ක්‍රිකට් තහනමක් ඉල්ලීම රට පාවාදීමක්

144

ශ්‍රී ලංකා ක්‍රිකට් යැවූ රහස් ලිපි ඇමැති පෙන්වයි

කුසලා සරෝජනී වාර්තාව විගණන වාර්තා හා කෝප් වාර්තා සඟවලා – ඇමැති කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලිඛිතව ඉල්ලා ඇති බව, ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ අනාවරණය කළේය.

2023 නොවැම්බර් 7 වැනිදා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වෙත යවා ඇති ලිපියක මේ බව දැක්වෙන බව ද එය දේශද්‍රෝහි ලියවිල්ලක් බව ද ඇමැතිවරයා කීය.

ක්‍රීඩා ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තහනම් කරනු ලැබුවේ කිසිදු විමර්ශනයකින් තොරව බවට මෙරට ක්‍රිකට් ආයතනය ICC යට ඉදිරිපත් කළ කරුණු අසත්‍ය බවත් ක්‍රිකට් ආයතනය තහනම් කළේ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් පත්කළ කමිටු වාර්තාව විගණකාධිපති වාර්තා සහ කෝප් වාර්තා සැලකිල්ලට ගැනීමෙන් බවත් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (19 දා) පැවසීය. 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ද මෙරට නොපවත්වා වෙනත් රටකට දෙන ලෙස ක්‍රිකට් ආයතනය ICC යෙන් ඉල්ලා ඇතැයි ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ICC ය ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ඊයේ (19 දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රිකට් ආයතනය තහනම් කරනු ලැබුවේ කිසිදු විමර්ශනයකින් තොරව බවට ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 6 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ICC යට ලිපියක් යොමුකර ඇති බවත් එම ලිපිය මගින් තමාගේ තනි තීරණයට ක්‍රිකට් ආයතනය තහනම් කර ඇති බවට සිදුකර ඇති දැනුම්දීම නිවැරදි නොවන බවත් ඇමැතිවරයා පැවසීය. ICC යට යොමුකළ එම ලිපියේ කුසලා සරෝජනී වාර්තාව මගින් හා විගණකාධිපති වාර්තා මගින් පෙන්වාදී ඇති දූෂණ අක්‍රමිකතා පිළිබඳව කිසිවක් සඳහන් කර නැතැයි ද ඇමැතිවරයා පැවසීය.

ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් කුසලා සරෝජනී වාර්තාව, විගණකාධිපති වාර්තාව සහ කෝප් කමිටු වාර්තා නිකුත්ව තිබියදී පසුගිය දිනෙක රැස්වූ කෝප් කමිටුව චිත්‍රපටයක් කරන්න හැදූ බවත් එහිදී රැස්වන පැය දෙකේදී ක්‍රිකට් ආයතනයේ දූෂණ, අක්‍රමිකතා ගැන විමසීම වෙනුවට චක්‍රලේඛ නිකුත්කිරීම් ඇතුළු කාලය කාදැමීමක් නිරීක්‍ෂණය වූ බවත් ඒ ගැන සමාජ මාධ්‍යවල ‘හොරු අල්ලන්න කෝප් කමිටුව පත් කළත් හොරුන් කෝප් කමිටුව අල්ලා ඇතැයි සටහන් පළකර ඇති බවත් පැවසිය. මේ නිසා පාර්ලිමේන්තුව ද උපහාසයට ලක්විය හැකි බව ඇමැතිවරයා කීවේය.

ක්‍රිකට් ආයතනය ICC යට ලිපි ලිවීමේදී විධායක කමිටුව රැස්වී තීරණයක් ගත යුතු වුවත් තමා පත්කළ සාමාජික අසන්ත ද මෙල් මහතා ICC යට ක්‍රිකට් ආයතනය යොමුකළ ලිපිය ගැන කිසිවක් දැන සිට නැතැයි ද පැවසූ ඇමැතිවරයා ක්‍රිකට් ආයතනය ICC යට ලිපිය යොමු කිරීමෙන් පසු ක්‍රිකට් ආයතනයේ නියෝජ්‍ය සභාපති සහ හිටපු ලේකම් මොහාන් සිල්වා මහතා ඉල්ලා අස්වී ඇතැයි ද කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 06, 07, 09 යන දිනවල ICC ය වෙත ලිපි යොමුකර ඇති බවත් 07 වැනිදා ලිපිය රට පාවාදීමේ ලිපිය ලෙස තමා දකින බවත් කී ඇමැතිවරයා ක්‍රිකට්වලට එය කළු පැල්ලමක් බව ද කීය.

ඕනෑම රටක පනත් සකස් කිරීමේ බලය පාර්ලිමේන්තුවට පවතින බවත් එයද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අභියෝගයට ලක්කර ඇති බවත් පැවසූ ඇමැතිවරයා එල්පීඑල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියක් අවශ්‍ය නැතැයි ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබෙන අතර ක්‍රීඩා පනතට අනුව එසේ සිදුකළ නොහැකි බවත් කීවේය. එවැනි තරගාවලියක් හෝ වෙනත් රටක් සමග තරග පවත්වනවා නම් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය අවශ්‍ය බව පනතේ සඳහන්ව පවතින බව ද ඇමැතිවරයා කීය.

ක්‍රිකට් ආයතනයෙන් මුදල් ඉල්ලා තර්ජනය කළ බවට ක්‍රිකට් සභාපතිවරයා චෝදනා එල්ල කළත් ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදලින් සියයට 20ක් රටේ වෙනත් ක්‍රීඩා දියුණු කිරීම සඳහා යෙදවීමට අවධානය යොමුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ද කාරුණිකව ඉල්ලා ඇති අතර එය තර්ජනයක් දැයි ඇමැතිවරයා විමසීය. රටේ මූල්‍ය අර්බුදයක් පවතින නිසා අනෙකුත් ක්‍රීඩා සංවර්ධනය සඳහා ලබාදෙන මුදල්වලින් එම ක්‍රීඩාවලින් ලබන ජයග්‍රහණ වල දායකත්වය ක්‍රිකට් ආයතනයටත් ලැබන බව ලේකම්වරයා මුදල් ඉල්ලා යොමුකළ ලිපිවල සඳහන් කර ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment