රට ස්ථාවර කිරීමට ජනාධිපතිට නැවත අවස්ථාවක් ලබාදිය යුතුයි – ඇමැති ප්‍රසන්න රණතුංග

42

ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

මිනුවන්ගොඩ හා ගම්පහ පළාත් පාලන නියෝජිතයන් සමඟ 15දා උඩුගම්පල පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේබව සඳහන් කළේය.

ගම්පහ සහ මිනුවන්ගොඩ ආසනවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රණතුංග මහතා මෙසේද පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව මොකද කරන්නෙ කියලා හැමෝම අහනවා. පොහොට්ටුව තවම අපේක්ෂකයෙක් තෝරලා නැති බව මම ඉතා වගකීමෙන් කියනවා. අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද නැද්ද කියල පක්ෂය තවම සලකා බලමින් ඉන්නවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතු බව මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ජනාධිපති වෙලා නැවැත වරක් රට පාලනය කරන්න ඔහුට ඉහළම සුදුසුකම් තිබෙනවා.

මීට වසර දෙකකට පෙර රටත් ජනතාවත් අතිශයින්ම ඛේදජනක ඉරණමකට මුහුණ දුන්නා. ජනතාව පෝලිම්වල අපා දුක් වින්දා. නමුත් අද වනවිට එදා තිබූ ‍බොහෝ ප්‍රශ්න නිරාකරණය වෙමින් තිබෙනවා. එහෙත් තව රාශියක් ඉතිරි වෙලා තිබෙනවා. හැමදාම මේ රටේ ජනතාව ජනාධිපතිවරු තේරුවේ ජාතික ප්‍රශ්න විසඳීම මූලික කරගෙනයි. 2004දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කළේ යුද්ධය දිනන්නයි. 2015 මෛත්‍රීපාල සිරිසේන පත් කළේ යහපාලනය ‍ස්ථාපිත කරන්නයි. 2019දි ගෝඨාභය රාජපක්ෂ දිනෙව්වෙ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නයි. එහෙනම් අපි අද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න ඕන රටේ ආර්ථිකය සුරක්ෂිත කරන්නයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා නම් අපි පක්ෂක් ලෙස සන්ධානගතව ඔහුට සහය දිය යුතුයි කියන තැන මම ඉන්නවා. වත්මන් ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුත්තේ “ජාතික අපේක්ෂකයා” ලෙසයි.දැන් ජනාධිපතිවරණ අපේක්ෂකයෝ වැහි වැහැලා. එක එක ජාතියේ අපෙක්ෂකයෝ එනවා.

මේක අත්හදා බැලීම් කරන කාලයක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ කයිවාරු නැති වැඩ විතරක් තියෙන අනාගතවාදී නායකයෙක්. ඒ නිසා ජනාධිපති ධූරයට මේ මොහොතේ ඉහළම සුදුස්සා වත්මන් ජනාධිපතිවරයායි.

advertistmentadvertistment
advertistmentadvertistment