මේක මෙහෙම අතාරින්න එපා.. මේක මනුස්ස ජීවිතයක් එයාලට ඒ ජීවිතේ වටින්නෙ නැති වුණාට අපිට මල්ලි ලෝකයක් සඳරුගේ සහෝදරිය

මීට දශක ගණනාවකට පෙර මෙරටට පැමිණි රොබට් නොක්ස් ප්‍රමුඛ නෞකාව වෙළෙඳ නාවිකයන් පිළිබඳ මූලාරම්භයට හිමිකම් කියයි. එතැන් පටන් කුළුබඩු සොයා මෙරටට පැමිණි වෙළෙඳ නාවිකයන්ගේ ආගමනයෙන් මෙරට වෙළෙඳ නාවික පරිච්ඡේදය ආරම්භ විය. වෙළෙඳ නාවික රැකියාව ලොව පිළිගත් ඉහළ වැටුප හිමි රැකියාවන්ගෙන් එකක් වන අතරම ලොව අවදානම් රැකියාවලින් එකක් ද වෙයි. වෙළෙඳ නාවික කාර්යාලය විසින් අනුමත වෙළෙඳ නාවික පාඨමාලාවක් හදාරා නිසි අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කළ වයස අවුරුදු 18ට වැඩි නිසි කායික හා මානසික සුවතාවයෙන් හිමි අයවලුන්ට වෙළෙඳ නාවිකයකු විය හැකිය. මෙලෙස තම නාවික ජීවිතය ආරම්භ කරන නාවිකයන්ට තම පලපුරුද්ද හා වෘත්තීය දැනුම මුවහත් කර ගනිමින් ඉහළ නිලධාරී මට්ටම දක්වා උසස් විය හැකිය. ශ්‍රී ලාංකිකයන් 48,134ක් පමණ දැනට අඛණ්ඩ විසර්ජන සහතික (CDC) ලබාගෙන සමුද්‍ර වෘත්තිකයන් බවට පත්ව ඇති අතර ඔවුන්ගෙන් 22,000ක් පමණ ක්‍රියාකාරී වෙළෙඳ නාවිකයන් ලෙස මේ වන විටත් ක්ෂේත්‍රයේ සේවය කරති. වෙළෙඳ නාවිකයා ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ගෙන එන ජාතික ආර්ථිකයේ ජීවනාලිය වන් වෘත්තිකයෙකි. වෙළෙඳ නාවිකයන් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 200-300 පමණ වටිනා විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ගෙන එයි. පළපුරුදු නාවිකයකුට පවතින ඉල්ලුම ඉහළ අගයක් ගනී.

එසේම ඔවුන්ගේ වැටුප ද ඉහළ අගයක් ගනී. මොවුන්ගේ සාමාන්‍ය මාසික වැටුප දළ වශයෙන් ඇමෙරිකන් ඩොලර් 500 ක් පමණ අගයක් ගනී. මෙය ඉහළ වෘත්තීමය වටිනාකමක් තිබෙන රැකියාවකි. ඒ නිසාවෙන්ම ඉහළ සමාජ පිළිගැනීමක්ද වෙළෙඳ නාවුකයන්ට හිමිය. එසේම සමුද්‍ර නාවිකයන්ට අනෙකුත් රැකියාවල නියත අයවලුන්ට වඩා රැකියාව යෙදෙන අතරතුර විවිධ රටවල සංචාරය කරන නිසාවෙන් පෙර නොදුටු ස්වභාව සෞන්දර්යෙහි ආශ්චර්යය විඳගත හැකිය. නමුත් මෙම රැකියාව තුළ තිබෙන දුෂ්කරතා පිළිබඳව ද කිව යුතුම ය. වෙළෙඳ නාවිකයා යනු නිසල සයුර මධ්‍යයේ සුවපහසු ජීවිතයක් ගත කරන්නෙක් නොවේ. ඔවුන්ට දින, සති, මාස, අවුරුදු ගණනක් තම ප්‍රියයන්ගෙන් වෙන්ව ගතකිරීමට සිදුවේ. එසේම සමහර නෞකාවල දුරකථන සංඥා පහසුකම නොමැතිවීම නිසා තම නිවැසියන්ගේ තොරතුරක් දැන ගැනීමට ඔවුනට සති ගණනාවක් ගත වේ. සමුද්‍ර යාත්‍රාකරුවන්ගේ ජීවිතයෙන් 80% පමණ ගත කිරීමට සිදු වන්නේ තම නිවැසියන් නොමැතිව හුදකලාවය. මහ සයුර මැද දිවා රෑ යාත්‍රා කරන නෞකාවක අප්‍රතිහත ධෛර්යය, ආත්ම විශ්වාසය හා කැපවීම මත රැකියාව කිරීමට ඔවුන් බැඳී සිටී. තම රැකියාවේ දුෂ්කර බව පසෙකලා ඔවුන් දිවා රෑ නොබලා සයුරු මැද ජීවන සටනේ යෙදෙන්නේ යහමින් කාසි සොයා තම ජීවිතය යහපත් එකක් කරගැනීමට ය. දහසකුත් බලාපොරොත්තු තබා තම සැමියා, දරුවා හෝ ආදරවන්තයා නැවත මෙරටට පැමිණෙන තෙක් දෑස අයා බලා සිටිනා නාවිකයන්ගේ ලබැඳියන්ද ගත කරන්නේ වචනයෙන් කියා නිම කළ නොහැකි හැඟීම් සමුදායක් ලයෙහි හොවාගත් අසීරු කාලයකි.

සයුරු ගිය සඳරු කෝ… මේක අභිරහස් දෙයක්, මට මේක සැක සහිතයිසඳරුගේ පියා කියයි

මෙලෙස දහසකුත් හීන පොදි බැඳගෙන තම නාවික ජීවිතය ගත කරමින් සිටි හොරණ, අඟුරුවාතොට උඩුනුවර ප්‍රදේශයේ චිරාත් සඳරු නම් 21 හැවිරිදි තරුණයාට මුහුණපාන්නට සිදුවන්නේ කිසිවකුත් අනපේක්ෂිත සිදුවීමකට ය. මෙම තරුණයා ඉකුත් ජනවාරි දෙවැනි දින ජර්මනියේ පීටර් ඩොලේ නම් නැව් සමාගමට අයත් සෙන්ටුකා බී නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙහි සේවයට ගොස් ඇත. ඔහු පෘතුගාලයේ ලිස්බන් වරායෙන් ඉකුත් ජනවාරි නැවට ගොඩ වී ඇති අතරම එදින සිට පෙබරවාරි 17 වන දින තෙක් ඔහු සාමාන්‍ය පරිදි ඔහුගේ රාජකාරි සිදු කර ඇත. නමුත් හදිසියේ ඔහු ගැන අසන්නට ලැබුණේ සඳරුගේ නිවැසියන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයකි. පෙබරවාරි 18 වන දින ඔහු නෞකාවේ සේවයට යොමු කළ මෙරට මර්ක් මැරීන් සමාගමේ කළමනාකරුවන් දෙදෙනකු උඩුනුවර පිහිටි සඳරුගේ නිවසට පැමිණ ප්‍රකාශ කර තිබුණේ සඳරු 17 වන දින මුහුදට වැටී ඇති බවත් ඒ සම්බන්ධව පරීක්ෂණ සිදු කරගෙන යනු ලබන බවත්ය. මේ පිළිබඳව චෙනාදී ද සිල්වා (සඳරුගේ සහෝදරිය) පවසන්නේ අවස්ථා හතරක දී ඔවුන්ට මෙරට නැව් සමාගමේ නියෝජිතයන් පරස්පර විරෝධී කතාවන් පැවසූ බවයි. “ජනවාරි 2 ඉඳන් පෙබරවාරි 17 වෙනකම් කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. එයා සතුටින් නැවේ හිටියා. 18 වෙනිදා උදේ නැව් ඒජන්සියෙන් කියනවා අපිට මල්ලි රෑ මුහුදට වැටිලා තියෙනවා. නැවේ කාර්ය මණ්ඩලයේ ඒක දන්නෙ පැය හතරකට පස්සෙ කියලා තමයි අපිට මුලින්ම කිව්වේ. එදාම දෙවැනි පාරට කතා කරලා කිව්වා මල්ලි දවල් 2.30 වැටිලා තියෙන්නේ වැටෙනවා කෙනෙක් දැකල කියලා. විනාඩි තුනක් ඇතුළත මෙයා බේරගන්න රෙස්කිවු මිෂන් එකක් පටන් ගත්තා කියලත් කිව්වා. තුන්වෙනි පාරට එයාලා කියනවා නැවේ සෙකන්ඩ් ඔෆිසර් ඩියුටි ඉන්න වෙලාවක තමයි මල්ලි වැටිලා තියෙන්නේ CCTV වලින් දැකලා තියෙනවා මුහුදට වැටෙනවා කියලා. හතරවෙනි පාරට කියනවා මල්ලි තුන්දෙනෙක් එක්ක කන්ටේනර්ස් චෙක් කරන්න ගිහිල්ලා තියෙනවා. ඒවා චෙක් කරලා අනිත් අය නැව ඇතුළට ආවත් මල්ලි ඩෙක් එකේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ මල්ලි මිසින් කියලා එන්ජින් රූම් එකේ කෙනෙක් දන්වලා තියෙනවා කියලා. ඊට පස්සේ අපි ඇහුවා මල්ලි අතුරුදන් කියන්නේ මුහුදට වැටිලා කියලා කවුරුහරි දැකල තියෙනවද කියලා එතකොට කියනවා එයාලා නැහැ කවුරුවත් දැකල නැහැ එන්ජින් රූම් එකේ කෙනා තමයි කියලා තියෙන්නේ කියලා. එන්ජින් රූම් එකේ කෙනයි ඩෙක් එකේ වැඩ කරන කෙනයි අතර කිසිම සම්බන්ධයක් නැහැ නේ. එතකොට එතනත් අපිට සැකයක් තියෙනවා. මුලින් කිව්වා සීසීටීවී තියෙනවා අපි ඒවා කම්පැනියෙන් ඉල්ලලා තියෙන්නේ ඒවා හම්බුනාම ඔයාලට දෙන්නම් කියලා. ඊට පස්සෙ කියනවා සීසීටීවී මුකුත් නැහැ ඒ නැවේ සීසීටීවී වැඩ කරන්නේ නැහැ කියලා. එකම සීසීටීවී එකක්වත් වැඩ කරන්නේ නැති නැවක් තියෙනවා කියලා අපිට පිළිගන්න අමාරුයි. මේගොල්ලෝ හැමදේම කියන්න එයාලගේ වාසියට විතරයි. මල්ලිට වුණ දේ හොයලා බලන්නේ නැහැ. එයාලා වන්දිය ගන්න කියලා කියනවා..” සඳරුගේ සහෝදරිය තවදුරටත් පවසන්නේ මෙවන් දෙයක්, මම ජනාධිපතිතුමා, පොලිස්පතිතුමා ඇතුළු හැමෝගෙන්ම ඉල්ලන්නේ එයා අවුරුදු 21ක පොඩි ළමයෙක්. එයාගේ ජීවිතය දිනන්න තමා එයා මේ ගමන ගියේ, මේක මෙහෙම අතාරින්න එපා; මේක මනුස්ස ජීවිතයක්… එයාලට ඒ ජීවිතය වටින්නේ නැති වුණාට මල්ලි අපිට ලෝකයක්..”

මෙම සිදුවීම සම්බන්ධව සඳරුගේ පියා පවසන්නේ මෙවන් අදහසක්, “මේ පුතා නැවක සේවය කරන්න ගිය දෙවැනි අවස්ථාව. නැව් සමාගමේ ලංකාවේ නොයෙක් දේ කියනවා පුතා මුහුදට වැටිලා අතුරුදන් වුණා කිසිම තොරතුරක් නැහැ කියල ඒක මට පිළිගන්න අමාරුයි. එයාලා වරින් වර පරස්පර විරෝධී කතා කියනවා මේක අභිරහස් දෙයක්. මේක මට සැක සහිතයි. පුතා මුහුදට දැම්මද, මුහුදට වැටුනද, මොනවා වුණාද කියල මට හිතාගන්න බෑ. මං ජනමාධ්‍ය හරහා මේකට සාධාරණයක් බලාපොරොත්තු වෙනවා මට මගේ පුතා ගැන හොයලා දෙන්න”.

නාවිකයන්ට අවශ්‍ය පහසුකම්, නාවිකයන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය හා සමාජ සුභසාධනයට අවශ්‍ය නීති හා රෙගුලාසි බලාත්මක කරන්නේ ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්තිවලට අනුව ය. නාවිකයකුට යම්කිසි අසාධාරණයක් සිදුවුවහොත් ඔවුන් සේවය කරන ධජයේ නිලධාරියකුට වරාය හා රාජ්‍ය පාලන නිලධාරීන් හා ජාත්‍යන්තර කම්කරු නිලධාරීන් වැනි අයගේ සහයෝගය ඇතුව එම ගැටලු විසඳාගත හැකිය. එසේම වෙළෙඳ නාවිකයන්ගේ ගැටලු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ අමාත්‍යාංශය හා වෙළෙඳ හා නාවික කටයුතු අමාත්‍යාංශය යටතට ද අයත් වේ. තවදුරටත් සඳරු හා සම්බන්ධ මෙම ගැටලුවේ දී මෙරට ජර්මාණු තානාපති කාර්යාලය සතුව ද වගකීමක් ඇත. මන්ද එම නෞකාව ජර්මාණු නැව් සමාගමට අයත් වන බැවින් ඔවුනට එම වගකීමෙන් නිදහස් විය නොහැකි නිසාවෙනි. අතුරුදන් වූ සඳරු සම්බන්ධයෙන් ඔවුන්ගේ නිවැසියන් පොලිසියට, විදේශ කටයුතු අමාත්‍යාංශයට, වරාය හා නාවික අමාත්‍යාංශය ආදී මේ සම්බන්ධව වගකිවිය යුතු ආයතන කිහිපයකටම ලිඛිතව දන්වා ඇති අතරම තවමත් ඒ සම්බන්ධව මෙතරම් කලක් ගත වුවත් නිසි විසඳුමක් ලැබී නොමැති බව පවසයි. ඒ නිසාම ඉකුත් සතියේ තුන්වන දින හොරණ නගරයේ සඳුරුගේ ප්‍රදේශවාසීන් එකතුව ඔහුට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක ද නිරත විය. එහිදී ඔහුගේ සහෝදරිය ඉල්ලා සිටින්නේ සොඳුරු සම්බන්ධව පෘථුගාලයෙහි පවත්වන විමර්ශන වාර්තාව ඉක්මනින් ලබා ගැනීමට කටයුතු සලසා දී තම සහෝදරයා ජීවත්ව සිටිනවාද නැද්ද කියා සොයා ගැනීමට වගකිවයුතු පාර්ශ්වයන් ඔවුනට උපකාර කරන්නට කියාය.

කාසි සොයා දියඹ සමග හරඹ කිරීමට ගිය සඳරු ගේ ජීවිතයට සිදුවූයේ කුමක්දැයි ඔහුගේ අතුරුදන්වීමෙන් සති ගණනක් ඉක්මගොස් ඇතත් තවමත් අභිරහසකි. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම අවබෝධකර ගැනීමට සැම අයෙකුටම හැකිවිය යුතුය.

චේගුවේරා වරක පැවසුයේ ‘පෘථිවියේ ධනවත්ම මිනිසාගේ දේපළ වලට වඩා තනි මිනිසෙකුගේ ජීවිතය වටිනවා යනුවෙනි. එහෙයින් මෙවැනි අතිශය තරුණ ජීවිත වෙනුවෙන් සියලු බලධාරීන් අත වගකීමක් තිබේ. සඳුරුට සිදුවූ දේ ගැන විස්තෝප වන සමීපතමයන්ට සාධාරණ පිළිතුරක් තිබිය යුතුය. එය වගකිවයුතු කාගෙත් අවධානය යොමු විය යුතුය. ඔව්. අපිදු ඒ ගැන බලා සිටිමු.

රශ්මි කරුණාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment