ආයුර්වේදයේ බාල ඖෂධ හඳුනාගන්නා හැටි

305

බාල ඖෂධ සහ ඖෂධ අසාත්මිකවීම් ගැන වර්තමානයේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර සේවයේ නිතර අසන්නට ලැබේ. ඒ සම්බන්ධව චෝදනා එල්ලකරන්නේ ද එම වෛද්‍ය සේවයේ නිරත වෛද්‍යවරුය.

මෙවන් පසුබිමක ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේද මෙවැනි බාල ඖෂධ සහ ඖෂධ අසාත්මික වීම් තිබේ දැයි කියා අවධානයට යොමුකළ යුතුව ඇත. මන්දයත් බටහිර වෛද්‍ය ක්‍රමයේ මෙන් නොව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ බොහෝවිට රෝගියා පරීක්‍ෂා කරන්නේ ද ඖෂධ සකස්කර දෙන්නේ ද එකම වෛද්‍යවරයා විසිනි.

● ආයුර්වේද ඖෂධ

මීට වසර ගණනකට පෙර අප රටේ ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේදී රෝගීන්ට ඖෂධ ලබාදුන්නේ වෛද්‍යවරයා විසිනි. ඒ මොහොතේම සකස්කරමිනි. නමුත් වර්තමානයේ විවිධ රෝග සඳහා සකස් කළ ඖෂධ වර්ග රැසක් ඇත

දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් අධික බව, පිළිකා රෝග, ශක්ති වර්ධන, පීනස, සමේ රෝග ආදී විවිධ රෝග සඳහා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කර ඇත. ඒවා විවිධ ආයුර්වේද පරම්පරා, අනුව ඖෂධ වට්ටෝරු යටතේ සකස් කර තිබේ. මෙම ඖෂධ දේශීය ඖෂධ අලෙවි සල් හෙවත් ‘බෙහෙත් කඩ’ වෙතින් ලබාගත හැකිය.

මෙම ඖෂධ නිසි වට්ටෝරුවලට අනුව සකස් කර ඇති දැයි කියා යමෙක් තුළ සැකයක් මතුවිය හැකිය. එහිදී එම ඖෂධ නිපදවන වෛද්‍යවරයාගේ වෘත්තීය සුදුසුකම් සහ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

සමාජ මාධ්‍ය ප්‍රතිකාර

වර්තමානයේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වෛද්‍යවරු පෙනී සිටිති. ඔවුන් ඇතැම් රෝග නිට්ඨාවට සුවකරන බවත් සතියෙන් දෙකෙන් රෝගය සුවකරන බවත් ප්‍රචාරය කරති. මෙවැනි ඖෂධ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය.

විශේෂයෙන්ම දියවැඩියා රෝගය නිට්ඨාවට සුව කරන බව පවසා නිපදවා ඇති ඖෂධ ගැන අවධානය යොමුකළ යුතුය. ආයුර්වේදයේ ප්‍රමේහ රෝග 20 ක් පමණ ඇත. ඉන් මධුමේහය යනු ප්‍රමේහ රෝගවල එක් අවස්ථාවකි.

ආයුර්වේදයේ ප්‍රමේහ රෝග පිළිබඳව කර ඇති විග්‍රහයට අනුව මධුමේහය දක්වා රෝගය ව්‍යාප්ත වන ආකාරය දීර්ඝව සඳහන් කර ඇත. එහිදී මධුමේහය හෙවත් දියවැඩියා රෝගයට පත්වූ විට ඒ සඳහා නිට්ඨාවට සුව කිරීමට ආයුර්වේදයේ ප්‍රතිකාර නැත. කළ හැක්කේ පාලනය පමණි.

ඒ සඳහා ඖෂධ මෙන්ම ආහාර සහ ජීවන රටාව ද නිසි වෛද්‍ය උපදෙස් මත පාලනයකට ලක්කර ගත යුතුය.

ආහාර රටාව පාලනය නොකර ව්‍යායාම කිරීම ආදිය කරමින් කය වෙහෙස වන්නේ නැතිව තෙබු කොළ පමණක් ගැනීම මගින් හෝ තෙබු කොළ එක්කර සකස් කළ ඖෂධ ගැනීම මගින් පමණක් දියවැඩියාව පාලනය කළ නොහැක. ඉන් සිදුවන්නේ සිරුරේ සීනි මට්ටම ඉතා ශීඝ්‍රයෙන් පහළයෑමක් පමණි.

එසේම පොල්පලා යනු මුත්‍රා ආසාදන සුව කිරීම සඳහා ගුණදායී පානයකි. නමුත් එය නිසි පාලනයකින් තොරව පානය කළහොත් වකුගඩුවලට බලපානු ලබයි. එවිට වකුගඩු රෝග හට ගනී.

● ගංජා මිශ්‍ර කිරීම

ආයුර්වේදයේ රෝග රැසකට සකස් කරන ඖෂධ සඳහා ගංජා මිශ්‍ර කරනු ලබයි. එවැනි ඖෂධ වර්ග 30කට ආසන්න ප්‍රමාණයක් ඇත. එහිදී ගංජා ආයුර්වේද ඖෂධ සඳහා මිශ්‍ර කරන්නේ එහි විෂ ශෝදනයට ලක් කිරීමෙනි. ඒ සඳහා එළඟිතෙල් යොදා විෂ ශෝධනය කරනු ලබයි.

කාමේශ්වර මෝදකය, මදන මෝදකය ආදී ශක්ති ජනක වාජීකරණ ඖෂධ නිෂ්පාදනය සඳහා ද ගංජා මිශ්‍ර කරනු ලබයි. එහිදී ද විෂ ශෝධනයට ලක් කරනු ලැබේ. එසේම එම ඖෂධවලට මීපැණි ආදියද මිශ්‍ර කරනු ලබයි. මෙලෙස නිෂ්පාදනය කරන ඖෂධවලින් රෝගියාට හානියක් සිදු නොවේ.

● රස ඖෂධ

ආයුර්වේදයේ ඉතා ප්‍රභල ක්‍රියාකාරීත්වයක් සහිත මකරවජ සහ රස ඖෂධ නිපදවනු ලබන්නේද ඊට යොදාගන්නා රසදිය විෂ ශෝධනයට ලක් කිරීමෙනි. එසේම එම ඖෂධ ගත යුත්තේ නිසි වෛද්‍ය උපදෙස් මත නියමිත මාත්‍රාවටය. එසේ නොවුණහොත් එම ඖෂධ ශරීරයට විෂ සහිත වේ.

● බාල ඖෂධ

වර්තමානයේ ඇතැම් ඖෂධ ‘වන්ෂොට්’ ලෙස පවසමින් එක්වරක් ගත් විට රෝගය නිට්ඨාවට සුවවන බව ප්‍රචාරය කරනු ලබයි. ඇතැම් ඖෂධ සඳහා වේදනානාශක ද්‍රව්‍ය බහුලව යොදා සකස් කරනු ලබයි. මෙම ඖෂධ ගත්විට රෝගියාට තාවකාලික ඉක්මන් සුවයක් ලැබුණ ද එහි ඇති අතුරු ආබාධ බොහෝය. එනිසා ආයුර්වේද යේද නිසි ප්‍රමිතියට අනුව සකස් නොකළ ඖෂධ ගැනීමෙන් සහ පිළිගත් වෛද්‍යවරයකුගේ උපදෙස්වලින් තොරව ඖෂධ වර්ග ගැනීමෙන් අතුරු ආබාධ මතු වේ.

ඒවා බාල ඖෂධ සහ අතුරු ආබාධ සහිත අවදානම් සහිත ඖෂධ ලෙස සලකනු ලබයි.

වර්තමානයේ බොහෝ පිරිස් ශාක සාර ඖෂධ යැයි පවසමින් සිරුරට අහිතකර රසායන ද්‍රව්‍ය යොදා සම පැහැපත්වීමට ඖෂධ වර්ග නිපදවා වෙළෙඳපොළට නිකුත් කර ඇත. මෙවැනි ඖෂධ භාවිතා කර විවිධ ආබාධවලට ලක්වූ රෝගීන් ගැනද වාර්තාවී ඇත. එනිසා ආයුර්වේද ඖෂධ ගන්නා විට ද නිසි සුදුසුකම් සහිත වෛද්‍යවරයකු වෙතින් ප්‍රතිකාර ලබා ගැනීමට අවධානය යොමු කළ යුතුය.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0775109862 ඇමැතිය හැකිය.

ආයුර්වේදයේ බාල ඖෂධ හඳුනාගන්නා හැටි

(B.A.M.S) කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය,
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක සහ ඇමැති උපදේශක කමිටු සාමාජික.
වෛද්‍ය සුජීව විතානගේ

advertistmentadvertistment
advertistmentadvertistment