ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට සමාන ව්‍යාජ ලිපි ශීර්ෂයක් ගැන ලාල් කාන්තගෙන් සීඅයිඩීයට ප්‍රකාශයක්

83

කිසිවකු විසින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලිපි ශීර්ෂයට සමාන ව්‍යාජ ලිපියක් වෙබ් අඩවියක පළකර, වෘත්තීය සමිති ආඥා පනත උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාළව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16 දා) පැය එකහමාරක පමණ කාලයක් කටඋත්තරයක් ලබාගෙන තිබේ.

2021 වසරේදී පළ වූ බව කියන මෙම ලිපිය සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, ලාල් කාන්ත මහතාට දැනුම් දී ඇත.

කොවිඩ් වසංගත සමයේ පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ට ලබාදෙන දීමනා, කප්පාදු කිරීම නිසා ඒ අයිතීන් වෙනුවෙන් තම මධ්‍යස්ථානය යටතේ ඇති වෘත්තීය සමිතිවලට බැඳෙන ලෙසට ව්‍යාජ ලිපි ශීර්ෂය සහිත ලිපියෙන් ඉල්ලා ඇත.

ඒ අනුව ඒ සම්බන්ධව කරන විමර්ශන සඳහා ලාල් කාන්ත මහතාව ඉකුත් 2023 වසරේ පෙබරවාරියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

එවකට ප්‍රකාශයට පත්කර තිබූ පළාත් පාලන මැතිවරණ කටයුතු නිසා වෙනත් දිනයක් ඉල්ලූ පසු ලාල් කාන්ත මහතාට කටඋත්තරයක් ලබාදීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (16 දා) පෙනී සිටින ලෙස දන්වා ඇත.

ඒ අනුව අදාළ ලිපි ශීර්ෂය ව්‍යාජව සැකසූ එකකැයි ද එය මුල්වරට දුටුවේ මේ මොහොතේ යැයි ද ලාල් කාන්ත මහතා කටඋත්තර ලබාදෙමින් කියා ඇත. මෙය හිතාමතා ජනතාව නොමඟ යැවීමටත්, බියවැද්දීමට හෝ වගකීම් විරහිතව ක්‍රියාකරන බව ඒත්තු ගැන්වීමට කිසියම් කණ්ඩායමක් කළ සැලසුමක් විය හැකි බව ද ඒ මහතා කියා ඇත.

ලාල් කාන්ත මහතාගේ කටඋත්තරයෙන් පසු මෙම ව්‍යාජ ලිපි ශීර්ෂය පිළිබඳ ඉදිරි විමර්ශන සිදුවනු ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියා ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment