ශ්‍රී ලංකාවට එළවළු තෙල්වලින්  ස්වයංපෝෂිත වීමට උදව් කරනවා – ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ

149

ශ්‍රී ලංකාවට එළවළු තෙල්වලින් ස්වයංපෝෂිත වීමට උපකාරී වීම සඳහා, ‘National Edible Oil Mission – Oil Palm NEOM-OP  වැඩසටහන සම්බන්ධ අත්දැකීම් ශ්‍රී ලංකාවත් සමග හුවමාරු කර ගැනීමට ඉන්දියාව සූදානම් බවත් එමගින් එළවළු තෙල් ආනයනය කිරීම සඳහා වැයවන ඩොලර් මිලියන ගණනක් ඉතිරි කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා හමුවූ අවස්ථාවේය.

ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණු අතර, එහිදී දෙපාර්ශ්වය විසින් වැදගත් කරුණු රැසක් සාකච්ඡා කරන ලදී. ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් මෙහිදී මෙරට පාම් ඔයිල් කර්මාන්තයේ ප්‍රගතිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකළ අතර, ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැසක්ද ඉන්දියානු මහකොමසාරිස්තුමන් වෙත ඉදිරිපත් කරන ලදී. එමෙන්ම එම නියෝජිත පිරිස, මෙරට ඔයිල් පාම් කර්මාන්තයේ ප්‍රගතිය පෙන්නුම් කරන සංඛ්‍යාලේඛනමය සහ අනෙකුත් ප්‍රමාණාත්මක විශ්ලේෂණ ද ඉදිරිපත් කරන ලදී.

මෙහිදී ඉන්දියානු මහකොමසාරිස්වරයා කියා සිටියේ, එළවළු තෙල්වලින් දේශය ස්වයංපෝෂිත කිරීම සඳහා, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියා කළ බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහකොමසාරිස්වරයා කියා සිටියේ, කෘෂිකර්මාන්තය සඳහා ඉතාමත් සුදුසු දේශගුණයක් පැවතීම ශ්‍රී ලංකාව ලැබූ ආශීර්වාදයක් බවයි. ආහාරයට ගත හැකි තෙල් වර්ග සම්බන්ධයෙන් පවතින දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටෙහිම ආයෝජනයන් සිදුකිරීමේ ඉඩකඩ සම්බන්ධයෙන් ද ඔහු අදහස් දැක්වීය.

විෂ් ගෝවින්දසාමි මහතා ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ දූත පිරිසෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, ප්‍රාදේශීය වැවිලි සමාගම්, පාම් තෙල් සැකසුම් සමාගම් සහ වැවිලිකරුවන්ගේ සංගමය නියෝජනය කරන පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

ප්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment