකියයි. මේ නිසා බදු ගෙවිය හැකි ඒ සඳහා ශක්තිය ඇති අයගෙන් සෘජු බදු ආදායම් අය කර ගන්නවා වෙනුවට අසීමිත ලෙස වක්‍ර බදු වැඩි කිරීමට රජය යොමු වීම නිසා සාමාන්‍ය මහජනයාට ජීවත් වීමට පවා නොහැකි තත්ත්වයක් රජය විසින් නිර්මාණය කර ඇත. බද්ද සාධාරණ විය යුතු බව මූලිකම බදු මූලධර්මයකි. එනම් බදු ගෙවන්නාට එය ගෙවිය හැකි විය යුතු බවයි. එහෙත් පසුගිය කාලයේ රටේ දුප්පත්කම දෙගුණයකින් සියයට 25 ක් දක්වා වැඩි වීමෙන් සිදුව ඇත්තේ කුමක් ද? අවම මූලික අවශ්‍යතා පවා සපුරා ගත නොහැකි ජනතාව විශාල වශයෙන් සහ වේගයෙන් වර්ධනය වී ඇති බවයි. ඒ නිසා මේ වක්‍ර බදු බර අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාට දැරිය නොහැකි ඉතා අසාධාරණ බදු බරකි. එසේ තිබියදී හිඟ බදු අය කර ගැනීමට හෝ ආදායම් බදු ගෙවීමට හැකියාව තිබුණත් නොගෙවා පැහැර හරින අයගෙන් බදු ආදායම් අය කර ගැනීමට පොදුවේ රජයට හෝ රජයේ දේශීය ආදායම්, රේගු හෝ සුරාබදු දෙපාර්තමේන්තුවලට වැඩපිළිවෙළක් තිබේ ද යන ප්‍රශ්නය බරපතල ලෙස තිබේ. මේ නිසා රටේ මුළු බදු ආදායමෙන් සියයට 80 ක පමණ වැඩි සහ අසාධාරණ බදු බරක් දැරීමට සිදුව ඇත්තේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හරහා සාමාන්‍ය පාරිභෝගික ජනතාවට ය. අඩු තරමේ ඉදිරියේ දී හෝ භාණ්ඩ හා සේවා මත පනවා ඇති මේ අසාධාරණ බදු බර ලිහිල් කරමින් රජය විසින් සිය සෘජු බදු ආදායම් ප්‍රතිශතය වැඩි කර ගැනීමේ දිශාවට හෝ ගමන් කරන්නේ ද යන්න ගැන කිසිදු පැහැදිලිභාවයක් නැත.

අනිවාර්ය කළ බදු අංකය

අවුරුදු 18ට වැඩි සියලු දෙනාට බදු හඳුනා ගැනීමේ අංකයක් (TIN number) ලබා ගැනීම අනිවාර්ය වේ. එහෙත් මේ බදු හඳුනා ගැනීමේ අංකය ගත් පමණින්, යමෙකුට බදු ගෙවීමට සිදු නොවේ. ඒ සඳහා බදු නිදහස් ආදායමට වැඩි ආදායමක් ඔබ ඉපයිය යුතු වේ. ඒ අනුව වාර්ෂිකව රු. මිලියන 1.2 ක එනම් රු. ලක්ෂ 12 ට වඩා වැඩි ආදායමක් ලබන අය පමණක් බදු ගෙවීම සඳහා වගකීමෙන් බැඳෙයි. මේ නිසා ටින් අංකය ගත් පමණින් කිසිවෙකුට අනිවාර්යෙන් බදු ගෙවීමට සිදු වන්නේ නැත. එම අංකය ඉදිරියේ දී විවිධ අවශ්‍යතා සඳහා ඉදිරිපත් කිරීමට ද සිදුවනු ඇත. මේ අනුව 2024.02.01 සිට ජංගම ගිණුම් ඇරඹීමේදී, ගොඩනැඟිලි සැලසුම් අනුමැතියේදී, වාහන සහ ඉඩම් ලියාපදිංචියේදී, වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී මේ බදු අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment