මම දන්නේ රඟපාන්න විතරයි – වොල්ගා කල්පනී

179

මට යූටියුබ් නාලිකාවක් නෑ

කාලයෙන් කාලයට එකිනෙකට වෙනස් චරිත හරහා පුංචි තිරයෙන් ඔබ හමුවට එන ඇය තමන් කරන චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න නිතරම උත්සාහ දරන රංගන ශිල්පිනියක්. ඒ නිසාම ඇය ගැන වගේම ඇගේ රංගනය ගැන නිතර කතාබහට ලක් වෙනවා. මේ දිනවල විකාශය වන සුපුන් රත්නායකගේ ‘තත්පරයක් දෙන්න. ටෙලිනාට්‍ය හරහා ඇගේ රංගනය ගැනද ප්‍රේක්‍ෂකයන් විවිධ අදහස් දක්වනවා. ඒ නිසාම වොල්ගා කල්පනීට මේ ඉඩකඩ වෙන් කළා.

● තත්පරයක් දෙන්න ටෙලි නාට්‍යයේ ‘පුංචි රෝසා’ ගැන රසිකයන් මොනවද කියන්නේ?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා’ විශේෂයෙන් සුපුන් රත්නායක” රසික සුරවීර ආරච්චි” චින්තක සෝමකීර්ති ඇතුළු මුළු කණ්ඩායම වගේම සියලුම රංගන ශිල්පීන්” ශිල්පිනියන්වත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ’ අපි සියලුම දෙනා මේ නිර්මාණය වෙනුවෙන් මහන්සි වෙනවා’ මිනිස්සුන්ගේ හැඟීම් එක්ක ගනුදෙනු කරන නාට්‍යයක් කියලයි මට නම් හිතෙන්නේ.

මම දන්නේ රඟපාන්න විතරයි - වොල්ගා කල්පනී

● සිරගෙදර රූගත කිරීම්වලදී ලැබෙන අත්දැකීම් මොන වගේද?

විශේෂයෙන් සහය අධ්‍යක්‍ෂ විමුක්තිව මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ. එච්චර රංගන ශිල්පිනියන් ප්‍රමාණයක් එක්ක මේ ගනුදෙනුව කරනවා කියන්නේ ලේසි නැහැ. හරි සමගියෙන් සහ සතුටින් වැඩකරන තැනක් කිව්වොත් හරි.

● මොනවද අලුත් වැඩ කටයුතු?

මේ මාසයේ ඉඳලා සුපුන් රත්නායක මහත්මයාගේම ‘ලලයි ලිලයි ලයි’ කියන ටෙලි නාට්‍යයත් විකාශය වීමට නියමිතයි’ ඒක මීට වැඩිය හාත්පසින්ම වෙනස් ටෙලි නාට්‍යයක්.

මම දන්නේ රඟපාන්න විතරයි - වොල්ගා කල්පනී

● සුමති ටෙලි සම්මාන උළෙලේ ඔබව යළිත් වරක් නිර්දේශවෙලා තිබෙනවා?

ඇත්තටම සතුටුයි. මම ක්‍ෂේත්‍රයට ඇවිල්ලා මගේ පළමු සම්මානය ලබාගත්තෙත් සුමති ටෙලි සම්මාන උළෙලකදී. ඒක විශේෂ අවස්ථාවක්. ඉතිං අඩියෙන් අඩිය මේ යන ගමන ගැන නිහතමානී සතුටක් එක්ක ආඩම්බරයක් තිබෙනවා.

● සිනමාවට ආරාධනා නැතිද?

ටෙලි නාට්‍යවලට තරම් සිනමාවට ආරාධනා ලැබෙන්නේ නැහැ. චිත්‍රපටවල” ටෙලිනාට්‍යවල වගේ නෙමෙයිනේ. හොඳ” දැනෙන විදිහේ නිර්මාණයක් ලැබුණොත් නොකර ඉන්නෙත් නැහැ.

මම දන්නේ රඟපාන්න විතරයි - වොල්ගා කල්පනී

● ‘තත්පරයක් දෙන්න’ ටෙලි නාට්‍යයේදී සමාජයෙන් ගැහැනියකට වන අසාධාරණය මොන විදිහටද දකින්නේ?

ලංකාවේ සංස්කෘතිය ඇතුළේ කොහොමත් ගැහැනියකට අසාධාරණකම් වෙනවා වැඩියි. ලංකාවේ නෙමෙයි ලෝකයේ නෙමෙයි කොහේ වුණත් ස්වභාව දහමට පිටින් ගමනක් යන්න බැහැනේ.

● පුද්ගලික ජීවිතය ගෙවෙන්නේ කොහොමද?

මම නිදහසේ සතුටින් මගේ ආදරණීයයන් සමග කාලය ගෙවනවා. අලුතෙන් කියලා දෙයක් නැහැ.

● ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?

ලැබිච්ච දේවල් වැඩියි. ඇත්තටම නොලැබුණු දේවල් අඩුයි.

● නිතර කතාබහට ලක්වෙන චරිත හරහා තමයි පුංචි තිරයෙන් ඔබව දකින්න ලැබෙන්නේ?

ඇත්තටම ඒක මගේ වාසනාව. මම ක්‍ෂේත්‍රයට ඇවිත් මුල් කාලයේ ඉඳලම එහෙමයි. මම ඒ කාලෙත් බොළඳ පෙම්වතිය වුණේ නැහැ. දැනුත් මම බොළඳ පෙම්වතිය වෙලත් නැහැ. වෙන්නෙත් නැහැ. මගේ වාසනාවට ප්‍රවීණයෝ සමග වැඩ කරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. මට දැනෙන නිර්මාණවලට විතරයි එකතු වෙන්නේ.

● දැවැන්තයන්ගේ මැද්දට වැටෙනවා කියන්නේ හරි අමාරු වැඩක්?

ඇත්තටම මගේ පෞද්ගලික ජීවිතයේ පවා මගේ සමකාලීනයන් නෙමෙයි ආශ්‍රය කරන්නේ. මම කිසිම කෙනෙක් එක්ක තරහා නැහැ. අපි ඕනෑ තැනක හලෝ හායි කියනවා. ඕනෑම වැඩකට උදව් කරනවා. අවශ්‍යතාවක් ආවොත් කතාබහ කරනවා. නමුත් කවුරුහරි කියනවා නම් ප්‍රවීණයෝ සමග වැඩ කරන්න අමාරුයි කියලා ඒක බොරුවක්. ප්‍රවීණයෝ තරම් නිහතමානී පිරිසක් මට නම් කොහේවත් හමුවෙලා නැහැ.

ඔබ අතට ලැබෙන පිටපත් ගොඩක් වෙලාවට කතාබහට ලක්වෙනවා?

ඔව් ඉතිං. මේ වෙද්දී මම කවුද කියන එක ක්‍ෂේත්‍රයේ සියලුමදෙනා දැනගෙන තිබෙනවා. ඉතිං ඒ සියලුමදෙනා කියන්නේ වොල්ගා නම් මේක කරාවි කියලා.

● බොහෝ අධ්‍යක්‍ෂවරු හිතන්නේ සීනිබෝල චරිත වොල්ගා රඟපාන්නේ නැහැ කියලද?

ඔව් එහෙම හිතනවා. මම සීනි බෝල චරිත රඟපාන්නේ නැහැ. මම කොහොමත් සාමාන්‍ය ජීවිතයෙත් සීනි බෝලයක් නෙමෙයි. මට තිරයේ ලස්සනට ඉන්න වුවමනාවක් නැහැ. මම රංගනයට හරිම ආදරෙයි වගේම ගෞරව කරනවා. මම ආස මහන්සිවෙලා කරන නිර්මාණවලට.

● ඔබට ඕනෑ පොළොවේ පයගසා සිටින ගැහැනියකගේ ජීවිතය තිරයෙන් පෙන්වන්නද?

මහපොළොවේ පය ගහපු කියන එක නෙමෙයි” බොරු ෆැන්ටසි කියන එක පෙන්වන්න මම ටිකක් ආසා නැහැ.

● වොල්ගා ප්‍රශ්න කියන දේවල් දකින්නේ කොහොමද?

ජීවිතයට ප්‍රශ්න කියන දේවල් එන්න ඕනෑ. එහෙම ආවහම තමයි ජීවිතය කියන එක මොකක්ද කියලා තේරෙන්නේ. මම අවුරුදු විසිපහේදී හිතපු විදිහ නෙමෙයි දැන් හිතන්නේ.

● සමාජ මාධ්‍ය හරහා ගොසිප් කියන එක වවාගෙන කන්න පුරුදු වෙලා නේද?

එහෙම වවාගෙන කන අය ගැන අනුකම්පාවක් තිබෙනවා. අපිට ගොඩක් දෙනෙක්ව කසාද බන්දලා හරි ඔවුන් ජීවත්වෙන එක ගැන සතුටක් තිබෙනවා. මිනිස්සුන්ට බොරු කරලා යාදෙනවා කියන එක හරි අඩුයි.

● සමාජ මාධ්‍ය හරහා ඔබ ගැන නිවැරදි තොරතුරු දැනගන්න පුළුවන් කොහොමද?

එහෙම නැහැ. මට කොහොමටත් යූටියුබ් නාලිකාවක් නැහැ. මම දන්නේ නැහැ මට විතරද කියලා යූටියුබ් නාලිකාවක් නැත්තෙත්. මට ඇත්තටම ඒකට හැකියාව නැහැ. අනික මම එහෙම එකක් කරන්න දන්නෙත් නැහැ. මම පෞද්ගලික ජීවිතය යූටියුබ් වලට නිරාවරණය කරන්න අකමැතියි.

● ගොඩක් නළු නිළියෝ යූටියුබ් නාලිකා කරනවා. ඔබ ඒ වැඩේට නිහඬ ඇයි?

මම වගකීමෙන් කියනවා කවදාවත් මගේ යූටියුබ් චැනල් එකක් එන එකක් නැහැ. යූටියුබ් චැනල් හදන්න පුළුවන් පලියට හදලා හරියන්නේ නැහැ. ඒක කරන්න හැකියාවක් තියෙන්න ඕනෑ. මම යූටියුබ් චැනල් එකක් පටන් අරගෙන මොනවද ඒකේ දාන්නේ. කන බොන සහ නාන එකද?

● ගොඩක් නිළියෝ ඒක කරනවානේ?

මම ඒකට කැමති නැහැ. පෞද්ගලික ජීවිතය සමාජ මාධ්‍යයට නිරාවරණය කරන කෙනෙක් නෙමෙයි” මම මගේ පාඩුවේ ජීවත් වෙන චරිතයක්. රඟපාන්න දක්‍ෂතාවක් තියෙන්න ඕනෑ වගේ යූටියුබ් කරන්නත් දක්‍ෂතාවයක් තියෙන්න එපායැ. මට ඒ දක්‍ෂතාවය නැහැ. මම දන්නේ රඟපාන්න විතරයි.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප – ලක්මාල් සිංහාරගේ

advertistmentadvertistment
advertistmentadvertistment