සිකුරු උච්ච වෙයි – අයි. එම්. එෆ් ගැන කොළ එළියක්

1196

සතුටුදායක ග්‍රහමාරුවක් මෙම මස 15 වැනිදා රාත්‍රී අටයි විනාඩි තුනට සිදුවෙයි. මේ දක්වා කුම්භ රාශියේ ගමන් කළ සිකුරු ග්‍රහයා එදින මීන රාශි ගතවෙයි. සිකුරුට උපරිම බලය හෙවත් උච්ච බලය ලැබෙන්නේ මීන රාශියේදී ය. මාර්තු 12 දක්වා සිකුරු මීන රාශියේ ගමන් කරනවා ඇත. රටේ සාමාන්‍ය තත්ත්වයටත් ලග්න දොළහෙන් බොහෝමයකටත් මේ සිකුරු මාරුව සුබඵල දෙන බව පෙනේ. මේ වනවිට සුබඵල ඇති කිරීමේ ප්‍රධානතම ග්‍රහයා වූ ගුරු ද මීන රාශියේ ම ස්වක්‍ෂේත්‍රව ගමන් ගනී.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලනවිට සිකුරු මාරුවෙන්නේ අප රට හිමි කුම්භ ලග්නයේ දෙවැන්නට ය. දෙවැන්න යනු ධනස්ථානය යි. භාණ්ඩාගාරය සිඳී ගොස් ඇතැයි කියවෙන කාලයක සිකරු හා ගුරුගෙන් භාණ්ඩාගාරය ගැන කියවෙන ධනස්ථානය බලවත්වීම සුබදායක ය. ණය බරින් පීඩිතව සිටින ජනතාව අයි. එම්. එෆ් එකෙන්වත් සහනයක් ලැබේ යැයි බලා සිටිති. කෙසේ හෝ ඉදිරි මාසය ඇතුළත විසඳුමක් අපේක්‍ෂා කළ හැකි වේ.

සිකුරු ග්‍රහයා බොහෝ දේ නිවේදනය කරයි. කරාබුනැටි, සාදික්කා, සියඹලා මෙන්ම මල් වගාව හා ඒ ආශ්‍රිත ව්‍යාපාරවල යෙදෙන අයට මේ ග්‍රහමාරුව සුබදායක වේ. එවැනි ද්‍රව්‍යවල අපනයන කටයුතු දියුණු විය හැකිය. එමෙන් ම සුඛෝපභෝගී මෝටර් රථ වල මිල පහළ යා හැකිය.

චිත්‍රපට, රූපවාහිනී, ගුවන් විදුලි ශිල්පීන්ට සුබදායක වන්නේය. එම ක්‍ෂේත්‍රවල දියුණුවට කරුණු යෙදේ. ගායක ගායිකාවන් රූපලාවන්‍ය ශිල්පීන්, සංගීතඥයන්, හා විවිධ කලා ශිල්පීන්ට නව නිර්මාණ කිරීමට සුදුසු කාලයක් වේ. දෙහි දොඩං, නාරං වල මිල අඩුවිය හැකියි. පලදාව බහුල වේ.

අවිවාහකයින්ට මංගල යෝග යෙදේ. පෙම්වතුන්ට සුබඵල දෙයි. නාට්‍ය, චිත්‍රපට, නිෂ්පාදනයට සුබ කාලයක් වේ. කාන්තාවන් අතුරින් විශිෂ්ට දක්‍ෂතා දක්වන අය පිළිබඳව අසන්නට ලැබේ. කාන්තා නායකත්වය ඉස්මතු වනු පෙනේ. සිකුරු මාරුව වෘෂභ, මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, ධනු, කුම්භ, මීන ලග්න වලින් උපන් අයට විශේෂ සුබඵල ඇතිකරයි. අන් අයට මිශ්‍රඵලදායක වේ.

සිකුරු උච්ච වෙයි - අයි. එම්. එෆ් ගැන කොළ එළියක්

කෑගල්ලේ – සුනිල් කුමාර ගම්ලත්

advertistmentadvertistment
advertistmentadvertistment