අමරපුර උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි මාහිමියෝ අපවත් වෙති

214

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, කම්මට්ඨානාචාර්ය, දොඩම්පහල චන්ද්‍රසිරි මහ නාහිමිපාණෝ ඊයේ (16 දා) අපවත් වී වදාළ බව “දිවයින” සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙයි.

1939 දී මාතර, දොඩම්පහල ග්‍රාමයේදී ජන්මලාභය ලැබූ මහනාහිමිපාණෝ දොඩම්පහලවත්ත මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර උන්වහන්සේ 11 වන වියට එළඹෙත්ම මාතර මේධානන්ද හා මාතර අග්‍රාරාම යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට පත්වූහ.

ඉන් පසුව මාතර වීරබා පිරිවෙනින් හා ගාල්ල විද්‍යාශෝක පිරිවෙනින් අධ්‍යාපනය ලැබූ මහනාහිමියෝ 1962 වර්ෂයේදී අධිශීලසංඛ්‍යාත උපසම්පදාවට පත් වූහ.

පසුව කොළඹ ජර්මන් ධර්මදූත මධ්‍යස්ථානයට වැඩම කළ දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියෝ දෙවිනුවර ඥානාවාස හා කහටපිටියේ සුමතිපාල යන නාහිමිවරුන් යටතේ දහම් දැනුම හා විදර්ශන භාවනාව ප්‍රගුණ කළහ.

1989 වර්ෂයේදී අමරපුර කල්‍යාණි වංශික මහනිකායේ අනුනායක පදවියට 1990 වර්ෂයේදී එම නිකායේ මහනායක පදවියටද පත්වන දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියෝ 2013 වර්ෂයේදී අරමරපුර මහ සංඝසභාවේ සභාපති පදවියට පත්වූහ.

2021 ජුලි මස 20 වැනිදා එවකට උත්තරීතර මහනායක ධුරය හෙබවූ ආචාර්ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන්ගේ අපවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ සිව්වන උත්තරීතර මහනායක ධුරයට අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්ද්‍රසිරි මහනාහිමිපාණෝ පත්වූහ.

අපවත්වන විට 84 වන වියෙහි පසුවූ මහනාහිමියෝ රාජගිරිය ගෝතම තපෝවනයේ වැඩ විසූහ.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබඳව පසුව දැනුම්දීමට නියමිතය.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment