කන්න හිතුනාම කබරයා තලගොයා වෙන මොකද්ද මේ සම්ප්‍රදාය?

1196

ශ්‍රී ලංකාවේ සමාජ – දේශපාලන ක්‍ෂේත්‍රවල මතුවී තිබෙන ව්‍යාකූලත්වය පමණක් නොව රටේ විනය හා සදාචාරත්මක වසයෙන් ඇතිවී තිබෙන බරපතළ කඩා වැටීම් සම්බන්ධයෙන් ද අප කිසිවකුට සතුටු විය නොහැක. සමාජ දේශපාලන අංශවල විද්වතුන් හා විවිධ ප්‍රාමාණිකයන් විසින් ද ඒවා පිළිබඳව කරන ලද විශ්ලේෂණවල පොදු අවධාරණය වන්නේ ද අදූරදර්ශී දේශපාලන නායකයන් විසින් දසක ගණනාවක් මුළුල්ලේ රටට සිදු කරන ලද හානිය, විනාශය ඒවාට හේතු වී තිබෙන බවය. නූතන සමාජ දේශපාලනය යනු භූගෝලීය වසයෙන් මෙන්ම කලාපීය හා ගෝලීය තත්ත්වයන් අනුව ද වෙනස් වන්නක් බව අද පිළිගත් කරුණකි. කුමක් වුවත් අද රටක් වසයෙන් අප මුහුණ දී සිටින සමාජ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික දරිද්‍රතාවන්ගෙන් මිදීමට නව ජාතියක් ලෙස එක්ව ජාතික වගකීමකින් ක්‍රියා කළ යුතු බව දේශපාලනඥයන් නොවන සමාජ ක්‍රියාකාරීන් විද්වතුන් ආගමික නායකයන් ප්‍රමුඛ විවිධ කණ්ඩායම් අවධාරණය කර තිබේ. එහෙත් තවමත් එබඳු ජාතික වගකීමක් සඳහා ආණ්ඩුවට හෝ අනෙක් ප්‍රශ්නවලට අවංක වුවමනාවක් ඇති බවක් අපට නම් නොපෙනේ.

මේ වනවිටත් සමාජ දේශපාලන අංශවල ප්‍රමුඛ අවධානයට යොමුව තිබෙන කාරණය වන්නේ ද දවසින් දවස අලුත් වන දේශපාලන කැළබීම් හා වෙනත් උභතෝකෝටිකයන්ට මැදිව ජනකොටස්වල පීඩනයන් පිළිබඳවය. මේ අතර බොහෝ දෙනෙකුගේ සංවාදයට ලක්වූයේ ආණ්ඩුව මැදිවී සිටින අලුත් ආණ්ඩුකාරවරුන් පත් කිරීම සම්බන්ධ වාතාවරණයයි. අනෙක් ප්‍රමුඛ සිද්ධියක් ලෙස මහින්ද රාජපක්‍ෂ යළිත් රටේ අගමැති කරවීමේ ප්‍රයත්නය සම්බන්ධ සංවාදය ද දැක්විය හැකිය. ඒවාට අමතරව ත්‍රිකුණාමලයේ ඇතිවූ විරෝධතාව මෙන්ම කොළඹ වටලා තිබෙන ආරක්‍ෂක විධිවිධාන ගැනද අවධානය යොමු විය. මේවා දේශපාලන ව්‍යාකූලත්වයක පැහැදිලි සංඥා බව අපගේ අදහසය. ආණ්ඩුව මෙන්ම විපක්‍ෂ කණ්ඩායම් මෙබඳු නොවැදගත් අර්බුදවලට මැදිවී සිටින්නේ මෙරටේ බහුතර ජනතාවගේ සැබෑ ප්‍රශ්න පිළිබඳ අසංවේදී වීම නිසා යැයිද කෙනෙකුට තර්ක කළ හැකිය. ඇත්ත වසයෙන්ම අලුත් ආණ්ඩුකාරවරුන් හෝ අලුත් කැබිනට් සංශෝධනයකින් අද තිබෙන කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් ලැබේද රටේ ආර්ථික දේශපාලන මෙන්ම සදාචාරාත්මක කඩාවැටීම් නැවැත්වීමට හෝ යහපත් සමාජයක් උදෙසා ජනතාවට බලාපොරොත්තුවක් ලබාදීමට හෝ එබඳු දේශපාලන අඩයාලම්වලින් පලක් නොවන බව මේ අය නොදනිත්ද?

කෙසේ හෝ අලුතින් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ අර්බුදයට මේ වනවිට ආණ්ඩුව ප්‍රතිචාර දක්වා තිබේ. ඒ සම්බන්ධයෙන් ගොඩ නැඟුණු නීති තර්ක, සදාචාරාත්මක හේතු සාධක කුමක් වුවත් ජනාධිපතිවරයා විසින් උතුර – නැඟෙනහිර හා වයඹ ආණ්ඩුකාරවරුන් එම ධුරවලින් ඉවත් කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශය විසින් කරන ලද නිවේදනය අනුව අලුත් ආණ්ඩුකාරවරුන් පත් කිරීම මෙම බදාදා එනම් 17 වැනි දිනට (අද) නියමිතව තිබෙන්නකි. අප මේ සටහන ලියනවිට තිබුණු තත්ත්වය එයයි. ඇත්ත වසයෙන්ම එම ආණ්ඩුකාරධුර හිස් වුවා යැයි විශේෂ ප්‍රශ්නයක්ද මතු විය නොහැක. එසේ වුවද මෙම අස්කිරීම් හා පත්කිරීම් පිළිබඳව විමර්ශනය කළ යුතුය.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 13 වන සංශෝධනය යටතේ පළාත් සභා ඇතිවීමත් ඒවා සඳහා ජනාධිපතිවරයාගේ ඍජු නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයකු පත්වීමත් නීත්‍යානුකූලව සිදු වන්නකි. ජේ. ආර්. ජයවර්ධනගේ සිට ගෝඨාභය දක්වා විධායක ජනාධිපති ධුරයට පත්වූ හැම නායකයෙක් විසින්ම ඒ කාර්ය ඉටු කරන ලද බවද කවුරුත් දනිති. ව්‍යවස්ථාවේ ඒ සඳහා විශේෂ විධි විධාන දක්වා නැති අතර එය ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සිදුවන්නක් ලෙස සඳහන් කර ඇත. මෙතෙක් ඒ තනතුරු සඳහා පත් වූයේද ජනාධිපතිගේ අභිමතය හා ප්‍රසාදය විශ්වාසය දිනාගත් දේශපාලනඥයන් හෝ වෙනත් අය බවද අපි දනිමු. මහින්ද රාජපක්‍ෂ එම ධුරයට පත්වී මෙරටේ ප්‍රසිද්ධ නායකයෙක් වන කරුණාරත්න දිවුගනේ ද ආණ්ඩුකාරයෙක් ලෙස පත් කළ බව ද කවුරුන් දනිති. එයින් තහවුරු වන්නේ ආණ්ඩුකාර තනතුර යනු නිසැකයෙන්ම ජනාධිපතිවරයකුගේ සමීපතමයකු ඔහුගේ දේශපාලන ආධාරකරුවකු විනා වෙනත් වෘත්තිය හෝ ඉහළ අධ්‍යාපන හෝ පරිපාලන සුදුසුකම් සහිත අයෙක් වීම අනිවාර්ය නොවන බවය.

කෙසේ වුවද ජනාධිපති රනිල් එම ධුරයට පත්වීමත් සමගම මෙරටේ ආණ්ඩුකාර ධුරවල සිටි කිසිවෙක් ඉල්ලා අස් නොවූහ. එයට හේතුව එම පත් කිරීම් ඊට පෙර සිටි ජනාධිපති ගෝඨාභයගේ හෝ ඔහුගේ පොහොට්ටු පක්‍ෂයේ අභිමතය පරිදි සිදුවී තිබීම විය යුතුය. විශේෂයෙන් ගෝඨාභය ඔහුගේ ධුරකාලය තුළ බොහෝ තනතුරුවලට ආරක්‍ෂක අංශවල ප්‍රධානීන් පත් කිරීමේ ප්‍රවණතාවක් ද තිබුණි. දේශපාලන පසුබිමක් තිබුණත් එබඳු පරිචයක් නොවූ හමුදා නිලධාරියකු ලෙස සේවය කළ ගෝඨාභයගේ විශේෂ මිනුම් දණ්ඩ වූ හමුදා පත්කිරීම් ප්‍රශ්නකාරී වූ අවස්ථාද තිබුණි. එය වෙනම සාකච්ඡා කළ යුත්තකි. එහෙත් ඔහු විසින් පත් කරන ලද වසන්ත කරන්නාගොඩ හිටපු නාවික හමුදාපති හා රොෂාන් ගුණතිලක (හිටපු ගුවන් හමුදාපති) පිළිවෙළින් වයඹ හා බස්නාහිර ආණ්ඩුකාරවරුන් ලෙස පත්වූයේ ඔවුන් විසින් එදා කොටි ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වූ මානුෂික මෙහෙයුමෙහිදී ඉටු කරන ලද කාර්යභාරයද සැලකිල්ලට ගනිමින් විය යුතුය. එම පත්වීම් ගෝඨාභයගේ ප්‍රසාදයට විශ්වාසයට වඩාත්ම උචිත ඒවාද විය හැකිය.

කන්න හිතුනාම කබරයා තලගොයා වෙන මොකද්ද මේ සම්ප්‍රදාය?

මේ වනවිට ඔහු විසින් පත් කරන ලද අනුරාධා යහම්පත් (නැඟෙනහිර) ජීවන් ත්‍යාගාරාජා (උතුර) හා වසන්ත කරන්නොගොඩ (වයඹ) එම තනතුරුවලින් ඉවත් කර ඇත. රනිල් විධායක ජනාධිපතිධුරයට පත්වූ ආකාරය මෙන්ම ඒ වනවිට මෙරටේ උද්ගතව තිබුණු සමාජ ආර්ථික හා දේශපාලන බිඳවැටීම කවුරුත් දන්නා කරුණුය. එසේම රනිල්ට එම ධුරය භාර කරන ලද්දේ පොහොට්ටුවේ නායකයන්ගේ අභිමතය හා ආශිර්වාදය ඇතිවය. කුමක් වුවත් ජනාධිපති රනිල් එම ධුරයට පත්වීමෙන් පසු ඒ වනවිට ගෝඨාභය විසින් සිදු කරන ලද කිසිදු ආකාරයක පත්වීමක් වෙනස් කිරීමට හෝ අලුතින් එම ආයතනවලට පත් කිරීමට හෝ පියවර ගත්තේද නැත. මාස ගණනක් කිසිදු ප්‍රශ්නයක් මතු වූයේද නැත. විශේෂයෙන් රාජ්‍ය මාධ්‍යවල පවා අලුත් පත්කිරීම් සිදු නොවීය.

පොදුජන පෙරමුණත් රාජ්‍යපක්‍ෂ කඳවුරත් මුහුණ දුන් අභියෝග ගැටලු සමථයකට පත් කිරීමට ද ජනාධිපති රනිල්ට හැකිවිය. ඒ පිළිබඳව ඔහුට අප්‍රමාණ පැසසුම්, පමණක් නොව ප්‍රශස්තිද ගැයීමට පොහොට්ටුව පියවර ගෙන තිබුණි. එසේ වුවද හදිසියේම මෙම ආණ්ඩුකාර පත්වීම් ගැන සිදුවීම මතු වූයේ කෙසේද? එබඳු වුවනාවක් පොහොට්ටුවට තිබුණු බවක්ද නොපෙනේ. අප දන්නා පරිදි පොහොට්ටුවට තිබුණේ තම පක්‍ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ට යළිත් එම ධුර ලබාගැනීමේ වුවමනාව පමණි.

කුමක් වුවත් ජනාධිපති රනිල් ඒ කාර්යට අත ගැසුවේද නැත. මෙය පොහොට්ටුවට දරා ගැනීම අසීරු වුවත් එය නිසැකයෙන්ම අද තිබෙන දේශපාලන යථාර්ථය හොඳින් දන්නා නායකයකු ලෙස ජනාධිපති රනිල් ගත් හොඳ පියවරකි.

හැටනව ලක්‍ෂයක ජනවමරක් සහිතව බලයට පැමිණි ගෝඨාභයට එම ධුරය අතහැර රටින් පැනයෑමට සිදුවීම මෙන්ම ගාලු මුවදොර අරගලය පිළිබඳ නිවැරදි කියැවීමක්ද ඇතැයි සිතිය හැකි නායකයකු ලෙස ජනාධිපති රනිල් රට තුළ ආර්ථික දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැඟීම ගැන කාගේත් ප්‍රසාදය ලැබුණි. අද ඔහුට චෝදනා නැඟෙන්නේ ගාලු මුවදොර අරගලය නිර්දය ලෙස මර්දනය කළ ආකාරය ගැනය ඇත්තටම රනිල් ජනාධිපති වීමට පෙර අරගලයට දැක්වූ ප්‍රතිචාරය මෙන්ම ජනාධිපති වීමෙන් පසු එය මර්දනය කළ ආකාරය ගැන අපට ද විවේවචන තිබේ. එසේම ගාලු මුවදොර අරගලයට වසරක් පිරෙන විට එහි තත්ත්වය කුමක්ද? ඒ විරෝධතාකරුවන්ට එම අරගලභූමිය පවා තහනම් කර තිබුණි. එසේම එම අරගලයේ සමහරු මේ වනවිට ආණ්ඩුව සමග මෙන්ම විපක්‍ෂවලට ද එක්ව සිටිති. නිර්පාක්ෂික අරගලයක් ගැන මොර දුන් සමහරු අද මුනිවත රකිති.

මෙම අරගලයේ ඇතුළත සිදුවීම් මාලාව ගැන විමල් වීරවංශ විසින් ලියන ලද කෘතියක්ද වේ. එසේම අරගලයට ලැබෙන අවමන් ගැරහුම් පරිභවද බොහෝය. ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු එයට නිර්ධය අවලාද නඟති. කුමක් වුවත් ඒවා වෙනම සාකච්ඡා කළ යුතු කරුණුය. අප සඳහන් කරන්නේ ඒ සියල්ල පටු දේශපාලන ද්‍රෘෂ්ටිවලින් බලා අමතක කිරීම මෙන්ම එයින් උගත යුතු පාඩම් අමතක කිරීම බරපතළ කරුණක් බවය. ඇත්ත වසයෙන්ම අරගලයෙන් පසු මෙ රටේ දේශපාලනය තුළ කවර හෝ වෙනසක් අරගලකරුවන් ඉල්ලු සිස්ටම් චේන්ජ් එකක් සිදු වූයේද නැත. අද අපට පෙනෙන දෙය නම් එදා පසු බැස ගිය ගර්හිත දේශපාලන ක්‍රමය යළිත් නඩත්තු කිරීමට විවිධ පියවර ගනිමින් සිටින බවය.

ජනාධිපති රනිල් එළැඹෙන ජනාධිපතිවරණයෙහි අපේක්‍ෂකයා වන බවට පැතිර තිබෙන පුවත් සම්බන්ධයෙන් පොහොට්ටුව තුළද විවිධ අදහස් තිබේ. පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් පසුගිය දිනක ප්‍රකාශ කළේ රනිල් ජනාධිපති කළේ තම පක්‍ෂය බවත් ඔහුට පැවරී තිබෙන්නේ ගෝඨාභ යගේ ධුර කාලයෙහි ඉතිරි කොටස ගෙවීම බවත්ය. එහෙත් රනිල් ඒ තාක්ෂණික තර්කයට අනුව ක්‍රියා නොකරන අතරම ඔහුගේ දේශපාලන බලය ගොඩ ගැනීමේ අරමුණකින් සිටින බවද පෙනී යයි. මෙම ධුරයට පත්වීමට පෙර ඔහු වඩාත් උනන්දු වූයේ ජනාධිපති බලය අඩු කිරීමටත් ව්‍යවස්ථාදායකය ශක්තිමත් හා පුළුල් ආයතනයක් ලෙස ගොඩ නැඟීමත් සඳහාය. එහෙත් අද ඔහු යොමුව සිටින්නේ විධායක බලය ප්‍රවර්ධනය කෙරෙන ආකාරයේ නීති සම්පාදනයට බව පෙනේ. ඔහුට පාර්ලිමේන්තුවට බලපෑම් කරන බවට චෝදනාවක්ද නැඟුණි. මෙය ඔහුගේ දේශපාලන නායකයා මෙන්ම ගුරුවරයා ද වූ ජේ. ආර්. ජයවර්ධනගේ ආභාසය නිසා ඇතිවූ අලුත් තත්ත්වයක්ද නොඑසේ නම් විධායකය සඳහා පත්වූ හැම නායකයකුටම ඇතිවූ බලය පිළිබඳ තෘෂ්ණාවෙහි ඵලයක් ද ඔහු විසින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ කල් දැමීමට ක්‍රියා කරන ලදැයි ද විවේචනයක් ඇත. එසේ වුවද දැන් ඔහු තුළ ජනාධිපතිවරණයක අපේක්‍ෂාවෙන් වැඩෙන බව පෙනේ.

විධායක ජනාධිපතිවරයකු සතු බලය භාවිත කරමින් ඔහු විසින් ආණ්ඩුකාරවරුන් කීපදෙනෙකු ඉවත් කළ ආකාරය ගැනද විවේචන තිබේ. විශේෂයෙන් රණවිරු සතියක සැමරුම් අබියස එදා සටන් බිමට ගිය වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එම ධුරය ද අහිමි කරනු ලැබ ඇත. එය එක්තරා ආකාරයක දෛවයේ සරදමක් වැන්න. පොදු ජනපෙරමුණේ ජාතිකත්වය අගයන නායකයන් සිටියදීත් ඔහුට එබඳු දෙයක් සිදු වීම සමහරුන්ගේ මවිතයට හේතු වූවකි.

මෙම ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් මතු වූ තවත් ගැටලුවක්ද විය. ඒ ඔවුන් අලුත් ජනාධිපතිවරයකු පත්වීමෙන් පසු එම ධුර අත්හැරීමේ සම්ප්‍රදාය අනුගමනය නොකළ බවය. මේ පිළිබඳව විවාදයකට යා යුතු නැති වුවද මෙරටේ එබඳු සම්ප්‍රදායක් එනම් අලුත් ජනාධිපතිවරයකු පත්වූ පසුව ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීමේ පිළිවෙතක් තිබුණි දැයි අපට නම් මතක නැත. එදා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවයෙන් පසු එම ධුරයට පත්වූ අනුප්‍රාප්තික ජනාධිපති ඩී. බී. විජේතුංග විසින් නම් එබඳු කවර හෝ වෙනසක් කළ බවක්ද අපට මතක නැත. ඔහු එජාපයේම අගමැතිවරයා ලෙස සිටීම නිසා එසේ ක්‍රියා කළේදැයි අපි නොදනිමු. ජනාධිපති රනිල් ද පොහොට්ටුවේම අභිමතය පරිදි පත්වූවකි. එසේම ඔහුද අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකි. එනිසා ඔහුගේ පත්වීම සමග අලුත් දේශපාලන සම්ප්‍රදායක් හෝ පැවති සම්ප්‍රදායන් ආරක්‍ෂා කිරීමක් හෝ සිදුවිය හැකිද?

කෙසේ වුවද අපේ දේශපාලන නායකයෝ මෙබඳු සම්ප්‍රදායන් ගරු කරන්නෝද ඔවුන්ගේ සියලු අපේක්‍ෂා බලය හා පක්‍ෂය වටා කේන්ද්‍ර වූ දේවල් පමණි. මෙයට හොඳම නිදසුන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබාදෙන ආකාරයයි. එදා දේශපාලන විචාරකයන් අපේක්‍ෂා කළේ ජාතික ලැයිස්තු සඳහා විද්වතුන්, වෘත්තිකයන්, ප්‍රකට බුද්ධිමත් පුද්ගලයන් මන්ත්‍රීවරුන් ලෙස පත්කර රටට සේවයක් ලබාගැනීමය. එහෙත් අද එය තවත් දේශපාලන පරාජිතයන් සුරකින ක්‍රමවේදයක් පමණි. එනිසා අපේ රටේ සම්ප්‍රදායන් යනු ජනවහරේ එන පරිදි කබරයා තලගොයා ලෙස අනුභව කිරීමේ වංචනික ක්‍රියාවක් පමණි. සම්ප්‍රදාය යනු සදාචාරාත්මක වූද ආචාර ධර්ම අගය කරන්නා වූද සංස්කෘතික සම්මුතියකි. ඒවා නීතිමය නියෝග නොවේ. ගරු කිරීම්, ඇගැයීම් තුළින් පිළිබිඹු වන මානව වටිනාකම්ය. එනිසා ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීම සම්ප්‍රදායකැයි මොර දෙන අයගේ හෘදය සාක්ෂිය ගැන අපට ප්‍රශ්නයක් තිබේ. අප අභියෝග කරන්නේ අපේ දේශපාලනයේ තිබෙන සම්ප්‍රදායන් වටිනාකම් කෙබඳුද? ඒවායින් එක්ක දෙකක් හෝ අපට පෙන්වා දිය හැකි අයෙකුට ඉදිරිපත් වන ලෙසය.

මේ වනවිට ආණ්ඩුකාර ප්‍රශ්නය මෙන්ම මහින්ද යළි අගමැති කරවීම සම්බන්ධ කරුණු ද විසඳී අවසන්ය. හෙට කුමක් සිදුවිය හැකිද? අලුතින් පත්වන ආණ්ඩුකාරවරුන් සමග අලුත් සමාජ දේශපාලන ගමනක් යෑමට හැකි වනු ඇද්ද අපි විමසිල්ලෙන් සිටිමු.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment